Tuesday, March 26, 2013

පිදුරු හතු බැදුම



කුඹුරු ගැනයි,කමත් බාසාව ගැනයි කලින් පෝස්ට් දෙකක් ලිව්වත් මුලින්ම ලියන්න හැදුවෙ වෙනම දෙයක්. මේ දවස් වල කුඹුරු කැපිල තියෙන එකේ ඔය කුඹුරු වලින් සතපහකට වැඩැක් නෑ කියල ඉවතදමන "මැඩුවං"( පිදුරු) වලින් අපේ ගැමිය ගත්ත ප්‍රයෝජන එමටයි. ඉන් එකක් තමයි මේ.

පිදුරු හතු...!  ඕනම කුඹුරක ඉවත දමන දෙයක් උනත්  පිදුරු කියන්නෙ මහාර්ඝ  සම්පතක්. ගොවියාට බැත සපයාදීල ඉවත් උනාට පස්සෙ ඒ බැත ආහාරයට ගන්න ඉතා රසින් පිරි වෑන්ජනයක් සකස් කර ගන්න අමුද්‍රව්‍යත් සපයල දෙනව.

සාමාන්‍යයෙන් පිදුරු, ගොයම් පාගන පාවරෙන් ඉවත් කලාම ගොඩක් විදියට නැත්නම් පිලිවෙලක් නැතිව වීසිකරල දැමීමක් තමයි වෙන්නෙ. එහෙම උනාම මේ පිදුරු  අර ඉඳිආප්ප වැල් වක්කරනව වගේ තමයි ගොඩ ගැහෙන්නෙ. එතකොට ඔය අතරෙ යම් හිඩැසක් හිටිනව.  

පිදුරුවලට උරුම උනු යම් විශේෂත්වයක් තමා දැඩි ඌශ්නයක්,රස්නයක් ‍රැඳිල තියෙන එක. මේ රස්නය නිසා පිදුරු වැල් ඇතුලෙ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් නිසා පරිසරයට විවෘත නොවුන ඇතුලට වෙන්න මේ පිදුරු හතු වල බීජ හටගන්න ගන්නව. සමහර විට මේ දිලීර විශේෂය පිදුරු ගහටම ආවේනික ලෙස තිබෙන්නට පුලුවන් .

ඒගැන යම් පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
හොඳින් බැලුවොත් පෙනේවි කුඩා අංකුර විදියට මතුවෙන හතු.

පිදුරු ගොඩගහල දවස් හතරක්,පහක් යනකොට පිදුරු වලට ජලය,පින්න වැටෙන්න ගත්තම...ඇතුලෙ උශ්ණත්වය හොඳටම වැඩිවෙන්න ගත්තම මේ පිදුරු හතු අංකුර හැදෙන්න ගන්නව.ඇත්තටම මේ අංකුර හැටියට තමයි මේවා ආහාරයට ගන්නෙ.
දැනටත් අපේ කුඹුරු කපල මාසයකටත් වැඩියි ඒත් තවමත් හතු හැදෙනව.

අපේ  ගම්වල ස්වයංපෝශිත  ආහාර රටාවට වෙන උදාහරණ අවශ්‍ය නැතිතරම් මේ පිදුරු හතු ගැන අවදානයට ගත්තොත්. අපේ අම්මල නම් දිනපතාම ගොයම් කැපුවට පස්සෙ ආහාරයට එක්කර ගන්නෙ කිසිම වියදමක් නැතිව,ඉතා උසස් මාංශමය පෝෂණ  ගුනය තියෙන ආහාරයක් විදියට.පවුලක පස්දෙනෙක් හිටියත් මාසයක් දෙකක් පුරාවට පිලිවෙලට මේ අස්වැන්න නෙලාගත්තොත් ප්‍රමානවත් වෙනව.ඒ කියන්නෙ දිනපතාම අපිට ව්‍යංජනයකට ඇතිවෙන්න හතු ලැබෙනව.රසයෙනුත් ඉහලයි.

