Monday, March 18, 2013

කුඹුරයි...කලවිටයි..!


පින්තූරය ගත්තෙ අන්තර්ජාලෙන් සිළුමින කියලයි තිබුනෙ.
කුඹුර හා කලවිට කියන්නෙ ගහයි පොත්තයි වගේ.ඔය කලවිටෙන් තියෙන ප්‍රයෝජන එමටයි. කුඹුරු කොටන කාලෙට ටිකක් විඩා නිවාගන්න...ගේන අඩුමකුඩුම ගහක එල්ලා තියන්න..තේවතුර ටිකක් බොන්න වතුර ටිකක් රත්කරගන්න. ඒ විතරක්ද..ගොයම් කැපුවම ගොයම්කොලේ හදන්නෙ කලවිටේ තමා. සමහර අය ගොවිතැන් නොකරන කාලෙට කලවිට බෙදාගෙන ..මිරිස් ,වම්බ‍ටු,බ‍ටු..වගේ ගොඩ එළවලු වගා කරනව. 

ඒ වගේමයි කලවිට වටේම තිබුනෙ පුලුන් ගස්...අපේ අම්මගෙ වැඩේ මට කියල ගහට  නග්ගල පුලුන් කඩවගන්න එක. වැඩිය උසත් නෑ හරි සාරෙට වැවිල.අනික කලවිටේ එලවලු වැව්වම පොහොර ඕන්නෑ...හරිම සාරෙට බෝග වැවෙන්නෙ..අදටත් මම දන්නෑ ඒ ඇයි කියල. දැන්නම් පුලුන් ගහක් දකින්නත් නෑ.

පොලවට වඩා තමරක් උසින් තමා කලවිට තිබුනෙ.
මේ වෙල මැද්දෙ ගහක් තියෙන්නෙ කලවිටක තමා.හැබැයි අපේ කලවිට මීට වඩා විශාලයි.ඔය වගේ ලොකු ගස් කීපයක් තිබුන. (පින්තූරය නම් අන්තර්ජාලයෙන් උපුටාගත්තෙ.)

අද වෙනකොට ට්‍රැක්ටර් වලින්  කුඹුරෙ ඉඳගෙනම කපපු විගසම ගොයම් ටික පෑගුවත් ,ඉස්සර  කපන දවසට පස්සෙන්ද තමා ගොයම් පාගන්නෙ ඒ නිසා කලවිටේ ගොයම් කොල කීපයක් දකින්න පුලුවන් එක විඩේට.

 කවුරුවත් ගොයම් හොරකන් කරන බවක් අපි අහල වත් තිබුනෙ නෑ.

අපේ මිල්ලේදන්ඩෙ... කාන්ඩෙ කීපයකගෙම කුඹුරු  තිබුන. එක යායට තියෙනකොට කාගෙ,කාගෙ ඒවද..කොයි ලියැදි ටිකද අපිට අයිති කියල හොයාගන්න බෑ...එක විදියෙයි නොවැ.අනික එකම වී වර්ගය වගා කරන පුරුද්දක් ඉස්සර තිබුන.

මම ඇටෙන් පොත්තෙන් එන කාලෙ දවසක .. අම්මත් එක්ක තව ගොයම් කපන ගෑණු අය කීප දෙනෙකුත්, එකතු කරන්න එක්කෙනෙකුත් එක්ක මාත් ගියා කුඹුරු කපන්න උදේම. 
දැන් අපේ ලියැදි ටික හොයා ගන්න බෑ..තාත්තත් විශේෂ වැඩකට දුරක ගිහින්..අම්මටත් ඒ හැටි නිච්චියක් නෑ කියනව. 
දීර්ඝ සාකච්ඡාවකින්  පස්සෙ ඕන්න වැඩේ පටන් ගත්ත. ඒ වෙනකොට කපන්න ඇවිල්ල හිටිය ඈයො කන් කෙදිරි ගගා හිටියෙ අව්ව වැඩිවෙන්න කලින් ඉක්මනට වැඩිහරියක් ඉවර කරන්න ඕන කියල.ඉක්මනටම .

ලියැදි දෙකක් කපනකොට තාත්ත ඈත ඉඳන් මොනවද කිය කිය එනව අත් දික්කර කර....අපිත් කට ඇරන් බලා හිටිය වැඩේ නවත්තල..තාත්තත් ඉතිං ගිනිපුක් කාරය නෙවැ..තද වෙලා වෙන්න ඇති කියල මොකකට හරි.

ඇයි බොලව් ඕච්චර කාලයක් කුඹුරට  එන බොලාට අපේ ලියැදි ටික මතක නැද්ද...? ඔය කපලා තියෙන්නෙ කඩේ ගාමිණිගෙ කෑල්ල නේ...!!

මල හත්තිලව්වයි තව ටිකයි කිව්වලු..! අපිට දෙලෝ රත් උනා ඇයි දෙයියනේ ඒ වෙනකොට ලියැදි දෙකක් කපල තිබුනෙ. 
තාත්ත මුකුත් කිව්වෙ නෑ..තව "පාවර"ක් හදපල්ල කිව්ව.

 එකතු කරමින් හිටපු "ගොයම් කොලේ" එහෙම්ම ඉටිකොලේකින් නොතෙමෙන්න ආවරනය කරල..අපි වෙනම මෙහායින් පාවරක් අලුතින් හැදුව.

