Wednesday, December 25, 2013

අමතකව ගිය ඒ දිනය 2004-12-26



මා එදින සිටියේ නිවසට වී විවේක සුවයෙනි. පොහොය දින වීමත්, මා විවාහ වී දින කීපයක් පමනක් වීමත් ඊට හේතුව වී තිබුනි. පොහොය දිනයේ ස්වාධීන රූපවාහිනියේ ධර්මානු ශාසනික වැඩසටහන් එදින සජීවී විකාශය සිදු උනේ අලුත්ගම කන්දේ විහාරයේ සිටය. එනිසා පු‍ටුවකට බරදී සාලයේ සිට මා රූපවාහිනිය නැරඹූයෙමි. ක්ෂණිකවම සියලු වැඩසටහන් නැවතූ අතර...තිරයේ  දිස්වූයේ ඉතාම භයංකාර දර්ශන පෙලකි. මිනිසුන් ගැහැනුන් හඩමින්,බයෙන් භිරාන්ත වෙමින් එක හුස්මට කන්දේ විහාරයේ කන්ද දුවමින් තරණය කරන දර්ශනයයි. එක් වයසක තැනැත්තකු සිද්ධිය විස්තර කරන්නට විය.

හ්හ....හ්හ..( ඔහු හතිදමයි) මහත්තයෝ...මුහුද ගොඩ ගහනව...ආන් අපේ ගෙවල් මුහුදට ගියා..ගෙවල් වල උන්න අයට මොනා උනාද දන්නෑ ...අපිත් මේ පණ බෙරගෙන ආවෙ..අපිත් ‍රැල්ලට වීසිවෙලා ගියා...!( හඬමින් ) මෙච්චරයි ..ඉතුරු උනේ..ගේ එහෙම්ම ගියා..ගෙයි තිබුන මුකුත් ඉතුරු නෑ මහත්තයෝ..!!!

තවත් එවැනිම පිරිසක් පැමිනේ..ඔවුන්ගේ ඇඳුම් පවා ඉරී ගොසිනි.එකකු කතා කරයි.
" වෑන් එකක් එහෙම්ම ගියා ‍රැල්ලට ගහගෙන ....අපි යන්නම එපා කිව්ව..පලවෙනි ‍රැල්ලට පෙරලුනා...දෙවෙනි එකට මුහුදට ගියා..අපොයි ඉඳල වැඩක් නෑ මහත්තයෝ...............!!!!"ඔවුන් බලපිටිය පැත්තට ආවේනික කතාබහ විලාශයෙන් නොනවත්වා කියාගෙන යයි.
නිවේදකයා ටද මේ සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව සිටින විටදී...හදිසි ප්‍රවෘත්තියක් විකාශනය වේ.

මුහුදු පත්ලේ ඉතා    දරුණු භූමිකම්පාවක් සිදුවී ඇති අතර..ඉන් සුනාමි තත්වයක් ඇති වී ඇති අතර....ලංකාවේ මුහුදු බඩ පලාත් සියල්ලම වාගේ මුහුද ගොඩ ගැලීමට බිලිවී ඇති බවත් සියල්ලන්ම ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස දැනුම් දුනි. ඒ අතර ගුවන් විදුලි විකාශය කින් කිය වුනේ ...ගාල්ල නගරය.මාතර, හම්බන්තොට,තංගල්ල ආදී නගර සියල්ල අඩි 30ක්40ක් උසට ගලා ආ මුහුදු ‍රැලි වලට ගොදුරු වී මහත් විනාශයක් සිදුවී ඇති බවය. 

මෙය ඇසීමත් සමග අප නිවසටද ගිනි ඇවිලුනි. ඒ මාගේ බිරිඳ තංගල්ලට කිට්‍ටුව මුහුදුබඩ ගමක තැනැත්තියක් වීමයි.

එකවරක් නොව කීප වරක් දුරකතනයකින් නිවසට ඇමතීමට උත්සාහ කලත් අසාර්ථකය. දුරකතන සමාගම් වලට අම්මා මුත්තා නැතිව බැනවැදුනත්..පලක් නැත.ලංකාවේ සියලු දෙනාම දුරකථන වලය. ඒ හේතුවෙන්ම දුරකතන සම්බන්දතා ජාලය ක්‍රියා විරහිත වී ඇති බව අප දැන ගත්තේ පසුවය.