අපේ කුඹුරු දෙකෙන් එකක් ටිකක් ඈතට වෙන්න තියෙන්නෙ මිල්ලේදන්ඩ කුඹුරු යාය. ඒත් මගෙ මල්ලිගෙ ගෙදර තියෙන කුඹුර තියෙන්නෙ නිවසට යාබදවමයි. ඒ නිසා ඒ කුඹුරෙ මඩුවං වලින් උපරිම හතු අස්වැන්න නෙලාගන්නව විතරක් නෙවේ කොටසක් මටත් එවනව. 

ඒත් මිල්ලෙදන්ඩෙ කුඹුරුයායට  යාබදව නිවෙස්වල ඉන්න මිනිස්සු මේ හතු ආහාරයට ගන්නෙ නෑ..ඒත් ඒ යායෙ කුඹුරු හැම එකකම මැඩුවං තියෙනව.ඒ කියන්නෙ හතු අස්වැන්න ඕන තරම්.

ඒත් අපේ මිනිස්සු කිසිම ගුනයක් නැති ,මිලෙන් වැඩි බෝංචි පන්සීයක් අරන් ඇවිල්ල කෑවත් අර නිකන්ම පරවෙලායන පිදුරු හතු ආහාරයට ගන්නෙනෑ...ඉතිං කෑ ගහනව ජීවන වියදම ඉහලයි ජීවත් වෙන්න බෑ කියල.

කතා ඇති මෙන්න පිදුරු හතු වෑන්ජනය..!

ඊට ඉස්සෙල්ල මේ පින්තූර ටික බලලම ඉමු.


මේ තියෙන්නෙ පිදුරු හතු වෙනම ගත්තම.( පැහැදිලි ඡායාරූප නැතිවීම ගැන සමාව ඉල්ලනව මගේ දුරකතනයෙන් ගත්තෙ.)


මේ තියෙන්නෙ නෙලාගෙන අපද්‍රව්‍ය ඉවත් කරගත් පසු  අහුරු දෙකක් විතර  තුන්දෙනෙක් ඉන්න කෑම වේලකට ඉහටත් උඩින්.

වෑන්ජනේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය.
මෙතැන ජාති කීපයක් අඩුයි..මගේ කලබලේට ඒව සූජානම් කරන්න කලින් පින්තූරෙ ගත්තෙ.

තරමක් හීනියට ලියාගත්තු රටලූණු හෝ රතුලූණු ටිකක්.
කපාගත් තක්කාලි ගෙඩියක්.
හීනියට ලියාගත් කරපිංචා  කොල කීපයක්.
හීනියට ලියාගත්ත සුදුළූණු බිකක්.
ලියාගත්ත අමු මිරිස් කරල් දෙකක්.
අවශ්‍ය තරමට උම්බලකඩ,ලුනු,කෑලි මිරිස් ටිකක්.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සාමාන්‍ය බැදුමක් හදන ආකාරයට බැදුම හදාගන්න ඒක තමා.

තාච්චියකට තෙල් චුට්ටක් දාල...කරපිංචා,ළූණු, සුදුළූණු,උම්බලකඩ,අමුමිරිස්,කෑලිමිරිස්  ආදිය දාල ගානට බැදිල එනකොට හතු ටික දාල ටිකක් තෙම්පරාදු කරල ගානට ලුනු කුඩු ටිකකුත් එකතු කරල  රන්වන් පාට වෙනකොට බාගන්නව.( ටිකක් තැම්බෙන්න අඩු ගින්දරේ පියනකින් වහල තියන්නත් ඕන.)


පුලුවන්නම් හොයාගෙන ආහාරයට එක්කරගන්න කියල හැමෝගෙන්ම ඉල්ලාහිටිනව.
සමහර වෙලාවට පාරෙ යන උදවිය  මැඩුවං තියෙනව දැකල වෙලට බැහැල පිදුරු ගොඩ ගොඩ අවුස්සල හතු කඩන් යනව මම දැකල තියෙනව.