ආයිත් මුල ඉඳලම ගොයම් කපන්න ගත්ත..අත්තමට ආපු අය "හුම්"...කිව්වෙ නෑ ගොඩක් වෙලා යනකං ඇයි..උන්ට කේන්තිනේ..

අන්තිමට තාත්ත ගොයම් පාගල ඉවර උන පස්සෙන්දම අත්තමේ සල්ලි වලට අමතරව වී කුරුනි පහ ගානේදුන්න.

තාත්ත තකහනියක් ගිහිල්ල කඩේ ගාමිනිට විස්තරෙ කියල ආව. ඒ අයනම් සතු‍ටුවෙයි  ඇයි අත්තමක් විතර අඩුවෙන්නෙ යන්නෙ ඒ ගොල්ලට කුඹුරු කපන්න.

ගොවිතැන් කරන අය අතර තිබුනු විනය,සංවර කම ගැන මතක් වෙනකොට පුදුමයි. කවදාවත් තව කෙනෙකුගෙ අබ ඇටයක දෙයක්වත් ගන්නෙ නෑ...හිතරිදවන්නෙ නැහැ.

අනිත් එක තමයි එකිනෙක අසල තියෙන,කුඹුරු දෙකක්නම් එකක වැඩ වේලාසනින් ඉවර උනා කියල ඒ අය පිටත් වෙලා යන්නෙ නෑ. අර අනිත් පරක්කු වෙන අයගෙ ගොයම් ටිකත් කපල දීල දෙගොල්ලොම එකට ඇඟපත හෝදගෙන තමයි කුඹුරෙන් යන්නෙ.

පස්සෙ පස්සෙ ඔය චාරිත්‍ර නැතිවුනා..දැනටත් යන්තමට ඉතිරියි අපේ තාත්තල වගේ පිරිස නිසා. 

වතුවල ඉන්න දෙමල අය කම්කරු හිඟයට පිලියමක් ලෙස සමහරු උපයෝගී කර ගත්ත. ඒ නිසා මේව පරිහානිය ඉක්මන් උනා.

මට අදවගේ මතකයි. පොඩිකාලෙ ගොයම් පාගන වෙලාවෙ කා‍ටුව නිසා බැත එකතුවෙන පාවරට සෙරෙප්පු දෙක දාගෙන ගිහිල්ල කලවිටෙන් එලියට යනකන් කනේ පාරවල් කීපයක් කෑව..තාත්තගෙන්...!

************************************************************
ප/ලි.        ....... ලියන්න ගත්තෙ වෙන එකක් අන්තිමට මතක ගබඩාව අවදි උනා.ඒ නිසයි මේ ටික ලිය උනේ. පිදුරු හතු දන්නෙ නෑ කියල සමනලී කියල තිබුන හින්ද පිදුරු හතු ටිකක් උයන හැටි ගැන දාන්නයි හිතුවෙ පස්සෙ දාන්නම් පොටෝ ටික තීනවනෙ.




78 comments:

  1. අමුතු අත්දැකිම් ටිකක්...

    ReplyDelete
    Replies
    1. ඇයි දිනේෂ් අමුතුයි කිව්වෙ..?

      Delete
  2. කලවිට කියල කිව්වේ ඕවිට කියන එකටම නේද.... අපි ඕකට කියන්නේ ඕවිට කියල....
    පාවර කියන්නේ මොකක්ද?? තේරුනේ නෑනේ...

    අහ්හ්... නියමයිනේ....එහෙනම් ඒක ගැන දාමුකෝ බලන්න..... :)
    ඇත්තටම මට පිදුරු හතු ගැන මතකයක් නෑ....

    ReplyDelete
    Replies
    1. ඕවිට කියන්නෙ එක පැත්තක් වෙලටත්,අනෙක් පැත්ත ගොඩබිමටත් යාවුන තැනකට.
      කලවිට කියන්නෙ වෙල්යාය මැද දූපතක් වගේ එකකට. පොදුවෙ දෙකම සමානයි වගේ.

      පාවර කියන්නෙ..ගොයම් ගොඩගහන්න හෝ වී පාගන්න කලින් බිමට එලන..මාගල හෝ වෙනත් බිමට එලන දෙයක්..පොහොර බෑග් එකතුකරල මහපු පැදුරක් වගේ ඒවත් දානව.

      දාන්නම්..මම නම් කෑවත් එක්ක..ම්...ම්...ම්..!

      Delete
    2. මමත් මේ කියන්න ආවේ,, ප.ලි එක්ක දාලා ඔය වගේ වචන පැහැදිලි කරන්න පුළුවන්නම් ලොකු උදව්වක් අය්යණ්ඩියා... නොදන්නා ඒව හුගක් තියනෝ මේකේ.:D

      Delete
    3. අනේ ශම්මියෝ..කොයි වචන පැහැදිලි කරන්නද කියල හිතාගන්න බැහැනෙ..ගොඩක් ඒව කමෙන්ට් වලින් පැහැදිලි වෙලා නේදෝ..!

      හතු එකට තියමු..ඉතිරිය..?

      Delete
  3. ඇයි දෙයියනේ අපිට මේ කුඹුරු කතා නෑනේ. වීයලට නම් ඉතිං කුඹුරු ගැන අත්දැකීම් - කතා එමටයි. මට හරි ආසයි සරුසාර කුඹුරුයායක් අයිනෙන් පිරිසිදු හුළඟ, නැවුම් සුවඳ විඳගෙන ඇවිදගෙන යන්ට.