කලහැකි කිසිවක් නැත. කිසිම තොරතුරක් දැනගත හැකි මාර්ගයක්ද නැත. අප නිවැසියෝ..කෑමක් බීමක් නැතිව හූල්ලමින් බියෙන් සිටිති. මා පාරට ගොස් එතැනින් නගරයටද ගොස් තොරතුරු විමසා බැලුවෙමි. අදහාගත නොහැකි සත්‍යකි. අප නගරය මුහුද ඉසව්වේ සිට හැතැක්ම 8 ක් පමන දුරින් පිහිටියත්...වෙරල බඩ ජනයා ඇඳිවත පිටින්..කුඩා වාහන වලින්.පා පැදි,යතුරුපැදි වලින් පමනක් නොව ඇතමෙක් පා ගමනින්ද අප නගරයට පැමින මහත් විස්සෝපයෙන් නිවාගනු නොහී පිපාසාවෙන්,දුක් ගින්දරෙන් පෙලෙමින් සිටිති.

ඒ අතර ඇතමෙක් නුදුරු පන්සල් වල පිහිටි බණ මඩුවලට වන්හ. එහෙත් උන්ට නිසි සේ ගිමන් නිවන්නට, තොරතුරු දැනගැන්මේ සාපිපාසවෙන් හුන් තකතීරු ඇතමෙක් ඉඩ නුදුන්හ. පසුව පන්සලේ හාමුදුරුවන් උන් එලවා දැමූහ.

මා නිවසට නැවත පැමින මේ සියල්ල පැවසූ කල්හි නිවස එකම මලගෙයක් වැනි වූහ. එම රාත්‍රියේම..ගමට යාමට අවශ්‍ය බව බිරිඳ පවසන්නට විය. එහෙත් නැවත සුනාමියක් මීට දරුනු වෙස් ගෙන පැමිනිය හැකි බව ගුවන් විදුලියෙන් විකාශය විය. 

එමෙන්ම පාරවල් සියල්ල වසා තිබුනි.කොලඹ සිට පැමිනෙන බස් රථ,ඇතුලු සියලු රථවාහන ගමන් ගත්තේ ගාලු පාරෙන් නොව.අප ගම හරහාය.ඒ වායේ ඉඩක් ඇති සෑම තැනකම මිනිසුන් පුරවාගෙනය.

වෑන් රථ සියල්ල කලදු‍ටුකල වල ඉහ ගැනීමේ චේතනාවෙන්..ඉහල මිලක් කුලී ගමන් වලට ඉල්ලා සිටී.

එකම පිහිට දුකට සැපට මාලඟ සිටි, යතුරු පැදියය. එහෙත් ඉන්ධන. මෙහි සිට තංගල්ලට යාමට ඒ දිනවල රු.500ක වත් පෙට්‍රල් උවමනා විය.ලීටරයක් මතකයේ හැටියට රු.120ක් පමණ ආසන්නයේ තිබුනි.එහෙත් එතරම් ඉන්ධන මා සතුව නැත. රාත්‍රියේම අවට ඉන්ධන හල් පුරා ඇවිද්දෙමි. සෑම තැනකම අවසන්යැයි බෝඩ් එල්ලා ඇත.

ඉන්ධන හලෙන් විමසීමක් කර බැලුවත් ඊට හේතුව කීම ඔවුන් ඉතා අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කලහ. සත්‍ය නම් ඔවුන් ඉන්ධන සඟවා තබාගෙන වැඩි මිලට විකිනීමට සූදානම් වීමයි.

ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් ගමන යාමට තීරණය කලෙමු. අතර මගදී ඉන්ධන හල් හමුවන නිසා ඉන්වත් ලබාගතහැකි වෙතැයි උපකල්පණය කලෙමු. 

උදෑසනම යම්තම් බිම් කරුවල තුරන් වේගන එන විටම ගමන යාමට සූදානම් වීමු. වෙනදා පායන හිරු එලිය නැත. මුලු පරිසරයම මලානික වී ඇති සෙයකි. කිසිම කුරුල්ලකුවත් හඬන්නේවත් නැත උන්ද මේ ව්‍යසනයට බිය වීදෝයි සිතේ. එහෙත් ගමන යායුතුය. එලිවනතුරු නින්දත් නොනින්දත් අතරේ සිටි නිසා ඇඟ පත තලා දාමා ඇති සෙයකි.කලින් දා රත්‍රියේ නිසි පරිදි අහරක් ගත්තේ නැත. බිරිඳ නම් කහට තේ එකක් පමනක් බී වේලා සනින්ම ඇඳට වූවාය. එහෙත් රාත්‍රිය පුරාම අවදියෙනි.විටෙක සුසුම් ලෑමත් , සිහින් ඉකිබිඳුමත්..මා හද පාරවනු ලැබීය.

