Monday, December 31, 2012

ඔය මැදෑ දෙය්යනේ වැස්සා...!



උදේ පාන්දරින් අවදිවෙනව කියන්නෙ...මේ දවස් වලනම් ..අන්තිම අමාරු කාරියක්. රෑ තිස්සෙම එක විදියට අනෝරා වැස්ස..ඒ මදිවට කාලතුවක්කු උන්ඩ පතිත වෙනව වගේ අකුණු. හවස 2ක පහුවෙනවත් එක්කම අහස පුරාම වැහි බීරම. ඊටපස්සෙ පහුවදා එලිවෙනකන්ම එකදිගට වැස්ස.  පහුගිය දවස් ටිකේම මේ විදිය තමයි.

 වැරදිලාවත් උදෙන් අවදි උනොත්...පචෝස්...පචෝස්...කිවිසුම් ගිහිල්ලම බඩ කොරවෙනව..පරම්පරාවෙ ආරයක්ද මන්දා..පීනස කියන්නෙ නම් කරදරකාරී ලෙඩක්. ඒහින්දම මේ දවස්වල ටිකක් දවල්වෙනකන් නිදාගන්නව..ඒත් දැන් ඉස්කෝලෙ පටන් ගත්ත ගමන් ඒ කෙරුවාවත් ඉවරයි. ඇයි ඉතිං අපේ ලොක්කිව එක්කරන් ඉස්කෝලෙට දුවන්න එපායැ උදැහැනැක්කෙම.

ඒ මදිවට ගංවතුර. අපේ ගමට නම් ගංවතුරෙන් හානියක් නෑ...ඒත් අපිට හැතැක්ම 3ක්,4ක් ගිය ගමන්...හැමදාම ගංවතුර.  අපේ ගම්වලට ටිකක් දුර උනාට..නෙළුව,හිනිදුම කියන්නෙ ගිංඟඟේ දඟකාරකම් හැමදාම බලන්න වෙන ගම්මාන...! මීට අවුරුදු කීපයකට කලින් රත්නපුර,දෙනියාය පැත්තට හොඳටම වැහැල ගංවතුර ගලල..හොඳටම හානිවෙලා තිබුන. එහේ ගං වතුර ඔක්කොම දිනකීපයක් යද්දි , නෙළුව,තවලම පැත්තට ඇවිත්  ඒ ගම්මාන යට උනා. තවත් දින කීපයක් යද්දි අපේ පැත්තෙ ගම්මාන යට උනා...ඒ වතුර තමා ගිංතොටින් මුහුදට යන්නෙ.

http://www.silumina.lk/2012/01/15/_art.asp?fn=au1201151


පුංචි කාලෙ නම් ඉතිං වහිනවා කියන එක තරම් ජොලියක් තවත් නෑ..!
වැස්සත් එක්ක කන්දෙන් කඩා හැලෙන පුන්චි දිය ඇලි , ගලාබහින වතුර හරස් කරල හදන ජලාශවේලි...ඒවායේ පාකරන කඩදාසි ඔරු...පුන්චි ලෝකය පිරිල තිබුන. 

වහලේ පීල්ලෙන් එක සීරාවට වැටෙන වැහි වතුරෙන් නාල හෙඹිරිස්සාව හදාගත්තත්...ආයිත් වැස්සොත් කරන්නෙම ඒක..අම්මට අහු උනොත් මදීනොකියන්න කෝ‍ටු පාර කන්නෙත් ඒකට තමා.

අඩි 10කට වැඩි උස කන්ඩියෙන් මතුවෙන උල්පත් වලට...අන්නාසි කොල අරගෙන පීල්ලවගේ හිටින්න ගහල එක සීරාවට වතුර වැටෙන කොට නැගෙන සද්දෙට කොච්චර ආසා කලාද අපි..ස්භාවධර්මයේ නිර්මාන අපේ කරගත් හැටි. ආයිත් ඒ කාලෙට යන්න ඇතනම් කියල හිතෙනව.


මේ සැරේ එච්චර දරුනුවට මේ පැත්තට ගං වතුර ගැලුවෙ නැතත් වැස්ස කරදර කරන එක නතර කලේ නැහැ. තාමත් වහිනව.