    මම අහල තියෙනව අපේ අම්මා කියනව ඉස්සර අම්මලයි ආත්තම්මලට කුඹුරු තිබුනළු. හැබැයි ගමෙන් හැතැප්ම ගානක් ඈත. ඒව අඳේට දීල වැඩ කෙරෙව්වය කාලෙකට ආත්තම්මල ගිහිල්ල කරත්තවල පටෝගෙන වී අරගෙන එනවය කියල අම්ම කිව්ව. ඒත් අත්තම්මල නැති වුනාට පස්සෙ අනිත් හිටපු අය කුඹුරු කිරිල්ල ගැන උනන්දුවක් තිබුනෙ නැහැළු, ඒ අඳේට වැඩකරපු අයටම ඒව අයිතිවෙන්න ඇති කියලයි අම්මා කිව්වෙ.

    ReplyDelete
    Replies
    1. මටත් දැන් කුඹුරු නැහැ .DDT
      තිබුනු ඒව මල්ලිට දුන්න.

      ජීවිතයෙන් කොටසක් වෙලා තිබුන ඉස්සර මිනිස්සුන්ට නම්.

      Delete
  4. හ්ම්ම්...දැන් කාලේ කොහෙද මේ වගේ මතක.....

    ReplyDelete
    Replies
    1. එහෙමමත් නෑ නාඩි..දුර ගම් වලට වෙන්න තරුණ අය තාම කුඹුරු වැඩට සහභාගී වෙනව.

      Delete
  5. කලවිට කියලා කියන්නේ කමතටමද ?? පියසේන කහඳගමගේ මහත්තයා ලිව්ව ගම්මානේ කතා පොතක තිබුණා කලවිට පිරිත කියලා එකකුත් ඒ කාලේ කිව්වාය කියලා

    ReplyDelete
    Replies
    1. ඔව් හසිත කලවිට..කුඹුරු වැඩ කරනකොට කමත වෙනව.වෙලේ ලියැද්දක් උනත් කමත හැටියට පාවිච්චි කරන්න පුලුවනි. ඒත් තෙත් කලාපයේ ..වියලි කලාපයේ කුඹුරු වගේ නොවේ.ලියැදිවල නිතරම වතුර තියෙන නිසා ගොයම් කොලේ ගහන්න .පාගන්න අමාරුයි.අඩුම තරමේ තේ ටිකක් ඉඳගෙන බොන්නත් බෑ ..ඒ නිසා තමා කලවිටේ වටිනාකම තියෙන්නෙ. සාමාන්‍ය පොලවට වඩා උඩින් තියෙන නිසා වතුර ගතිය අඩුයි.

      සමහර විට වචන වල එහාමෙහා වීම් තියෙන්න පුලුවන් පලාතේ හැටියට.සිරිත් විරිත් වල වෙනසකුත් ඇති.අපේ පැත්තෙ....පූජාවක් නම් ඉස්සරම කලාලු...කලවිටේ..මමනම් දැකල නැහැ.

      Delete
  6. කලවිට කියන්නේ කමතටද? පාවර කියන්නෙ මොකක්ද?

    මමත් පොඩි කාලේ කුඹුරේ වැඩ කලා. (දැන් කවුරු හරි ඇහුවොත් මොකක්ද කලේ කියලා ඉතින් මම තමයි අපේ කුඹුරු සෙට් එකේම කක්කුට්ටෝ මැරුවේ. ඒකත් නිකම් නෙමෙයි ගල් දෙකක් අරන් ඒ දේක මැද්දට හිර කරලා කුඩු වෙනකම් බලාගෙනත් හිටියාලු. අවුරුදු හතරේ පහේදි විතර.) ඊට ටිකක් පස්සේ වෙනකොට හරක් ගෙන් ගොයාම් පාගන එක නතර වුනා. ඒ කාලේ රෑ එලිවෙනකම් කමතට වෙලා පැට්‍රල් මැක්ස් ලාම්පුවල එලියෙන් හරක් පස්සේ පිදුරු උඩ ගියත් මතකයි. දවස් තුනක් හතරක් යනකම් පිදුරු වලට කසලා ගෙඩි ආවා ඊට පස්සේ.. ඒත් අපි නතර කරයි ඒක....
    ඉස්සර මම කුඹුරේ යනකොට අපේ අප්පච්චි කියනවා දැන් උඩ පැනගෙන එයි මොකුත් කරගන්න බැරි හින්දා කියලා. එයාම මට කරන ගෙවීමක් විදියට මට වෙනම පාත්තියක් අයිති කරලා දීලා තිබ්බා. ඒත් එකේත් පැල හිටෙව්වේ බෙහෙත් ගැහැව්වේ ඔක්කෝම අප්පච්චි. ඒත් ඒක මගේ. ඒකේ ලැබෙන පළදාවෙන් මට කෑම කන්න ඇති තරම් පුළුවන් කියලා හිතාගෙනත් හිටියා. අපේ අප්පච්චි කීවත් වගේ අපි ලොකු වෙද්දි කුඹුරක් තියෙනවද කියන්නවත් ගිහින් නැතිව ඇති. මේ ඊයේ පෙරේද දවසක ගෙදර යනකොට අපේ කුඹුරේ මිනිස්සු ගොයම් හිටවනවා දැකල මම සුද්දෙක් වගේ බලන් ඉඳලා ආවා. බොරු මොකටද ඉතින් එවේලේ හදිස්සියෙන් ගෙදර ගිය ගමන් හින්දා මිසක් නැත්නම් මම ගොයම් හදලා මිසක් එන්නේ නෑ. ඒ තරමට ආශාවක් ආවා. ඒ විතරක් නෙමෙයි එතන වැඩ කරපු අපේ මාමලා බාප්පලා ආ ඔයා දැන් මේවයේ දකින්න නැති වුනාට පොඩි කාලේ අප්පච්චිගේ පස්සේම කුඹුරේම හිටියේ කියලා මට අමතක වෙලා තිබ්බ කතා ඔක්කොම මතක් කරලා දුන්නත් එක්ක. අර උඩ කියපු කතා ඔක්කොම මතකෙට ආවෙත් එහෙමයි.
    මට මතකයි අපේ කුඹුරේ නියර වල කොක් මොට කියලා මල් දෙයක් තිබ්බා. ඒක තමයි පොඩි කාලේ මගේ ආසම කැඳ එක. ඒ විතරක් නෙමෙයි මුකුන වැන්න, ගොටු කොළ හා එක එක වර්ගයේ පලා වර්ග. දැන් නම් අපේ ගෙදරටත් කොල ගේන්නේ මාකට් එකෙන් වෙන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. සමා වෙන්න ඕනේ දිග කතාවක් ලීවට. මේ වගේ ගමේ කතා ලීවම නොස්ටල්ජි වල එහාම ඉමට යන එක ඉතින් මගේ පුරුද්දක්....