ප්‍රධාන පාරට හරවනවාත් සමගම මා මිතුරකු කුඩා කැන්ටර් වර්ගයේ රථයක් නවතා තොරතුරු විමසා ඔවුන්ද ගාල්ලට යනනිසා බයිසිකලය එහි පටවාගෙන යමුයැයි කතිකා කොට ඒපරිදි කලෙමු. ඉන් අපට අත්වූ වාසිය නම්..ඉන්ධන ඉතිරිකර ගැනුමයි.......!

මතු සම්බන්දයි..!
................................................................................

ප/ලි..........වීපොකුරේ පෝස්‍ටුවක් මේ දමන්නෙ මාස 6කින් පමනය. ඊට හේතු බූත කාරනා මා හිත මිතුරන් දන්නා අතර එහෙත් ඊට මා සමාව ඉල්ලමි. බොහෝ සහෘදයින්..ඉක්මනින් නැවත ලියන්න යැයි මා දිරි ගැන්වූහ. එහෙත් ඊට කාලය හරස් වීය. මේ පෝස්‍ටුවද..ලියා අහවර වූයේ දැන්ය. ඒද කොටසකි. ඉතිරි කොටස ඉක්මනින් පලකරමි. මේ මාගේ සත්‍ය අත්දැකීමකි. ඇසීමට ,දැකීමට.හෝ මතක් කිරීමටවත් අකමැති මුත්...මේ විස්තරය ලියන්නට මා සිතා සිටියේ කලක පටන්ය. එනිසා ලියා තබමි. මේ දිනට මෙය නොලීවෙමි නම් ඉන් වැඩක් නැත.

58 comments:

  1. මේ මෙහි මාගේ පළමුවන කොමෙන්ටුවයි.
    සුනාමිය නම් හරිම අමිහිරි අත්දැකීමක් මටත්. අපේ ගෙදර තියෙන්නේ වැලිගම. වෙරළේ ඉඳන් කිලෝ මීටර 1.5ක් පමණ දුරින් පිහිටි අපේ ගෙවල් වලට සුනාමිය ආවේ නැහැ. නමුත් දන්න කියන අය පවුල් පිටින් මරණයට පත් වුනු හැටි, දේපල හානි, දුරකථන, විදුලි සම්බන්ධතා අවහිරවීම්... එතකොට 10 වසරේ හිටපු මට හරිම වේදනාවක් වුනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවී...
      වැලිගම නගරය එකම සොහොන් පිටියක් වී තිබුනු අයුරු මට හොඳින් මතකයි.

      Delete
  2. වීයා, බොහොම කාලෙකින්. උඹත් ඒ අමිහිරි අත්දැකීමේ කොටස් කාරයෙක් වගේ...ඉතුරු ටිකත් ඉක්මනට දාපන්...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතිය් සෙන්නා..!
      උඹේ කමෙන්ට් එක ජී මෙල් ගිනුමට ඇවිත් නැහැ..පෝස්ට් එකේ තියෙනව..කලින් නම් මෙහෙම වෙලා නැහැ.

      Delete
  3. සුනාමිය කාටවත් අමතක නෑ එත් මතක් කරන්න කවුරුත් කැමති නෑ. අදටත් ඒ නිසා විකෘති වෙච්ච ජීවිත බොහොමයි...

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම... කවුරුවත් කැමති නෑ..!
      මාතෘකාව එහෙම දැම්මට මෙව්ව වෙන්න එපා ආයි බොවං...!:))

      Delete
  4. කාටවත් අමතක නැහැ.කවදාවත්ම අමතක වෙන එකකුත් නැහැ.ආයෙත් මේ වගේ ව්‍යසන නොවේවායි කියල ප්‍රාර්ථනා කරන්න ඕනෙ..

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම රජ වීදිය....මගෙත් ප්‍රාර්ථනය එහෙමයි..ස්තූතියි ඔබටත්..!