අපේ ගෙවල් වල තාම පාවිච්චි කරන්නෙ දරලිප් තමා උයන්න පිහන්න. ඉඩම් ලොකුවට තියෙන නිසාත් , දර නො අඩුව මේ ගෙවත්තෙ තියෙන නිසාත් ,අපේ ගෙදර උන්දෑ  කිසිම විස්සෝපයක් නැතිව රාජකාරිය කරන නිසාත් ගෑස් හෝ විදුලි ලිප් පාවිච්චියට අපි තාම හිතලවත් නෑ. අනිත් එක අපේ මහගෙදරින් කුරුඳු දරත් ,කුරුඳු කපන මුරේට ලැබෙන නිසා දරවලින් නම් අඩුවක් නෑ.

නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ මේ වැස්සත් එක්ක තමා. දර මඩුවෙ  දර ඉවර වෙනකම් පාවිච්චි කරල තිබුනොත් ඉතිං අබසරනයි. 
අපේ ගෙදර තියෙන දර මඩුවෙ දරත් මේ ටිකට ඉවර වෙලා..දර කොට කීපයක් තිබුනත් ඕව පලන්න තියෙන කම්මැලි කමට මන්න පිහියයි,පොහොර බෑග් එකකුයි අරන් කන්දට ගෑ‍ටුවේ හොදින් වේලිච්ච දර නැතත් , වේලිලා ගස්වලින් වැ‍ටුනු අතු හොඳට  වේලිලා තියෙන්න පුලුවන් නිසයි. ඊයෙ ඉර හොඳට දහවලේ පායලා තිබුන නිසා කඩන් ඇවිල්ල අපේ ගෙදර තියෙන ගල්පොත්ත උඩින් දැම්ම. නම් පටස් ගාල වේලෙනව. 

අපේ ඉඩමට උඩ ඉඩම අපේ තාත්තලගෙ මහගෙදර..ඒකත් අක්කරයක ලොකු ඉඩමක්...ගස්කොලන් එමටයි..මහගෙදර කඩල එතනම පොඩිගෙයක් හදාගෙන පදිංචිවෙලා ඉන්නෙ නැන්දකෙනෙක්. ඒ මාම  සුලු ‍රැකියාවක් කරන්නෙ...ඒ උනාට උයන්නෙ ගෑස් වලින් . හරිම ආඩම්බරේට කියන්නෙ...

"අපිනම් උයන්නෙ ගෑස් වලින් ...දැලිගෑවෙන්නෙත් නෑනෙ."

ලොකු මහත්වෙච්ච ඉස්කෝලෙ යන දැරවියක් තමා ඉන්නෙ , ඇය තමා එහෙම කියන්නෙ. 

අනේ මන්දා දැලි ටිකක් ගෑවෙන එක ලැජ්ජාවට කාරනයක්ද..?

මටනම්  එහෙම හිතෙන්නෑනෙ...නාගරිකව ඉන්න,උදේ පාන්දර නැගිටල උයල පිහල ‍රැකියාවට යන කාන්තාවන්ට ඒක පහසුවක් වෙන එක සාධාරනයි.ඒත් මේ ගහකොල හොඳට තියෙන අර්ධ නාගරිකව ඉන්න අපිට මොටද ඕව.

අපේ ගෙදර  උන්දෑ මේ දවස්වල ඉන්නෙ අසනීපයෙන් ඒ නිසාම නිවාඩු දවසෙ ගෙදර රාජකාරිය මම ගත්ත. දර කැඩුව,පැලුව...ඉතිරි වෙලාතිබුන වලංටික හෝදල දැම්ම...(වීපොකුරි ඇහැ දාගෙන උන්නෙ වලං කීයක් බිඳිනවද කියල..හිකිස්..!) රෙදිනම් ඉතිං මැෂිමකට බාරදීලනෙ . පොඩි උන් දෙන්න නෑව්ව...ලොක්කි නම් අවුලක් නෑ...අප්පොච්චියේ පොඩ්ඩි නාවනවා කියන්නෙ නම් අමාරු ගේමක් තමා..නාන්ඩ හරිම බයයි ඇහේ වතුර යනවලු,කනේ වතුර යනවලු..රටේ නැති හේතු...මාත් එක්ක කොහේද ඒව... වර...අල්ලල නෑව්ව...
හැබැයි ඇඟ හෝදන්න ගියාම වතුර ටැප් එක ගාවින් ගන්න බෑ.