      Delete
    2. බොහොම ස්තූතියි..කොච්චර ආස හිතෙන විස්තරයක්ද..? (මට තාම ඕබට ආමන්ත්‍රනය කරන්න ඕන විදිය දන්නෑනෙ. )

      පලාවර්ග දැනුත් වෙලෙන් අපිට නම් හම්බ වෙනව .වෙලේ මුකුන්වැන්න හරි රහයි.කොක්මොටේසුදුපාට පුන්චි මලක් තියෙන ඒක නේද..?

      //ඒත් එකේත් පැල හිටෙව්වේ බෙහෙත් ගැහැව්වේ ඔක්කෝම අප්පච්චි.// වස ගැහැව්වෙ කිව්ව නම් තමා හොඳ..! අපේ වී වගාව විනාශවෙන්න ප්‍රදාන හේතුව.

      Delete
  7. ඔය කරවිට කියන වචනය එක එක පැතිවලට වෙනස් වෙන්නෙ නැද්ද වීයා.ඔබ කිව්ව විදයටම පිහිටල තියෙන තැන්වලට කිව්වෙ කමත කියල.
    පිදුරු හතු කියන්නෙ පරණ පිදුරු පොළොවෙ තුනී කරල දාල තියෙද්දී,වැස්සකින් පස්සෙ පිපෙන හතු ද?

    ReplyDelete
    Replies
    1. ඔව් වැස්සක්ම ඕනි නෑ පිනි ගතිය තියෙන උදෑසනක් තිබුනම ඇති.පරණකියන්නෙ සතියක් වගේ උනාම.පිදුරු ගොඩ ගැහුවම රත් වෙනව ඒ ඌශ්නෙට තමා හැදෙන්නෙ.

      Delete
  8. මේවා කියවන කොට මට නම් මං ගැන ලැජ්ජාවක් සහ දුකක් ඇති වෙන්නේ.මේච්චර සුන්දර විදියට අපිට ජිවත් වෙන්න ක්‍රම තියෙද්දී අපි මොනව කරන්නේ කියලා හිතෙනවා.


    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්නෙපා..... ඒ.... කාලෙට නිවාඩුවක් අරන් ගමේ යන්න..:)))

      Delete
    2. අනේ මන්දන්නෑ ඔහේල මක්ක කරනවද කියල මේ වගේ හෑලි තෙපර බබා.. මං කියන්නේ ඔහේලට තිබුනැයි කුඹූරු කොරන්නෙය කියල නැත්ද ගයනියෝ

      Delete
  9. අපි ඕකට කියන්නෙ කමත... අපේ යායෙත් එකක් තියෙනවා තඩි ගස් 2කුත් එක්ක.. වැඩක් නම් ගන්නෙ නෑ... වගා කරන්නෙත් නෑ.....

    ReplyDelete
    Replies
    1. අඩුම තරමෙ පොඩි උන් සරුන්ගල් යවන්නවත් ගන්නවනම් නේද.?

      Delete
  10. කලවිට කියන වචනෙත් එක්ක මට මතකෙට එන්නේ සුන්දර අතීතයක් බං. ඒ මතකය හැමදාම අවදිව තියාගන්න බැරි උනත් උඹල මේ වගේ දේවල් දැම්මම ඒවා ආයිත් ඔළුවට එනවා...

    ReplyDelete
    Replies
    1. ලියපන්කෝ..බැන බැන ඉන්නෙ..!

      Delete
    2. අනේ බෑ බං මතකය එනවා හොරයි හුගක් දේවල් වලට

      Delete
  11. වීයො මේ කුඹුරු කතා දැක්කම මාව සුන්දර අතීතයට යැවෙනව නොදැනුවත්වම
    කුඹුරු කෙරුවාව ගැන මටත් තියෙන අත්දැකීම් ලියන්නද කියලත් හිතෙනව

    ReplyDelete
    Replies
    1. ලියපන් හැලපයියෙ...අපිට වඩා සුන්දර අත්දැකීම් නැද්ද උඹට..!බොලාගෙ කාලෙ නෙව සුන්දරම කාලේ.