      Delete
  5. හරක් කාපුවා වමාර වමාර කනවා. ඒව උන්ට රහ නිසා.සමහර විට උන් වමාරනකොට ගින්දර එහෙම ආවොත් වමාරගෙන කයිද. ඒ වගේ තමා මිනිස්සු සතුටු වෙන දේවල් ගැන නැවත නැවත හිතල සතුටු වෙනවා. දුක්ඛ දෝමනස්සයන්ගෙන් නිතරම ඈත් වෙලා ඉන්නවා.මේ තමා ජීවිතේ හැටි. කවුරුවත් හැමදාම මතක් කරනවද දිගම්පතානේ බෝම්බෙන් මැරිච්ච උන්. 88 89 මැරිච්ච උන්. මතක් කරනවා උන්ලගෙ අම්මලා විතරක්

    ReplyDelete
    Replies
    1. මේ අමතක වීම..මැරුනු මිනිසුන් වෙනුවෙන්..පමණක් නොවේ...ඊටත් වඩා ජීවත්ව ඉන්න මිනිසුන් වෙනුවෙනි. පෝස්ට් එකේ ඊලඟ කොටසින් මා ඒ ටික මතු කරන්නම්.

      වමාරා කාපු හැටි මෙන්ම ඒ සඳහා මගසාදා ගත් හැටිද මා දන්නා..මතක හැටියට ලියන්නම්. මේ ලිවිල්ල අපේ ජීවිතයට අත්දැකීමක් සඳහාමයි.

      Delete
  6. මගේ සහෝදරයකුත්, ඔහුගේ පුතාත්, සුනාමිය විසින් රැගෙනගියා. ඒ ගැන විස්තර නැවත ලිවීමේ තේරුමක් නැහැ. මේකටද කර්මය කියන්නේ?

    කලකට පසු ඔබව බ්ලොග් ලෝකය තුළ දකින්න ලැබීම සතුටක්. මම මගේ වර්ඩ්ප්‍රෙස් අඩවියට අමතරව බ්ලොගර් අඩවියකුත් පටන්ගත්තා. ඇවිල්ලා බලලා හොඳ නරක කියන්න. http://wicharaka.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවා ඔබේ අඩවියට ගොඩවන්නෙමි.

      ඇත්තෙන්ම..මා මුහුන දුන් සිදුවීම් පෙල හා අපේ රටේ මිනිසුන්ගෙ සැඟවුනු පැති කඩක් හා දැනටත් මේ ව්‍යසනය නිසා අගතියට පත්ව සිටින පිරිස මොනවගේදැයි,සුලුවෙන් පෙන්නුම් කරන්නයි සූදානම.

      Delete
  7. හා හා දිග කතන්දරයක් කියන්න වගේ යන්නේ...ඒක හොඳයි ,නැත්තං මේකෙ මකුලු දැල් බැඳෙනවා

    ReplyDelete
    Replies
    1. ඔව් රෙහානි කොහොමද අලුත් ජීවිතය...අලුත් කීවට දැන් කල්ගොහින් නොවැ..:)))

      Delete
    2. තවම එක තැන...එයා එහේ මම මෙහේනේ... :D

      Delete
  8. සුනාමිය අමතක වෙනවනං අමතක වෙන්නෙ ඒකට ලැබිච්ච ආධාර වලින් ගසාකාපු උන්ට. මොකද උන්ට ඕක මතක්කරන වාරයක් පාසා ශාප වෙන හින්ද.
    දුරකථන වැඩනොකරන්න හේතුවෙන්න අධිභාවිතය වගේම ඔය නගරවල තිබ්බ ගොඩක් දුරකථන කුළුණු විනාශ වීමත් බලපෑව.
    තාමත් ලංකාව තියෙන්නෙ ඔය වගේම අනාරක්ෂිත තත්වයක කියල මේ ළඟදිත් කියල තිබුණ. මොකද ඔය වගේ ව්‍යසනයක් ආපහු ආවත් ජීවිත දේපල ආරක්ෂා කරගන්න නිසි වැඩපිළිවෙලක් තාමත් සැකසිලා නැති හින්ද.

    ReplyDelete
    Replies
    1. //තාමත් ලංකාව තියෙන්නෙ ඔය වගේම අනාරක්ෂිත තත්වයක කියල මේ ළඟදිත් කියල තිබුණ. මොකද ඔය වගේ ව්‍යසනයක් ආපහු ආවත් ජීවිත දේපල ආරක්ෂා කරගන්න නිසි වැඩපිළිවෙලක් තාමත් සැකසිලා නැති හින්ද.//
      සත්තකින්ම ප්‍රසන්න මා මතු කරන්න උත්සාහ කරන්නෙ මේ කාරනය තමයි..හැබැයි ඒ මා මුහුන දුන් අත්දැකීම් එක්කම.