ප/ලි..................              මේ දවස් වල හිතේ කිසි නිදහසක් නෑ...මගේ ප්ලොටර් එක ඒක සැරේටම ඔන් වෙන්නෙ නැතිව ගියා. පවර්සප්ලයි එකේ අවුලක් කියලයි මීට කලින් හදන්න ආපු එක්කෙනාට ඇමතුක් දුන්නාම කිව්වෙ. ඒත් මෑන්ව අල්ල ගන්න අමාරුයි .අද එනව..හෙට එනව කිය රවට්ටනව දැන් සතියකටත් වැඩී තාම ආවෙ නෑ. වැඩ ගොඩ ගැහිල ප්‍රින්ට් ගන්න බැරිව. දැන්නම් අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ. ඒත් මිල තමයි දරාගන්න බැරි.මේ පෝස්ට් එක පොරොන්දු උන ඉක්මනින් දාන්න බැරි උනේ ඒකයි...!










Monday, March 18, 2013

කුඹුරයි...කලවිටයි..!


පින්තූරය ගත්තෙ අන්තර්ජාලෙන් සිළුමින කියලයි තිබුනෙ.
කුඹුර හා කලවිට කියන්නෙ ගහයි පොත්තයි වගේ.ඔය කලවිටෙන් තියෙන ප්‍රයෝජන එමටයි. කුඹුරු කොටන කාලෙට ටිකක් විඩා නිවාගන්න...ගේන අඩුමකුඩුම ගහක එල්ලා තියන්න..තේවතුර ටිකක් බොන්න වතුර ටිකක් රත්කරගන්න. ඒ විතරක්ද..ගොයම් කැපුවම ගොයම්කොලේ හදන්නෙ කලවිටේ තමා. සමහර අය ගොවිතැන් නොකරන කාලෙට කලවිට බෙදාගෙන ..මිරිස් ,වම්බ‍ටු,බ‍ටු..වගේ ගොඩ එළවලු වගා කරනව. 

ඒ වගේමයි කලවිට වටේම තිබුනෙ පුලුන් ගස්...අපේ අම්මගෙ වැඩේ මට කියල ගහට  නග්ගල පුලුන් කඩවගන්න එක. වැඩිය උසත් නෑ හරි සාරෙට වැවිල.අනික කලවිටේ එලවලු වැව්වම පොහොර ඕන්නෑ...හරිම සාරෙට බෝග වැවෙන්නෙ..අදටත් මම දන්නෑ ඒ ඇයි කියල. දැන්නම් පුලුන් ගහක් දකින්නත් නෑ.

පොලවට වඩා තමරක් උසින් තමා කලවිට තිබුනෙ.
මේ වෙල මැද්දෙ ගහක් තියෙන්නෙ කලවිටක තමා.හැබැයි අපේ කලවිට මීට වඩා විශාලයි.ඔය වගේ ලොකු ගස් කීපයක් තිබුන. (පින්තූරය නම් අන්තර්ජාලයෙන් උපුටාගත්තෙ.)

අද වෙනකොට ට්‍රැක්ටර් වලින්  කුඹුරෙ ඉඳගෙනම කපපු විගසම ගොයම් ටික පෑගුවත් ,ඉස්සර  කපන දවසට පස්සෙන්ද තමා ගොයම් පාගන්නෙ ඒ නිසා කලවිටේ ගොයම් කොල කීපයක් දකින්න පුලුවන් එක විඩේට.

 කවුරුවත් ගොයම් හොරකන් කරන බවක් අපි අහල වත් තිබුනෙ නෑ.

අපේ මිල්ලේදන්ඩෙ... කාන්ඩෙ කීපයකගෙම කුඹුරු  තිබුන. එක යායට තියෙනකොට කාගෙ,කාගෙ ඒවද..කොයි ලියැදි ටිකද අපිට අයිති කියල හොයාගන්න බෑ...එක විදියෙයි නොවැ.අනික එකම වී වර්ගය වගා කරන පුරුද්දක් ඉස්සර තිබුන.

මම ඇටෙන් පොත්තෙන් එන කාලෙ දවසක .. අම්මත් එක්ක තව ගොයම් කපන ගෑණු අය කීප දෙනෙකුත්, එකතු කරන්න එක්කෙනෙකුත් එක්ක මාත් ගියා කුඹුරු කපන්න උදේම. 
දැන් අපේ ලියැදි ටික හොයා ගන්න බෑ..තාත්තත් විශේෂ වැඩකට දුරක ගිහින්..අම්මටත් ඒ හැටි නිච්චියක් නෑ කියනව. 
දීර්ඝ සාකච්ඡාවකින්  පස්සෙ ඕන්න වැඩේ පටන් ගත්ත. ඒ වෙනකොට කපන්න ඇවිල්ල හිටිය ඈයො කන් කෙදිරි ගගා හිටියෙ අව්ව වැඩිවෙන්න කලින් ඉක්මනට වැඩිහරියක් ඉවර කරන්න ඕන කියල.ඉක්මනටම .