      Delete
  12. ඒ කාලෙ ගම්වල හිටපු මිනිස්සුංගෙ එකමුතුකම කුඹුරු වැඩ වගේ වැඩවලදි කැපිල පෙනුන. දැං ඒව නැතිහිංද තමයි පොඩි දේටත් ගහමරා ගන්නෙ.

    රසවත් විස්තරයක් වීයො.

    ReplyDelete
    Replies
    1. අපේ සරල සමාජ ක්‍රමය බිඳවැටිල.ඒකයි..!

      ස්තුතියි ප්‍රසන්න..!

      Delete
  13. වී අයියට ලස්සන ළමා කාලයක් තිබුල වගේ.. කොක්මොට කැද නම් මමත් බීලා තියෙනවා, පුංචි කාලේ මොකක් හරි ලෙඩකට, ඒ කාලේ නම් මරනවා වගේ ඒක බොන එක. දැන් නම් එක එක කැද ජාති වලට ආසයි.

    ReplyDelete
    Replies
    1. වේලකට කැඳ බීමෙන් සිරුර සිහින්වේ...ඔය ඩයට් හත්තිලව්ව කොරන්න ඕන්නෑ නංගියේදවසකට වේලක් කැඳ බොන්න(ඉස්සරහට කැඳම බොන්න වේද මන්ද..?) හැබැයි අර ඩූඩ් කියල තියෙනව වගේ..රෑට ඒවට හරියන්න ඇදල අරින්න එපා ඉස්මුරුත්තාව එනකන්..:)))

      Delete
  14. //අත්තමේ සල්ලි වලට// ඒ කිව්වේ..? අත්තම කියන්නේ; මං තව කෙනෙක්ගේ වැඩට යනවා. එයා මගේ වැඩට එනවා., එහෙම නෙවෙයි ද ?
    //අර අනිත් පරක්කු වෙන අයගෙ ගොයම් ටිකත් කපල දීල දෙගොල්ලොම එකට ඇඟපත හෝදගෙන තමයි කුඹුරෙන් යන්නෙ..//

    මේක මට උඹගේ කලින් පෝස්ට් එකේදී මතක් වුනා. නොකියා හිටියේ ඊළඟ පෝස්ට් එකක් ගැන ඉඟියක් කරලා තිබුණු නිසා.

    එහෙම තමයි වෙන්නේ. ඕක ගොයම් කපද්දී විතරක් නෙවෙයි කුඹුරේ මොන වැඩේ කලත් සිද්ධ වෙන දෙයක් නේද ?. තේ බොන්න, කෑම කන්න එහෙම අහල පහල කුඹුරු වල ඉන්න අයට හූවක් තියල කතා කරනවා. එවෙලේ නියර දිගේ යන එන කෙනෙක්ට උනත් කිරිබත් කෑල්ලක් කාල තේ ටිකක් බීලා මිසක යන්න ලැබෙන්නේ නෑ. එහෙම කතා කලාම කිසි කෙනෙක් නෑවිත් ඉන්නෙත් නෑ. කෑම ඉතිරි උනොත් යන ගමන් කාට හරි දීලා තමයි යන්නේ. ආපහු ගෙදර අරන් යෑමක් නෑ.

    උඹට මතක ද මී හරක් ගෙන් හාන කොට අව්ව සැර වෙලාවට සැරෙන් සැරේ උන්ගේ කොන්ද ට වතුර ඉහින හැටි.. සතාට උනත් ආදරෙන් සලකන පුරුද්දක් තිබුන මිනිස්සුන්ට. කලවිට කියන එක ඔහොම කුඹුර මැද නෑ මෙහෙ. මොකද මේවයේ කුඹුරු මඩ වැඩියි වගේම පොඩි ලියදි. කුඹුර අයිනේ ගොඩ තමයි කමත තියන්නේ. ඒකෙ එළවලු හිටවනවා.

    කක්කුටු බෙන වලින් වතුර බහින කොට ඒවා වහන්න, වී ඉස්සාම එන කුරුල්ලෝ එලවන්න වගේ වැඩ බාර වෙන්නේ පුංචි අපිට. සමහරු වෙනම පොඩි ලියද්දක් ඉතිරි කරනවා කපන්නේ නැතුව. කුරුල්ලන්ට එහෙම කන්න. කුරුළු පාළුව කියන්නේ ඒකට නේද ?
    දවසක් ගොයම් පාගන මැෂින් එකක් අස්සේ රිංගගෙන බැත ගොඩ පැත්තකට අදිද්දී වී ඇටයක් ගියා මගේ කණ අස්සට. ගන්න ඇඟිල්ල දාපුවම තව ටිකක් ඇතුලට ගියා. හොඳ වෙලාවට එතැන ඉඳපු කෙනෙක් ඒක දැකල මාව පැත්තකට අරගෙන පිදුරු ගහක් නවල දාල අර වී ඇටේ එලියට ගත්තේ.

    නැත්නම් වීයා තවම මගේ කණ ඇතුලේ :D:D:D

    නියම ලිපිය මචෝ.. මේ සීරීස් එක ඉවර නෑනේ. තව එයි නේද ඉස්සරහට ත් විස්තර ?