      Delete
  9. ඇත්තටම අමතක උනානේ බං

    ReplyDelete
    Replies
    1. රට මැද ඉන්න මටත් ඕක අමතක වෙනව...මාත් මෙයට මුහුන දුන් චරිතයක් නොවුනනම්..!

      Delete
  10. මට අද ඔෆිස් එද්දී මතක් වුණා. වීයා ආපහු ලියන්න පටන් ගත්ත එක හොඳයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සුදීක.
      අපේ බ්ලොග් ලියන අයට මතක තිබුනට..සමහර මම ගියපු තැන්වල වෙරල බඩ ජනතාවට..කිසිම හැඟීමක් තිබුනෙ නැහැ..ඊයෙ වෙනකං...ඒකයි මං මාතෘකාව එහෙම දැම්මෙ.

      Delete
  11. Replies
    1. ජීවිතය කියන්නෙ එහෙම තමා..මතක් වීම් අමතක වීම්..ජය ,පරාජය..!තව නොයෙක් දේ....
      දිලිනි ස්තූතියි ගොඩවැදුනට..!

      Delete
  12. මේ ලිපිය ඊයෙම කියෙව්වත් කමෙන්ටුවක් කොටන්න අවස්ථාව අහිමි වුණා. මේ දවස අපේ දිවි තිබෙන තාක් අමතක නොවේ මලේ... මොකද අපේම සහෘදයන් කීපදෙනෙක්මත් මේ කට කොටු වුණු නිසා..

    ReplyDelete
    Replies
    1. මේ ව්‍යසනයට අහුවෙලා මියගිය අය නොවේ ජීවත්ව ඉන්න අය ගැන කතා කලයුතු නේද..දාහක්දේ අහිමි වීම් තුල..හා අපි ඉන් පාඩමක් ඉගෙන ගත්තාද..?

      Delete
  13. මුහුදට ලඟින් හිටියේ නැති උනත් ඒ දවස් හොඳට මතකයි. ඒ අතීතය හරිම කුරිරුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් නාඩි මලේ..අපි ඉන් ඉගෙනගත්දේ..ආවර්ජණය කොට..ඔලුවේ යමක් තබා ගතයුතුයි නේද..!

      Delete
  14. වීයා බොහොම කාලෙකින් දුක්මුසු මතකයකුත් එක්ක,ඉතිරි කොටසත් ඉක්මනින්ම ලියන්න.ඇත්තටම මම හිතුවෙ වීය බස්නාහිර පළාතේ කෙනෙක් කියලයි.

    ReplyDelete
    Replies
    1. නෑ හැලපේ මම ගාල්ල දිස්ත්‍රික්කය පටන් ගන්න මායිමේ...බෙන්තර ගඟ ඉසව්වෙ.

      Delete
  15. වීයත් හුඟ කාලෙකින්.

    ඒ දවස කොහොම අමතක වෙන්නද යාළුවා. අපේ ගෙදර ඉඳල මීටර් 200 ක් වත් නෑ මූදට. උදේ නවය පහුවුනා විතරයි, මම නින්දෙන් නැගිටල එළියට එද්දිම වගේ තමයි මිනිස්සු කෑ ගහගෙන ඉස්සරහ පාර දිගේ දුවන්න තියා ගත්තෙ. පාරට ගිහින් බලනකොට එහායින් ලොකු රැලක් එනව පාරෙ. මම මාමගෙ පුතා වඩාගෙන හැතැප්ම ගානක් ගියා පාරවල්වලින් වතු උඩින්. පුංචි ළමයි භයටම ලෙඩ වෙලා, බෙහෙත් ගන්නවත් තැනක් නෑ. වෙනදට එක පැයක් බඩගින්නෙ ඉන්න බැරි මට එදා මුළු දවසටම කෑමක් නෑ, බඩගින්නවත් දැනුනෙ නෑ. ඒ හැඟීම නම් කවදාවත් අමතක වෙනකන් නෑ. හැමෝම ගෙවල් දොරවල් ඇරල එහෙම්මම දිව්වෙ, ආයෙ දවසකින් දෙකකින් එද්දි සමහර ගෙවල්වල ඉතුරුවෙල තිබිච්චත් දෙපා සත්තු ගෙනිහින්. දවස් දෙකතුනක් ගිහිල්ලත් අහුමුළුවල තිබිල මරණ හම්බවුනා. ජීවිතේ ගැන ඉගෙන ගන්න ඒ වුනු ව්‍යසනෙ හොඳටම ඇති. ඒත් අවාසනාවට පස්සෙන් පහු උනු දේවල් දිහා බැලුවම හිතෙනව මිනිස්සු මෙච්චර දෙයක් වෙලත් මොනවද ඉගෙනගත්තෙ කියල.

