Wednesday, December 25, 2013

අමතකව ගිය ඒ දිනය 2004-12-26



මා එදින සිටියේ නිවසට වී විවේක සුවයෙනි. පොහොය දින වීමත්, මා විවාහ වී දින කීපයක් පමනක් වීමත් ඊට හේතුව වී තිබුනි. පොහොය දිනයේ ස්වාධීන රූපවාහිනියේ ධර්මානු ශාසනික වැඩසටහන් එදින සජීවී විකාශය සිදු උනේ අලුත්ගම කන්දේ විහාරයේ සිටය. එනිසා පු‍ටුවකට බරදී සාලයේ සිට මා රූපවාහිනිය නැරඹූයෙමි. ක්ෂණිකවම සියලු වැඩසටහන් නැවතූ අතර...තිරයේ  දිස්වූයේ ඉතාම භයංකාර දර්ශන පෙලකි. මිනිසුන් ගැහැනුන් හඩමින්,බයෙන් භිරාන්ත වෙමින් එක හුස්මට කන්දේ විහාරයේ කන්ද දුවමින් තරණය කරන දර්ශනයයි. එක් වයසක තැනැත්තකු සිද්ධිය විස්තර කරන්නට විය.

හ්හ....හ්හ..( ඔහු හතිදමයි) මහත්තයෝ...මුහුද ගොඩ ගහනව...ආන් අපේ ගෙවල් මුහුදට ගියා..ගෙවල් වල උන්න අයට මොනා උනාද දන්නෑ ...අපිත් මේ පණ බෙරගෙන ආවෙ..අපිත් ‍රැල්ලට වීසිවෙලා ගියා...!( හඬමින් ) මෙච්චරයි ..ඉතුරු උනේ..ගේ එහෙම්ම ගියා..ගෙයි තිබුන මුකුත් ඉතුරු නෑ මහත්තයෝ..!!!

තවත් එවැනිම පිරිසක් පැමිනේ..ඔවුන්ගේ ඇඳුම් පවා ඉරී ගොසිනි.එකකු කතා කරයි.
" වෑන් එකක් එහෙම්ම ගියා ‍රැල්ලට ගහගෙන ....අපි යන්නම එපා කිව්ව..පලවෙනි ‍රැල්ලට පෙරලුනා...දෙවෙනි එකට මුහුදට ගියා..අපොයි ඉඳල වැඩක් නෑ මහත්තයෝ...............!!!!"ඔවුන් බලපිටිය පැත්තට ආවේනික කතාබහ විලාශයෙන් නොනවත්වා කියාගෙන යයි.
නිවේදකයා ටද මේ සිදුවන්නේ කුමක්දැයි වටහා ගත නොහැකිව සිටින විටදී...හදිසි ප්‍රවෘත්තියක් විකාශනය වේ.

මුහුදු පත්ලේ ඉතා    දරුණු භූමිකම්පාවක් සිදුවී ඇති අතර..ඉන් සුනාමි තත්වයක් ඇති වී ඇති අතර....ලංකාවේ මුහුදු බඩ පලාත් සියල්ලම වාගේ මුහුද ගොඩ ගැලීමට බිලිවී ඇති බවත් සියල්ලන්ම ආරක්ෂිත ස්ථානවලට ගමන් කරන ලෙස දැනුම් දුනි. ඒ අතර ගුවන් විදුලි විකාශය කින් කිය වුනේ ...ගාල්ල නගරය.මාතර, හම්බන්තොට,තංගල්ල ආදී නගර සියල්ල අඩි 30ක්40ක් උසට ගලා ආ මුහුදු ‍රැලි වලට ගොදුරු වී මහත් විනාශයක් සිදුවී ඇති බවය. 

මෙය ඇසීමත් සමග අප නිවසටද ගිනි ඇවිලුනි. ඒ මාගේ බිරිඳ තංගල්ලට කිට්‍ටුව මුහුදුබඩ ගමක තැනැත්තියක් වීමයි.

එකවරක් නොව කීප වරක් දුරකතනයකින් නිවසට ඇමතීමට උත්සාහ කලත් අසාර්ථකය. දුරකතන සමාගම් වලට අම්මා මුත්තා නැතිව බැනවැදුනත්..පලක් නැත.ලංකාවේ සියලු දෙනාම දුරකථන වලය. ඒ හේතුවෙන්ම දුරකතන සම්බන්දතා ජාලය ක්‍රියා විරහිත වී ඇති බව අප දැන ගත්තේ පසුවය.

කලහැකි කිසිවක් නැත. කිසිම තොරතුරක් දැනගත හැකි මාර්ගයක්ද නැත. අප නිවැසියෝ..කෑමක් බීමක් නැතිව හූල්ලමින් බියෙන් සිටිති. මා පාරට ගොස් එතැනින් නගරයටද ගොස් තොරතුරු විමසා බැලුවෙමි. අදහාගත නොහැකි සත්‍යකි. අප නගරය මුහුද ඉසව්වේ සිට හැතැක්ම 8 ක් පමන දුරින් පිහිටියත්...වෙරල බඩ ජනයා ඇඳිවත පිටින්..කුඩා වාහන වලින්.පා පැදි,යතුරුපැදි වලින් පමනක් නොව ඇතමෙක් පා ගමනින්ද අප නගරයට පැමින මහත් විස්සෝපයෙන් නිවාගනු නොහී පිපාසාවෙන්,දුක් ගින්දරෙන් පෙලෙමින් සිටිති.