    ReplyDelete
    Replies
    1. කණ ඇතුලෙ කතාව කිව්වම මතක් උනේ..ගොයම් කපන කාලෙට ඔය තිස්ස...මොනරාගල ..අම්පාර..අනුරාධපුරේ ඉන්න අයගෙන් ඇහැව්වොත් කියාවි.ගොයම්පාගන මැෂින් තිබ්බ කාලේ කොච්චර ගොවියො ඉස්පිරිතාලෙ එනවද.. ඇස් තුවාල වෙලා වී ඇට වැදිල.වී ඇටේ තියෙන සිවිය හරි විසයි. දැන් සුනාමිය,භූතයට පිං සිද්ද වෙන්න ඒව අඩුයි.

      අනික අම්බරුවන්ට කෝ‍ටු වලින් තලන්නෙ අඩුවෙන්..හරි හැඩට කවි කියනව...නැත්නම්..හෝ..හෝ...පුතා.., යං පුතා හෝව් පුතා...ඔය වගේ වචන කියන්නෙ..ඒ තරම් සතාට ආදරෙයි.මට අපේ සීයව මතක් උනා.

      බලමු තව ලියන්න...නිමිති නම් එමටයි..!
      උඹයි මමයි එකතුවෙලා ලිව්ව නම් හරි නේ බං..මට අමතක ඒව උඹට මතක් වෙනවනෙ.

      නුවර ආපු වෙලාවක උඹව බලන්න එනව කෝම හරි..!

      අමතක උනා අත්තම..අත්තම් ක්‍රමයට එහෙම කියනව.දවසක් වැඩ කරනව ඒ කියන්නෙ ඒ වැඩේ ඉවර වෙනකම් කරනවට අත්තම කියනව ඒක ඕය අත්තම් ක්‍රමේම තමයි. මුදල් වලට...වී වලටත් එහෙම "කයියෙ" වැඩට යනව.

      Delete
    2. උබල දෙන්න නම් කතා පෙට්ටිදෙකක්, එකතුවුන තැන රසගුලාවක්,
      අතීතය සිහිනයක් පමණයි සැබෑ සුවදක් නෑ...වෙලා තියෙන්නේ අදවෙනකොට

      Delete
  15. දැන් කාලෙනම් අයියේ කාගේ මාළු කාලා හරි මගේ බඩ වැඩේනවානම් කියන අපේ උන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. ඒව නවත්තන්න තම්යි කෝරලේ පයින්ඩෙ තියෙන්නෙ..:)))

      Delete
  16. මම හිතන්නෙ ප්‍රදේශයෙන් ප්‍රදේශයට භාවිතා වෙන නම් වල වෙන්සක් තියෙනවා කියලා. කුඹුරු භාෂාව වෙනස් උනත්..වීයා මෙතන භාවිතා කරලා තියෙන සමහර නම් නම් හුඟාක් වෙනස්. කලවිට කියලා වීයා හඳුන්වන කොටසට අපේ කුලියාපිටියේ මාමලා කියන්නෙ ඕවිට කියලා. ඒකයි මම එහෙම කිව්වේ.

    ගොයම් කැපීම ගැන චූටි අත්දැකීමක් මටත් තියෙනවා. දෑකැත්තක් අරන් හීන් සීරුවේ මිටින් මිට අල්ලලා කපන්න උත්සාහ කරලා තියෙනවා. මාමලා හුඟාක් වෙලාවට වී තවාන් කරලා ගොයම් පැළ තමා හිටෙව්වේ. ඒ හන්දා ගොඩම හැදුනම හරිම ලස්සනයි..පේළියට...

    ඔය ගොයම් කපලා දාන කොට භාවිතා කරන නම් තියෙනවා නේද ? උප්පිඩ..මාප්පිඩ වගේ වචන..මට එහෙම දෙයක් මතකයි. එක දවසක් මාමලාගෙ ගොයම් කපලා කමතට අරන් ගිහින් දමද්දී පත පොළඟෙක් යනවලු අර ඔළුවේ තියාගෙන ආව ගොයම් මිටියෙන්...

    සමනළී කාලා නැති උනාට මම නම් පිදුරු හතු කාලා තියෙනවා. පුංචියට හැදෙන පිදුරු හතු උදේම කඩලා එව්වම පුදුම රසයි..

    ReplyDelete
    Replies
    1. //ඔය ගොයම් කපලා දාන කොට භාවිතා කරන නම් තියෙනවා නේද ? උප්පිඩ..මාප්පිඩ වගේ වචන..මට එහෙම දෙයක් මතකයි.// ඔව් ලිහිණි එහෙම වචන තියෙනව දැන් ඇහෙන්නෙම නැති තරම්..මට නිච්චියටම මතක නැති නිසා ලිව්වෙ නෑ..අම්මගෙන් අද හවසම අහන්න ඕන..)

      //එක දවසක් මාමලාගෙ ගොයම් කපලා කමතට අරන් ගිහින් දමද්දී පත පොළඟෙක් යනවලු අර ඔළුවේ තියාගෙන ආව ගොයම් මිටියෙන්...//
      මේක දැක්කම තව කතාවක් මතක් උනා. තඩි පිඹුරෙක් හිටිය. පස්සෙ ලියන්නම්.
      අපේ ලොකු අම්ම මිය ගියේ කුඹුරු කපනකොට පොල‍ඟෙක් කාල..:(((

      පිදුරු හතු ඊලඟට දාන්නම්.