    ReplyDelete
    Replies
    1. උඹල ලියන්න ඕන දේ මම ලියන්නෙ. උඹේ කමෙන්ට් එක හොඳට මතක තියාගන් ඩීඩීටී මචං..! මේ උඹ කියපු සාරාංශය තමා මම මේ තටමල ලියන්නෙ.මට ලැබුනු වටිනාම කමෙන්ට් එක.

      Delete
  16. ඒ දවස කවදාවත් අමතක වෙන්නේ නෑ වීයෝ...අද වගේ මතකයි ටීවී එක දිහා බලාගෙන හිටපු අප්පච්චි කෑගහපු හැටි. ඊට පස්සේ ලංකාවට කතා කර කර යාලුවන්ගේ විස්තර හොයන්ට හදපු හැටි. මට හැම තිස්සෙම හිතෙන දෙයක් තමා සුනාමියට මුණ දුන්නු කට්ටියට මොන වගේ හැඟීම් එන්ට ඇද්ද කියන එක. කීවත් වගේ මුලු ලෝකෙම පාලු, මූසල තැනක් වෙච්ච එක මොහොතක් ඒ.

    ReplyDelete
    Replies
    1. දුර රටක හිටි කෙනෙකුට තමන්ගෙ නෑදෑයන් මිත්‍රයන් ගැන දැනුනු හැඟීම... මෙරට හිටි අයට වඩා..බොහෝ සංවෙදී උනා..හෙතුව ජාත්‍යන්තර ජනමාද්‍ය මේ සිදුවීම දැනෙන්නම විකාශනය කිරීම. ඒකම හේතුවක් උනා අධාර පවා විශාල ලෙස ලැබීමට.

      Delete
  17. සුනාමිය ගැන මටත් තියෙනව අත්දැකිමක්.ලියන්න හිටියට 26 හදිසියෙ මල ගෙදරක යන්න වෙල ලියන්න බැරිවුනා.

    ReplyDelete
    Replies
    1. දමිත්..වෙලාවක ලියන්න..
      මිනිස්සු මියගිය ඒවට වඩා සුනාමිය ගැන ලියන්න කප්පරක් දේ තියෙනව..නේද..?

      Delete
  18. මටත් තියෙනවානේ ලයිව් අත්දැකීම අපෝ ආයෙනම් එහෙම දෙකට මුහුණ දෙන්න නොලැබේවා කාලෙකින් අයියා ඇවිත් මෙහෙම පාලුවට යන්න දෙන්න එපා

    ReplyDelete
    Replies
    1. ඒ පාර පාලුවට යන්න දෙන්නෑ මචං..!

      Delete
  19. හුග කාලෙකින් හරි වීයා කලකට පසු වෙළකට බැසීම ඉතාම අගය කරනවා...

    සුනාමියෙන් මගේ සමිපතම ඥාතීන් කිසිවෙකුට විපතක් නොවුනත් අපේ ගමේ කතරගම චාරිකාවක නිරත වූ වෑන් රථයක් අනතුරට පත් වුනා. එහි සිටි 6 දෙනෙකු අතුරුදහන් වුනා...කිසිවෙකුගේ හෝ මළ සිරුරක් හෝ දුටුවේ නෑ....ඒ අය හොයාගන්න ඒ අයගෙ පවුලෙ ඥාතීන් සමග මමත් දකුණු පළාතට ආවා. ඒ ගමනෙදි මහමෝදර රෝහලේදි තමයි මෙලොව අපාය මම දැක්කෙ....