ඒ අතර ඇතමෙක් නුදුරු පන්සල් වල පිහිටි බණ මඩුවලට වන්හ. එහෙත් උන්ට නිසි සේ ගිමන් නිවන්නට, තොරතුරු දැනගැන්මේ සාපිපාසවෙන් හුන් තකතීරු ඇතමෙක් ඉඩ නුදුන්හ. පසුව පන්සලේ හාමුදුරුවන් උන් එලවා දැමූහ.

මා නිවසට නැවත පැමින මේ සියල්ල පැවසූ කල්හි නිවස එකම මලගෙයක් වැනි වූහ. එම රාත්‍රියේම..ගමට යාමට අවශ්‍ය බව බිරිඳ පවසන්නට විය. එහෙත් නැවත සුනාමියක් මීට දරුනු වෙස් ගෙන පැමිනිය හැකි බව ගුවන් විදුලියෙන් විකාශය විය. 

එමෙන්ම පාරවල් සියල්ල වසා තිබුනි.කොලඹ සිට පැමිනෙන බස් රථ,ඇතුලු සියලු රථවාහන ගමන් ගත්තේ ගාලු පාරෙන් නොව.අප ගම හරහාය.ඒ වායේ ඉඩක් ඇති සෑම තැනකම මිනිසුන් පුරවාගෙනය.

වෑන් රථ සියල්ල කලදු‍ටුකල වල ඉහ ගැනීමේ චේතනාවෙන්..ඉහල මිලක් කුලී ගමන් වලට ඉල්ලා සිටී.

එකම පිහිට දුකට සැපට මාලඟ සිටි, යතුරු පැදියය. එහෙත් ඉන්ධන. මෙහි සිට තංගල්ලට යාමට ඒ දිනවල රු.500ක වත් පෙට්‍රල් උවමනා විය.ලීටරයක් මතකයේ හැටියට රු.120ක් පමණ ආසන්නයේ තිබුනි.එහෙත් එතරම් ඉන්ධන මා සතුව නැත. රාත්‍රියේම අවට ඉන්ධන හල් පුරා ඇවිද්දෙමි. සෑම තැනකම අවසන්යැයි බෝඩ් එල්ලා ඇත.

ඉන්ධන හලෙන් විමසීමක් කර බැලුවත් ඊට හේතුව කීම ඔවුන් ඉතා අකාරුණික ලෙස ප්‍රතික්ෂේප කලහ. සත්‍ය නම් ඔවුන් ඉන්ධන සඟවා තබාගෙන වැඩි මිලට විකිනීමට සූදානම් වීමයි.

ඉතිරිව තිබූ ඉන්ධන ප්‍රමාණයෙන් ගමන යාමට තීරණය කලෙමු. අතර මගදී ඉන්ධන හල් හමුවන නිසා ඉන්වත් ලබාගතහැකි වෙතැයි උපකල්පණය කලෙමු. 

උදෑසනම යම්තම් බිම් කරුවල තුරන් වේගන එන විටම ගමන යාමට සූදානම් වීමු. වෙනදා පායන හිරු එලිය නැත. මුලු පරිසරයම මලානික වී ඇති සෙයකි. කිසිම කුරුල්ලකුවත් හඬන්නේවත් නැත උන්ද මේ ව්‍යසනයට බිය වීදෝයි සිතේ. එහෙත් ගමන යායුතුය. එලිවනතුරු නින්දත් නොනින්දත් අතරේ සිටි නිසා ඇඟ පත තලා දාමා ඇති සෙයකි.කලින් දා රත්‍රියේ නිසි පරිදි අහරක් ගත්තේ නැත. බිරිඳ නම් කහට තේ එකක් පමනක් බී වේලා සනින්ම ඇඳට වූවාය. එහෙත් රාත්‍රිය පුරාම අවදියෙනි.විටෙක සුසුම් ලෑමත් , සිහින් ඉකිබිඳුමත්..මා හද පාරවනු ලැබීය.

ප්‍රධාන පාරට හරවනවාත් සමගම මා මිතුරකු කුඩා කැන්ටර් වර්ගයේ රථයක් නවතා තොරතුරු විමසා ඔවුන්ද ගාල්ලට යනනිසා බයිසිකලය එහි පටවාගෙන යමුයැයි කතිකා කොට ඒපරිදි කලෙමු. ඉන් අපට අත්වූ වාසිය නම්..ඉන්ධන ඉතිරිකර ගැනුමයි.......!

මතු සම්බන්දයි..!
................................................................................

ප/ලි..........වීපොකුරේ පෝස්‍ටුවක් මේ දමන්නෙ මාස 6කින් පමනය. ඊට හේතු බූත කාරනා මා හිත මිතුරන් දන්නා අතර එහෙත් ඊට මා සමාව ඉල්ලමි. බොහෝ සහෘදයින්..ඉක්මනින් නැවත ලියන්න යැයි මා දිරි ගැන්වූහ. එහෙත් ඊට කාලය හරස් වීය. මේ පෝස්‍ටුවද..ලියා අහවර වූයේ දැන්ය. ඒද කොටසකි. ඉතිරි කොටස ඉක්මනින් පලකරමි. මේ මාගේ සත්‍ය අත්දැකීමකි. ඇසීමට ,දැකීමට.හෝ මතක් කිරීමටවත් අකමැති මුත්...මේ විස්තරය ලියන්නට මා සිතා සිටියේ කලක පටන්ය. එනිසා ලියා තබමි. මේ දිනට මෙය නොලීවෙමි නම් ඉන් වැඩක් නැත.