      Delete
  17. තාමත් අපේ ගං වල නම් මේ තත්ත්වයන් දකින්න තියනවා වීයා...පිදුරු හතු වැවෙන්නේ හරකගෙන් ගොයම් පාගනවිට වැටෙන ගව මුත්‍රා සමග කැකුළු වී තැලුනාම ඇතිවන වෛරසයකින් කියලයි කියන්නේ..හරකුන්ගෙන් පාගන ගොයමේ පිදුරු හතු වැඩි ඒකයි.. ලස්සනම කතාවක්..ඔය කලවිට ට අපි කියන්නේ කමත කියලා..එයිට අමතරව පිල්ලෑව කියලා කෑල්ලක් කුඹුරෙම තියනවා අපේ පැත්තේනං.

    ReplyDelete
    Replies
    1. පිදුරු හතු ගැන නොදන්න කතාවක්.
      "පිල්ලෑව" තවත් වචනයක්...අපේ පැත්තෙ හිටිය පිල්ලෑවෙ ගෙදර මාමා කියල එක්කෙනෙක්..ඕය වචනෙ පැහැදිලි කිරීමක් දාන්න නලින් අයියා.

      Delete
  18. දැන් නම් මේ කතාවල තියෙන්නෙ කතා රසය විතරයි කියලා හිතෙන තරමට මේ වගේ දේවල් ජීවිතවලින් අයින්වෙලා..

    ReplyDelete
    Replies
    1. ගම්වලට වෙන්න ටිකක් විතර තියෙනව.විවිධ දේට මැෂින් එන්න ගත්තම...විනාශ උනා.

      Delete
  19. දැන් නම් කුලියට සේරම වැඩ කෙරුනට..ඒ කාලෙ අත්තමට...ඒයි අත්තමට සල්ලි දෙන්නෙ නෑ වීයො අපේ පැත්තෙ නම්..ඒ වෙනුවට ඒ අයගෙ කුඹුරු වල වැඩට උදව් වෙන්න යනවා..

    ReplyDelete
    Replies
    1. අපේ පැත්තෙ කුඹුරෙ වැඩට යනකොට අත්තමට යනව කියලයි කියන්නෙ. සමහර විට අර පරන ඌරුවට වෙන්න ඇති.සල්ලිම නොවේ ඉස්සර වී කුරුනි ගනන් දුන්නෙ.

      Delete
  20. මට ලාවට වගේ මේ වගේ අත්දැකීම් ටිකක් තියෙනවා. මොකද සීයලා අන්තිමට කුඹුරු වැඩ කලේ මීට අවුරුදු 7කට විතර කලින්. අපරාදේ කියලා හිතෙනවා දැන් කුඹුරු දැක්කහම :(

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. අපරාදෙ කියල...සුභ වේවාත් කියනව...මේ රජාට නම් පිස්සු..:))))

      Delete
  21. අයියලාගේ ගමේ මිනිස්සු බොහොම එකමුතුයි.ගොඩක් ගොවියන් කුඹුරට ගරු කරන හැටි නම් මම අහලා තියෙනවා!!

    ReplyDelete
    Replies
    1. ඉස්සර නම් එහෙමතමා නිශාන් දැන් නම්..????

      කුඹුරට නම් තමන්ගෙ දෙවිදේවතාවන් කියලයි ගරුකරන්නෙ..!

      Delete
  22. Dude:

    උඹ ඔය කියන්නෙ 'කමත' ගැනද වීයා?

    ReplyDelete
  23. මචො ඔය අත්දැකීම් හැමෝටම නෑ බෙදාගත්තට ස්තුතියි
    … අර හතු මාලුව ඉක්මනට දාන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ජෝන්
      තව දවසකින්විතර...!

      Delete
  24. අපේ කුඹුරෙනම් මැද්දේ කලවිටක් නෑ ඕං.. ගොයං කොලේ ගහන්නේ කුඹුරේ තියෙන ලොකු ලියද්දක.. කුඹුරු කිවුවම මතක් උනේ... විභාග එහෙම ලියලා ඉවර වෙලා යාලුවෝ සෙට් එකත් එක්ක කුඹුරු කෙටුවා ඇති වෙන්න.. ආතල් වැඩේ හැබැයි... කුඹුරට බැහැලා මඩ ටිකක් ගා ගත්තේ නැත්තං වැඩක් නෑ.. ඇයි ඇඹුල :D ගෙදරදි වගේ නෙවෙයි.. කන්න පුලු වං බත් පිඟන් තුන හතරක්ම....
    හැබැයි මේ පැති වලනම් ඔය කමත් භාෂාව දැන් භාවිතා වෙන්නේම නැති තරම්...

    ReplyDelete
    Replies
    1. කුඹුරෙදි කන්න පුලුවන්කතාවනම් ඇත්ත...පුදුමරහක් තියෙන්නෙ කෑමවල..!

      කමත් භාශාව අඩුයිතමා..!

      Delete
  25. දැක්කම ආසාවේ බෑ. අපේ ලොකු අම්මලාගේ කලවිට තිබුනේ ඔහොම වෙල මැද නෙමෙයි. අයිනකට වෙන්න. මට පොඩි ප්‍රශ්නයක් ආවා වී අයියා..අත්තම් ක්‍රමයේදී මුදල් අය කිරීමක් කරන්නේ නෑ නේද? ඒකට හිලව් වෙන්න තමන්ට උදව් කරපු අයගේ කුඹුරු කපන දවසට ගිහින් උදව් වෙන එක නේද කරන්නේ. මම අහල තියන විදියට අත්තම කියන වචනේ තේරුම ඒකලු. ඒත් මමනම් වැඩිය දන්නේ නෑ මේවා ගැන.