    කාර්යාලයේ මගේ ලග ඉන්න සුදු නංගිට මේ ඊයෙ පෙරේදා දවසක අපේ සුනාමි වීඩියෝ කීපයක් පෙනුවූවා...අර ගාල්ලෙ බස් නැවතුමේදී වතුරට කැරකිලා යට යන ගෑණු දැරිවියන්ගේ දර්ශනයට ඇය ඉතාමත් සංවේදී වුනා.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ගොඩක් අය කතරගම යන අය තමයි අනතුරට පත් උනේ...වාහනත් එක්කම. මොකද ගොඩක් අයට අවබෝදයක් තිබ්බෙ නැහැ...මොකක්ද කරන්න ඕන කියල..හැමෝම ගිහිල්ල වාහනයට නැග්ග ඒක තමයි ආරක්ෂිතම කියල ..වුනේ ඒ උනාට වාහන පිටින්ම ගහගෙන ගිට එක.

      මහ මෝදර ගැන ලියන්නෙ නෑ මම නමුත් මම මුලින්ම ගියේ එතනට..!

      Delete
  20. සුනාමිය බොහෝ දෙනෙක් අමතක කරන්න උත්සාහ කරනවාදෝ කියලත් මට හිතුණා.තමන්ගේ කෙනෙකුට විපතක් නො වුණා නම් ඒ දවස ගැන මිනිස්සුන්ට මතක නැහැ. ඔය කාලේ මම හිටියේ බෙන්තර පාලම හදන තැන. ගඟේ පාලම හදන්න සපෝර්ට් කරන කණු (පියර් එක) හදමින්.මගේ ට්‍රේනින්ග් පීරියඩ් එකේ.වෙනදට මම ඉන්නේ ගඟ මැද ඔය කියන තැන වට කරලා වතුර ඉවත් කරලා කොන්ක්‍රීට් කරමින්. 25 නත්තල සහ 26 පෝය නිසා නොවෙන්න එදා අපි වැඩ කරන දවසක්. එහෙම වුණා නම් අද මෙහෙම ලියන්න මමත් නැහැ.

    ඒත් මගේ නංගි මඟදී ඔය කරදරයට මුහුණ පාලා යන්තම් බේරිලා.යාළුවො කට්ටියක් එක්ක ස්කෝලේ මැඩම් ගේ ගෙදර යන්න ගිහින්.එක්කෙනෙක් එන්න පරක්කු වුණ නිසා,යන්න තිබුණ බස් එකේ අන්තිම සීට් එක තිබිලා නැහැ.ඒ නිසා ඊ ළඟ බස් එකේ ගිහින්. ඒ නිසා යන්තම් ඇතුල් පාරකට දා ගන්න පුළුවන් වෙලා බස් එකට.මායි,අම්මයි සෙරෙප්පු දෙකක් වත් නැතිව ටවුමට එන්න ආවේ පයින්.මඟදී අපිව එලෙව්වා,පොලීසියෙන්.ඒත්..එහෙන් මෙහෙන් රිංගලා පුළුවන් තරම් ගියත් ටවුමට යන්න වුනේ නැහැ. මේ කියන්නේ ගාල්ල ටවුම ගැන.කොහොමද අපිත් ටවුමට ගියා නම්...

    ReplyDelete
    Replies
    1. බට්ටි ගාල්ලෙ එහෙනම්..! මමත් ඔය ගමන ගියා..අපොයි බැනුම් අහපු තරමක්..!

      පොහොය නිසා බොහෝ අය බේරුනා වගේ ම ‍රැල්ලට අහූඋනා මම විස්තර ඊලඟ පොස්ට් එකේම කියන්නම්.

      Delete
    2. මම ගාල්ලේ නම් නෙමෙයි.ඒත් ඒ කාලේ හිටියේ ගාල්ලේ

      Delete
  21. මටද මේ දිනය කිසිදා අමතක නොවේ.. සන්තෝසයි වීපොකුර පැහුනම...

    ReplyDelete
    Replies
    1. උඹත් මේ අඩවියෙ නොවැ..දෙශා..! පැහෙමු තවත් ඉදිරියට අයෙ මක්කැයි.

      Delete
  22. කරදරයක් උන්හම ඒකෙන් අයුතු ප්‍රයෝජන ගන්න බලාන ඉන්න අයත් ඉන්නවනේ ..

    ආයෙ ලියන්න ගත්ත එක කොච්චර දෙයක්ද ? ඉක්මනටම ඊලඟ කොටසත් දාන්න ...

    ReplyDelete
    Replies
    1. ලියමු මලයා..ඉදිරියට..ගෙට්‍ටුවට ඇවිල්ල බොලා හමුවෙන්න බැරි උනාට මෙව්වයි බං..!