ලියැදි දෙකක් කපනකොට තාත්ත ඈත ඉඳන් මොනවද කිය කිය එනව අත් දික්කර කර....අපිත් කට ඇරන් බලා හිටිය වැඩේ නවත්තල..තාත්තත් ඉතිං ගිනිපුක් කාරය නෙවැ..තද වෙලා වෙන්න ඇති කියල මොකකට හරි.

ඇයි බොලව් ඕච්චර කාලයක් කුඹුරට  එන බොලාට අපේ ලියැදි ටික මතක නැද්ද...? ඔය කපලා තියෙන්නෙ කඩේ ගාමිණිගෙ කෑල්ල නේ...!!

මල හත්තිලව්වයි තව ටිකයි කිව්වලු..! අපිට දෙලෝ රත් උනා ඇයි දෙයියනේ ඒ වෙනකොට ලියැදි දෙකක් කපල තිබුනෙ. 
තාත්ත මුකුත් කිව්වෙ නෑ..තව "පාවර"ක් හදපල්ල කිව්ව.

 එකතු කරමින් හිටපු "ගොයම් කොලේ" එහෙම්ම ඉටිකොලේකින් නොතෙමෙන්න ආවරනය කරල..අපි වෙනම මෙහායින් පාවරක් අලුතින් හැදුව.

ආයිත් මුල ඉඳලම ගොයම් කපන්න ගත්ත..අත්තමට ආපු අය "හුම්"...කිව්වෙ නෑ ගොඩක් වෙලා යනකං ඇයි..උන්ට කේන්තිනේ..

අන්තිමට තාත්ත ගොයම් පාගල ඉවර උන පස්සෙන්දම අත්තමේ සල්ලි වලට අමතරව වී කුරුනි පහ ගානේදුන්න.

තාත්ත තකහනියක් ගිහිල්ල කඩේ ගාමිනිට විස්තරෙ කියල ආව. ඒ අයනම් සතු‍ටුවෙයි  ඇයි අත්තමක් විතර අඩුවෙන්නෙ යන්නෙ ඒ ගොල්ලට කුඹුරු කපන්න.

ගොවිතැන් කරන අය අතර තිබුනු විනය,සංවර කම ගැන මතක් වෙනකොට පුදුමයි. කවදාවත් තව කෙනෙකුගෙ අබ ඇටයක දෙයක්වත් ගන්නෙ නෑ...හිතරිදවන්නෙ නැහැ.

අනිත් එක තමයි එකිනෙක අසල තියෙන,කුඹුරු දෙකක්නම් එකක වැඩ වේලාසනින් ඉවර උනා කියල ඒ අය පිටත් වෙලා යන්නෙ නෑ. අර අනිත් පරක්කු වෙන අයගෙ ගොයම් ටිකත් කපල දීල දෙගොල්ලොම එකට ඇඟපත හෝදගෙන තමයි කුඹුරෙන් යන්නෙ.

පස්සෙ පස්සෙ ඔය චාරිත්‍ර නැතිවුනා..දැනටත් යන්තමට ඉතිරියි අපේ තාත්තල වගේ පිරිස නිසා. 

වතුවල ඉන්න දෙමල අය කම්කරු හිඟයට පිලියමක් ලෙස සමහරු උපයෝගී කර ගත්ත. ඒ නිසා මේව පරිහානිය ඉක්මන් උනා.

මට අදවගේ මතකයි. පොඩිකාලෙ ගොයම් පාගන වෙලාවෙ කා‍ටුව නිසා බැත එකතුවෙන පාවරට සෙරෙප්පු දෙක දාගෙන ගිහිල්ල කලවිටෙන් එලියට යනකන් කනේ පාරවල් කීපයක් කෑව..තාත්තගෙන්...!