    ReplyDelete
    Replies
    1. හරි..නියම අත්තම ඒක තමා...
      ඒත්දැන්කුඹුරු වැඩකට යනවට අත්තමක් වැඩට යනව කියන්න පුරුදු වෙලා.නිකන්ම වචනයක් වෙලා.මුදල් ගන්න සාමාන්‍ය කුලීවැඩක් වෙලා.

      අපේ අම්මලනම් ඉස්සර ඔය අත්තම් ක්‍රමේට කුඹුරු වැඩ කලා...මිනිස්සුන්ට් මුදල් වියදම් වෙන්නෙ නැහැනෙ අත්තම් ක්‍රමේදි ඒනිසා ඒකට හරියන්න පැලෙන්න කන්න දෙනව..:)))

      Delete
  26. අපෙ පැත්තෙ වෙල් තියෙන්නෙ සරුංගල් යවන්න තමා බං :(

    ReplyDelete
    Replies
    1. ගොවිතැන් නැති කාලෙට අපේ කිට්‍ටුව් ගම් වල ඉන්නල වගා කරනව.

      Delete
  27. වීයා මුළු පෝස්ට් එකම අකුරක් නෑර කියෙව්වා ...
    ලස්සනම ලස්සන කරුණු ගොඩක් ...

    ReplyDelete
  28. සරුංගල් යවන්නවත් වෙල්අපිට නෑ ...දුක තමයි .වීයටනම් ලස්සන මතකයන් ටිකක් තියෙන්නේ

    :)

    ReplyDelete
    Replies
    1. රෙහානි කාලෙකින්...දැන් ස්වාමිදුවලනෙ...අවිවේකී වෙන්න ඇති..හි..හි..)))

      Delete
  29. අවුරුදු 50 ක් විතර අතීතයට මනසින් ගියා. ආයෙත් ඒ පරිසරය, ඒ සුවඳ, ඒ රසය වින්දා. බොහොම පින් ඔබට. හැබෑට දැන් ඉන්න ළමයින්ට නිකමට මේවා පෙන්නන්න තැනක් හොයාගන්න පුළුවන් වෙයිද නාගරිකත්වයෙන් තොර වෙල් යායකදී. දැන් වෙල් යයකට ගියොත් තියෙන්නේ යන්ත්‍ර සහ යාන්ත්‍රික මිනිස්සු විතරයි. කලවිටේ හැදුන කැකිරි, නියං වැටකොළු කාලා නැති ජීවිතේ මොකටද?

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. //කලවිටේ හැදුන කැකිරි, නියං වැටකොළු කාලා නැති ජීවිතේ මොකටද? //
      අපි තෙත් කලාපයේ නිසා කැකිරි එහෙම නෑ..ඒත් හිඹු‍ටු...දං..පේර...චීනපේර..ඇඹුල් රස..ම්.....ම්.! විචාරක මට අමතක උන ඉසව්වකට ගෙන ගියා..!

      Delete
  30. මේ කතානම් එපා වෙන්නේ නැහැ.මතක් වෙද්දීත් මාර දුකක් වගේ දැනෙනවා.

    ReplyDelete
    Replies
    1. අනාගතේ බලන්නවත් ලියැවෙන්න එපායැ.

      Delete
  31. කලවිට කියනෙන කමතට ම වෙන්ටැ . .

    අපිට නම් කවදාවත් කුඹුරු තිබ්බේ නෑ ඒත් ගමේ පහලට වෙන්න පොඩි කුඹුරු යායක් තිබ්බා.

    අපි සරුංගල් යැව්වේ ඒකේ.

    ගොයම් කපන්න වගේ වැඩකට කවදාවත් සම්බන්ධ වෙලා නෑ ඒත් පුදුම ආසාවක් තියෙන්නේ එහෙම එකකට සම්බන්ධ වෙන්න.

    ReplyDelete
    Replies
    1. අහ් මගේ ප්‍රශ්නෙට උත්තර ලැබිලා තියෙනවා

      Delete
    2. ස්තුතියි දුකා ගොඩ..වැදුනට..!

      දැන් කුඹුරුවල හරියට විස මචං..මී උන කියයි..කකුල්වල විසප්පුදාන ලෙඩේ කියයි..!

      Delete
  32. මෙන්න ඉගනගන්නව නම් ‍නියම ගොවි බස සහ කමත් බස.මටත් පුරුදු යි. මමත් රජරට නිසා. අමුතුවෙන් කියන්න දෙයක් නෑ මේ හැම අත්දැකිමක්ම තියෙනවා

    ReplyDelete
  33. නියමයි ගන්න ගොඩක් දේවල් තියනව. තව මේ දේවල් ගැන ලියන්න. ජයවේවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ජයනාත්..!

      Delete
  34. අදමයි වී පොකුරට ආවේ..
    කියවන්න ආසා හිතෙන කතා ගොඩයි..තවත් මේ වගේ ලියන්න අද කාලෙ මෙහෙම කතා අහන්න දකින්න අඩුයි ඒ නිසා වටිනා කම වැඩි..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නිශී...!
      ආයිත් එන්න..!

      Delete
  35. ඇවිත් ගියාට මම මේක ෆලෝ කරලා නැනේ මෙච්චරකල් බලහංකෝ

    ReplyDelete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...