      Delete
  23. ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔබ ට පවුලේ සැමට වාසනාව ගෙනේවා.....
    සමකය වටේ බ්ලොග් අඩවියෙන් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. ඇයි අය්යා බ්ලොග් අඩවියෙන්..... බොගෙන් නැද්ද....:))))
      ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා..!

      Delete
  24. උඹ වගේම මාත් කාලෙකින් බ්ලොග් පෝස්ට් එකක් ලිව්වේ වත් ජාලේ පැත්තේ නිදහසේ කරක්ගහන්න ආවේවත් නෑ. එකක් නිවාඩුවට ගෙදර යාම. අනික ලැප්ටොප් එකට කෙලවීම.

    උඹ මේ කතාවේ ඉතිරිය දානකල් බලාගෙන ඉන්නවා.

    උඹටත් මුළු පවුලත් සතුට සාමය පිරි නව වසරකට ආසිරි.

    ReplyDelete
    Replies
    1. ඔබලා සියලුදෙනාටත් එසේම වේවා..!

      ලැප මටත් එපාවෙලා තියෙන්නෙ. වෛරස් එකක් ගිහින් කියල හිතුව කලින් ස්ලෝ උනාම. මේ සැරේ ෆොමැට් කරල,"නෝර්ටන්"ගාඩ් එකක් දැම්ම.ඒපාර ඊට හපන්..!
      උඹල කට්ට අව්වෙ වෙලෙනව පොටෝ වල දැක්ක..අපරාදෙ මට මිස් උනා බං..!

      Delete
  25. ඔය සිද්ධිය අපිට අහන්න ලැබුනේ වැඩපලේ ඉන්න අතර. මුහුද ගොඩ ගලනවා කිව්වට අපි එච්චර ගානකට ගත්තේ නෑ. ඒත් හැම චැනල් එකකම වරින් වර විස්තර කියද්දී නම් තේරුණා බරපතල දෙයක් වෙලා කියල. ඊට පස්සේ දවස් ගණනාවක් යනකල් පත්තර වල හෙම තිබුනේ හද කම්පා කරවන තොරතුරු සහ පින්තූර. අපිට එහෙම දැනුන නම් අත්දැකීම් ඇති ය ගැන කවර කතා ද..

    ReplyDelete
  26. ඕක දැනගන්නකොට මත් හිටියෙ ස්වාධීන රූපවාහිනිය බලන ගමන්.

    වීය බැන්දට පස්සෙ බණත් ඇහුව...

    ReplyDelete
  27. ඒ දවස කොහොම අමතක කරන්නද... කී දෙනෙක් නැති උනාද. :(

    ReplyDelete
  28. අපි මේ දවසේ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ජාතික කඳවුර 28 පටන් ගන්න තිබුණු නිසා ගමේ ඉස්කෝලෙට වෙලා ලෑස්ති වෙවී හිටියේ. මේ නිව්ස් එක ආවත් හරි ඒ වැඩ ඔක්කොම නවත්තලා දාලා අපි ප්‍රථමාධාර රාජකාරිවලට වාර්තා කළා. අපි හුඟක්ම වැඩ කළේ ගාල්ල ආශ්‍රිත පැතිවල. ඒ පැතිවල තිබුණු හැටි තාම මතකයි

    ReplyDelete
  29. කෝ මේ වීයා. ලියන්නෙ නැත්දෝ ...............................................

    ReplyDelete
  30. ඒ දවස අමතක කරන්න මැරිලා ඉපදුනත් බැරිවෙයි.. මම මේ බ්ලොග් එකේ ලියන පළමු කොම්න්ටුව... සුනාමිය ගැන ලියන්න කීප වතාවක් හිතුවත් කොතනින් පටන් අරන් කොතනින් ඉවර කරන්නද කියල හිතාගන්න බැහැ . ජීවිතද දේපලද විනාඩි පහළොවක් වගේ පුංචි කාලයත් ඇතුලේ කොයිතරම් නම් විනාස උනාද. සජීවීව ඇස්දෙකෙන් දැකපු ඒ සිද්දි දාමය ආයේ කවදාවත් සන්සාරෙවත් දකින්නට නොලැබේවා...

    ReplyDelete
  31. අවුරුද්දක් ඉවරයි මන් ඇවිත් කියවද්දී,, මේකේ ඉතුරු ටික ලියන්නේ කොයි අවුරුද්දෙද වීයෝ ?

    ReplyDelete
  32. ඇත්තටම සුනාමිය නම් ......ආයෙ අහන්න දකින්න නොලැබේවා!!!

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...