************************************************************
ප/ලි.        ....... ලියන්න ගත්තෙ වෙන එකක් අන්තිමට මතක ගබඩාව අවදි උනා.ඒ නිසයි මේ ටික ලිය උනේ. පිදුරු හතු දන්නෙ නෑ කියල සමනලී කියල තිබුන හින්ද පිදුරු හතු ටිකක් උයන හැටි ගැන දාන්නයි හිතුවෙ පස්සෙ දාන්නම් පොටෝ ටික තීනවනෙ.




Thursday, March 14, 2013

ඉපනැල්ලෙ...ගොයම් කොලේ


ඉර ගිණිබෝලයක් වගේ ඈතට පෙනුනට දැන් හවස හයත් පහුවෙලා.ඒත් ගිනිකූටක අව්ව තාමත් එහෙම්ම තියෙනව.ඈත වෙල ඉස්මත්තෙ කලවිට අද්දර හිස් බිමේ වගේම තවත් ලියැදි කීපයකම මිනිස්සු කඩිගුල වගේ වැඩ. වෙලාවකට හිතෙනව මේ ලංකාවෙ මිනිස්සුමද ...කියල. ඔව් අපේ මිනිස්සුම තමා.

මේ දවස්වල පහතරට තෙත්කලාපයේ වෙච්ච අපේ ගම්වල කුඹුරු කපන කාලෙ.එහෙම නැත්නම් ගොයම් කපන කාලෙ. 

අපේ ගම් වල වෘත්තීයමය ගොවියො දැන් ඇත්තේම නැහැ. ඉස්සරත් හිටියෙ නැති තරම්.රජරට,ඌව,දකුණෙ ඈතට වෙන්න වගේ විශාල කුඹුරු ඉඩම් මෙහේ ඇත්තේම නැති තරම්.කුඩා කුඩා ලියැදි වලින් පිරිච්ච වී කුරුනි 6ක් හෝ 12ක් වගේ තමයි ගොඩක් අයට තිබුනෙ. ඊට වඩා වැඩිපුර තිබුන අයත් හිටිය ඒත් අඩුයි. මහනුවර පැත්තෙ වගේ හෙල්මලු ක්‍රමේ නම් ඇත්තේම නැහැ.

අහස් දියෙන් වගාකරන නිසා කාලවකවානු වලට නියමිත පරිදි කුඹුරු වගා කිරීම  සිදු උනා. ඒ නිසාම ගොයම් කපන්නෙත් එක කාලයට. හැමෝම එකා වගේ මහන්සි වෙනව. පාරෙ යනකොට නාස්පුඩුවලට දැනෙන නැවුම් ඉපනැල්ලෙ සුවඳ...අපේ ලේ නහර වල,ජානවල තැම්පත්වෙලා තියෙන බතබුලතක හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.


මේ දවස් වල උදේ හවා කාර්‍යාලයට යනෙන මට කුඹුරු ඉසව්වෙදි නැහැයට දැනෙන මේ පඬු ඉපනැල්ලෙ මිහිරි සුවඳත් ඒක්ක හිත අතීතයට යන්නෙ නොදැනුවත්වම.
මේ තියෙන්නෙ මිල්ලේදන්ඩ  කුඹුරු යාය.දැන් ගොයම් කපල ඉපනැල්ල විතරයි. හරක් තමයි දැන් අයිතිකාරයො.
අපේ තාත්තටත් කුඹුරත් තිබුන. එක යායකට තිබුන ඒ වෙල් ඉසව්වට කිව්වෙ.."මිල්ලේදන්ඬ " කියල. සින්නක්කර ඔප්පුවල සඳහන් වෙන්නෙ එහෙමයි.අක්කර බාගයයි,නැත්නම් වීකුරුනි 6යි.මගේ තාත්ත පෙදරේරුවෙක් උනාට කුඹුරු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.  අද කාලෙ වගේ නෙමේ. තනිකරම මිනිස් ශ්‍රමය විසින්ම තමා කුඹුරු කලේ.