වැස්සක් හින්ද ඔන්න ඔහොමයි ජීවිතේ ගලායන්නෙ. දැන් ටිකකට කලින් තමා හවස වැහැපු වැස්ස පෑව්වෙ..අකුනු ගහන නිසා කාර්‍යාලයේ වැඩ කරන්නත් බෑ...අන්තර්ජාලෙට යන්නත් බෑ... සිග්නල් අඩුයි.
ඒ මදිවට පාරවල් ජලාශ බවට පත්වෙලා...උතුරු වයඹ...හා දකුනේ පහලම ජනතාව තාම අනාථ වෙලා...! 

ඉතිං ඇති දෙය්යනේමේ......... කැලැන්ඩර ක්‍රමේට උනත් අලුත් අවුරුද්දක් ලබන දවස් ටිකේ වත් සහනයක් ඇතිව මිනිස්සුන්ට ඉන්න දෙන්න.
.......................................................................................


2012 ඉවර වෙලා ලබන 2013 අවුරුද්දට හැමෝම සුභ පතනව. ඒ නිසා මගේ සුභ පැතුමත් මේ විදියට පිරිනමන්න ඕන කියල හිතුව.

ලබන්නා වූ 2013 අවුරුද්ද ජය  සතුට පිරි සිතුම් පැතුම් සඵලවන ප්‍රීතිමත් අවුරුද්දක් වේවා..!  බ්ලොග් අවකාශයේ කිසි දිනක දැක නැතත් ලෙන්ගතුවූ ඔබ සැමට හදපිරි භක්ත්‍යාදරයෙන් පිරිනමමි..!  




Thursday, December 20, 2012

පිටසක්වලින් ඇවිල්ලා අපේ ගෙට්‍ටුවට..!



ෂූස්...ෂූස්....ඇනකොන්ඩාවෙක් පිඹිනව වගේ මහ විසාල සද්දයක් ඇහිල...එක සැරේට ඇදෙන් උඩගිහින් බිම වැ‍ටුනෙ හරියට කා‍ටුන් එකක වගේ.මම හිතුවෙ මේ දවස්වල තියෙන සීතලට ගුලිවෙලා නිදියගෙන ඉන්නකොට දැකපු හීනයක් කියල. ආයෙත් අනික් පැත්ත හැරිල නිදාගත්ත.

ෂූස්..........ඉස්සෙල්ලට වැඩිය  සද්දෙන් අපේ වහල උඩින් වගේ ඇහෙන්න ගත්ත.

බුදු අම්මෝ...#$%@^&%# මොකක්ද මේ වෙන්නෙ...!

පි..පි..පිටසක්වල යානාවක්ද..? සරම උඩින් පල්ලෙන් ඇඳගෙන මිදුලට දිව්වෙ ."තුහ්" කියල කුනුකෙල තලියක් මිදුලෙ පතබාවන ගමන්.මම උඩ බැලුවෙ හීනෙන් වගේ....

ඈ...පිටසක්වල යානාවක් තමා...මේං සයිස් එක. අපේ ගෙදර වහලට පතබෑවෙන්නද යන්නෙ...!!!

අපේ ගෙදර තියෙන විශාල ගල් තලාවට හිමින් හිමින් පහත් කරපු යානාව බැලුන් එකක්නෙ...ඒකෙ සයිස් එක. පාට පාට.පොලොව කිට්‍ටුවෙන් යන්න උවමනා උනාම පාවිච්චිකරන බැලුන් යානාවක් වෙන්න ඇති.
ඈ ඒකෙ කූඩයකුත් තියෙනව..මෙන්න ඒකේ අමුතු කුරුමිටි ඈයො වගයක්...ඔලුවෙ ඒරියල් දෙකකුත් තියෙනව.
හරි..හරි...අර සුනිල් පෙරේරගෙ සින්දුවකත් කියන්නෙ මෙවුන් ගැන තමා.පිටසක්වල ජීවීන්...අපොයි..!! මෙන්න දෙන්නෙක් මේ පැත්තට එනව....?