මුලින්ම වේලි බඳිනව..කුඹුරු කපල කාලයක් වෙන නිසා මේ වෙනකොට ගමේ එළ හරක්,මී හරක් අරක් අරගෙන ඉන්නෙ.උන්ගෙ කුරවලට වේලි යන්තම් පස්ගොඩක් බවට පත්වෙලා ඉවරයි. දෙන්නෙකුට දවස් දෙකක වැඩ තියෙනව.අනික් කාරනය වේලි බැන්දම ඒවයෙ තියෙන තණකොල මැරෙනව. ඔය කුඹුරු කොටන කොට දෙපාරක් කොටන්නෙ ඒකනෙ. මුල් කෙ‍ටුමෙ තණකොල තියෙන පස් උදලු පාරට පේලියට පෙරලාගෙන යනව. ඊට පස්සෙ ලියදිවල වතුර බඳිනව.තියෙන තනකොල ඔක්කොම තැම්බෙනව.ඊලඟට දවස් හතකින් විතර අර තැම්ඹුන පිඩලි ටික නොපිට හරවනව..ඒක  දෙකෙ‍ටුම් කියල කියනව. ඉන්පස්සෙ තමා වපුරන්නෙ.

ඔය සිද්ධි දාමය දැන් වෙනස් වෙලා..මුලින් වස ගහනව. දවස් කිහිපයයි කෙලින්ම කොටල වපුරනව. අත්ටැක්ටරෙන් හාන එකත් ජයටම කෙරෙනව.මීහරක් දාල හාන එකනම් කෙරෙන්නෙම නැති තරම්.ඒත් සාර්ථකම ක්‍රමය ඒක කියලයි වැඩිහිටියො කියනව මට ඇහිල තියෙන්නෙ. 

මී හරකගෙ ඇඟ හරිම ඌශ්ණයි.උන් දවස තිස්සෙම මඩේ ලැගල ඉන්නෙ ඔය ඌශ්ණය අඩුවෙන්න කියලනෙ කියන්නෙ. උන්ට පෑගිලා ඇඹරිලා  මැඩවෙන පොලවෙ කාලයක් යනකන් වල්පැල වැවෙන්නෙ නැහැ. වෙන හේතුවක් තියේද මන්ද..?

වස ගැහැව්වමත් වෙන්නෙ ඔය සිද්දියම බරපතල විදියමටම තමා.ඒත් වස වලට පොලොවෙ ඉන්න ගොයම් ගහට හිතකර සත්තු ඉඳල ..වතුරෙ ඉන්න මාලුවා පවා මැරෙනව. අනතුරු දායකම වැඩේ  ඔය විස කාලයක් යනකන් ඉවත්වෙන්නෑ..කුඹුරට බහින ගොවියට විසක් බවට පත්වෙන්නෙත් ඕවම තමා.

අපේ තාත්ත කාලෙකට උඩදි කුඹුරු වැඩවලට සම්බන්දවීම අතහරින්නත් හේතු උනේ වස. වස ගහල කුඹුරු කොටන අයගෙ කකුල් වලට විවිධ ලෙඩ හැදෙනව.විස බිබිලි දානව,කහන්න අර ගන්නව,දැවිල්ල ගන්නව. අපේ තාත්තගෙ කකුලෙ සුව නොවන තුවාලයක් ඇති උනා වස වලට.

තාත්තගෙන් මට අක්කර බාගෙ කුඹුර අයිති උනත් මට ඔය කෙරුවාව කරගෙන යන්න අමාරුයි.එකසැරයක් හරි කුඹුරකට බැහැලම බලන්න ඕන රඟේ. දැන් කුඹුරුවැඩ වලට මිනිස්සු අඩුයි.හැබැයි ඉන්න මිනිස්සු ටික ඒ කාලයට අල්ලගන්නත් අමාරුයි. කොහොම උනත් දැන් දැන් කුඹුරු කරන අය අඩුයි.කොහොමත් ලාබයක් නම් නෑ...හිතේ සතුට විතරයි තියෙන්නෙ.