"බීප්...බීප්..වීයා කියන්නෙ තමාද..?"

ඈ...මොකක්..! ම..මලකෙලියයි...අන්තර් ජන්ජාලෙන් ආපු එවුන්ද...නැත්තං මේ අහ මම වීය කියල දන්න ඈයො කොයින්ද..?.හරිනෙ...!!!

කොහෙද මන් මුන්ට කිව්ව ගම්පහ තියෙන ගෙට්‍ටුවට එන්න බෑ කියල කෝ ඇහැව්වද....දැන් ඉතින් ඉඳල හමාරයි වගේ..!

ඔය ගොල්ලො කව්ද...!මම ටිකක් බයෙන් උනත් ඒ බව පෙන්නන්නෙ නැතිව ඇහැව්ව.

"හී..හී..නුඹට හිතාගන්න බැරිද...දැක්කම ....බීප්..බීප්..අර ගල උඩ තියෙන්නෙ අපි පෘතුවිය පුරා පහතින් යන්න උපයෝගී කරගන්නා යානය.ඒක අපි අකුලල අපි ආපු ඉන්ටසිටියෙ ගෙනාවෙ...ඒකෙ ආවෙ නැත්තෙ  ගස් වල වැදිල අපිව පෘතුවියේම සුවාස් වේවි කියල බයේ..බීප්."

ඇත්තද..එන්න වාඩිවෙන්න..හැබැයි..මම මේ නැකිට්ට ගමන්...හි..හි..!

වාඩි වෙන්න උවමනා නෑ..අපි ආවෙ රාජකාරියකට..! මේ තමාගෙ ගෙදරද...!

ඔව්..ඔව්..! එක අතකින් කට වහගෙන උත්තර දුන්නෙ..උදේ පාන්දර කටේ ගඳ දැනිල කුරුමිට්ටො ටික රාජකාරිය දමල දුවාවි කියල හිතිල. 

තව කව්ද ඉන්නෙ....!

ඈ... මේ FBI එකෙන් වගේ..! මට දැනගන්න පුලුවන්ද ඔයාල මං ගැන හොයන්නෙ ඇයි..අනික මා ගැන දන්නෙ කොහොමද...!

"හැක..හැක...හැක...මෙහෙමත් මෝඩයෝ..හැක..හැක..!"

"ඇයි වීයො බොලා අර ගෙට්‍ටුවක් වගේ එකක් තිබ්බ නේද  ගම්පහ කියල..පැත්තක.!"

හරි..බඩුම තමා ...ඔය කියන්නෙ. 

ඒකෙදි තමා අපි බොලාගෙ තොරතුරු ‍රැස් කලේ..!

"දැන් කියනවද..ඔයාලට මොකෑටද..අපේ විස්තර..?"( අනෙ අප්පේ...පිටසක්වල ගෙනියන්නද..? මලත් මොකෝ ඔන්න ඔහේ)

අපිට නම් වැඩක් නෑ..ඒත් අර රජ තුමාට තමා ඕන.

"ඈ..මොකක්...?? ඔහේලයි...රජයි..පයුරුපාසානමක් තියේද..!"

"හැක..හැක...බීප්...බීප්..$%&**#$%^"

මෙන්න මුන් දෙන්නා උන්ගෙ බාසාවෙන් මොනවද දොඩාගන්නව.
"ඔව් අපි කියන්නම් හේතුව..,"