මට හිතුන කුඹුරු වැඩත් එක්ක ගෑවිච්ච..වචන, භාණ්ඩ ගැන දන්න විදියට ලියන්න. අඩුපාඩු තියේනම් කියමු.මට බැරිඋන ඔයාලට මතක් උන වචන තියේනම් ලියමු.
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
මඩවන්න ගත්තෙ මීහරක්,ගොයම් කපල පාගන්නත් මීහරක් හවුල් කරගත්ත. ඒත් අපේ පැත්තෙ නම් මම දැකල නෑ. අඹ යාලුවෝ ටෙලිනාට්‍යයේ තිබුනෙ. උන්ට කිව්වෙ "අම්බරුවෝ "
                                                                         (මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
වේලි වලින් වෙන් කරල ලියදි හදනව. 
ලියැද්දෙන් ලියැද්දට වතුර ගන්න පිටවානෙන් වක්කඩයක් බඳිනව. පිටවාන කියන්නෙ...මුලු කුඹුර වටා ජලය ගෙනියන ප්‍රධාන ඇලට. පිටවානෙ ඉවුර කපල හදන සිදුරට වක්කඩේ කියනව.
කුඹුර කොටල හෝ  සීසාල ...තරමක් පැලවුන වී ඇට ඉහිනවට කියන්නෙ...වපුරනව .

දිනෙන් දින ගතවෙලා ගොයමේ මල් පීදෙන..පිපෙන කාලයට 
හීන් බන්ඩි..ඊටපස්සෙ ගොයම් මල් ඇට බවට පත්වෙනකොට මහ බන්ඩි.
ගොයම් කපනකොට වී ඇට බිත්තර.
ගොයම් කපල ගොඩක් විදියට එකතු කරන තැන පාවර.
එකතුවන ගොයම් ගොඩ ගොයම් කොලේ.(ඉස්සර නඩුවකටත් ඈඳල කියන්නෙ..ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල)
ගොයම් පාගල ඇට එකතුවෙනකොට බැත කියනව.
ගොයම් කපල ගන්නකොට ගහේ මුල්හරිය ඉතුරු වෙද්දිනේ කපන්නෙ. ඒ ඉතිරිවන ටික ඉපනැල්ල.
පාගල ඇට වෙන්කරගෙන වීසිකරන ඉතිරිහරිය මැඩුවං(හරක්ට කන්න දෙන්නෙ.)
වී වේලන්න ගන්නෙ මාගල(දිග විශාල පැදුර)
වීවේලනකොට දුහුවිල්ලක් වගේ කොටසක් තියෙනව කා‍ටුව .

අපේ ගෙවල් වලට වී පුරවල ගේන ගෝනි උඩ නගින එක අපේ ජොලිවැඩක් තාත්ත හරි අම්ම හරි දැක්කොත් ගුටියක් තමා..දරුවො කන බත් පතනේ..පව් සිද්දවෙනව.

ඉස්සෙල්ලම අලුත් හාලෙ බත් කන එකත් පූජාවක් වගේ.මාලුපිනි මොනව හරි එක්ක පපඩම් බැදල,කටට රහට කෑම හදල මුල්ම කොටස එලිමහනෙ රාත්‍රී 9න් පස්සෙ පූජාවක් තියනව.වතුරත් තියනව.අස්වැන්න සරු උනාට පිංදෙනවා.

අදවගේ මතකයි. එදාට තාත්ත වෙලාසන නාල පිරිසිදු වෙලා..ත‍ටුවක් හදනව...ගොට්ටක් වගේ අපේ ගෙදර තියෙන ගල උඩ තමා පූජාව තියන්නෙ.මැටිපහනකුත් පත්තුකරනව.

අලුත් හාලෙ තියෙන නැවුම් සුබුඩ්ඩ නිසා බත් පුදුම රහයි. දැන් සමහරු හාල් ඇටේ සුදු වෙනකන් පාහිනව.ඒත් අදටත් මම ආසම හොඳට රතුපාටට සුබුඩ්ඩ තියෙන හාල් වලට. කියන්න බැරි උනා අපි වගා කලේම රතු හාල් වී...........බෝඹුවල,හීනටි,සුවඳැල්,...තව ඒව මතක නැහැ. 
දැන්නම්...තනිකර අංක වලින් කියන වී වර්ග..අස්වැන්න හොඳයි කියනව...ඒත් ලෙඩ වැඩී.

ඒත් මගේ කුඹුර මම මල්ලිට දුන්න.