මීට සති කීපයකට උඩදි අපි අපේ යානාවකින් පෘතුවියේ කක්ෂය වටා පොඩි සර්ච් පාරක් දාගෙන හිටිය..මෙන්න බොලේ කවදාවත් දැක්කෙ නැති..සතෙක්ගෙ පින්තූරයක් එක්ක...යානාවක් තියෙනව...මීට කලින් දැකල තිබුන්නැති නිසා අපි ඒ යානාව හැක් කලා..එතකොට තමා ලංකාව කියල රටක් එක්ක මේ යානාව සම්බන්දයි කියල දැන ගත්තෙ. අපි හැමතැනක් එක්කම සම්බන්ද උනා..අපිට එහේ අපේ ලෝකෙ..සෑහෙන්න රත්‍රන් තියෙනවා කීවාම අපි එක්ක උදේ හවා..කොබ්‍රාල් කියල කෙනෙක් සම්බන්ද උනා..
අනේ අය්යෙ අපිට දැන් වැලේ වැල් නෑ...අපිට ණය දෙන්න කිසිම රටක් මේ මිහිපිට නෑ අය්යලවත් අපිට රත්‍රන් වලින් වත් ආධාර කරන්නකො..අපි පොලියත් එක්කම දෙන්නම් කිව්ව. අනේ අපිට දුක හිතුන. අපි ලංකාවට ගොඩ බැස්ස.
හරිම ෂොක් අය්යල ටිකක් ඉන්නෙ..අපිට කෑම වේලකට ආරාධනා කලා   අරලිය මල් පිරිච්ච තැනකින්..අපි අපේ පොඩි ඈයොත් අරගෙනම ගියේ...!
හරිම ෂෝක් අය්යල ටික වීයො..අපේ පොඩි ඈයින්ව... අපිවත් ඉඹල නෑ එයා ඉඹගෙන ගියා අපේ හිත හරි සතු‍ටු උනා...බීප්.

 ඔය අතරෙ අපේ අනික් ඉන්ටසිටි යානා ටික හැම තැනකම කරක් ගහල අපිට ආරක්ෂාව සැපයූව.නැත්නම් අපිටත් ගේමක් දුන්නොත්...අපි හොඳට හොයල ආවෙ පුතයල ගැන. 

අපේ යානා තමා...ඔය එහෙන් මෙහෙන් දැකල රටේ මාධ්‍යකාරයො  පට්ට ගැව්වෙ. අපෙ උන්ටත් කිසි විනයක් නෑ....ඉන්ටසිටියක් අතට අහුවුන ගමන් එහෙන් මෙහෙන් යන්න බලන්නෙ...ඒකයි ඔය කට්ටිය දැක්කෙ නැත්නම් රේඩාර් වලටවත් ඔය ඉන්ටසිටි අල්ලන්න බෑ...

" හැබෑට..වීයො මෙහෙ නැත්ද ඉන්ටසිටි..?" 

" අනේ මොකටද..මගෙ කට..!!!" 

ඉතින් අපෙන් ඉහලම තැනකින් ඉල්ලිමක් කලා...
ගම්පහ  පැත්තෙ...සිංහල බ්ලොග් කියල..ලියන මහ නසරානි..ඈයොය්..ඇයීයොය් වගයක්..ගෙට්‍ටුවක් කියල එකක් තියනවය...ඕකුන් ගොඩක් එවුන් අපිට විරුද්ධ එවුන් නිසා තොරතුරු හොයා දෙන්න කියල. ඒ අනුව තමා...... තමා ගැන හොයාගෙන ආවෙ...!

" හැබැයි අපිට වැඩිය අමාරු උනේ නෑ..බීප්" 

ඒ මොකද..මටත් කට පියාන ඉන්නබෑනෙ.

තොපේ එවුන් එකාට...... එකා මඩ ගහගෙන තිබුනෙ..පොටෝ එක්කම දාල නම්,ගම් එක්කම..අන්තර්ජංජාලෙ.  බීප්.

"  හ්ම්..හ්ම්..දැන් කියමු දැන් විස්තර..."  


මම...මුකුත් බැලුවෙ නෑ...සරම කැහැපට ගහ ගත්තා...පැන්න ගේ ඉස්සරහ  අඩි 25ක් විතර උස ගල් වැටියෙන්...!


අනේ අම්මේ............වැටෙනවා...වැටෙනවා..ඉවරයක් නෑ....මාව හිරි වැටීගෙන එනව...!!!!!

ඒයි...ඒයි...
මෙන්න ඒ අස්සෙ කව්ද කතාත් කරනව...!!!
"  නැගිටින්නකො අනේ... වැස්ස පායල ගොඩක් වෙලා..උදේට කන්නෙ නැතෙයි....හි..හි..!!!"  


අපරාදෙ මගෙ හීනෙ..!

Sunday, December 16, 2012

ළමයින්ගේ සිතුම්,පැතුම් නිසිපරිදි අපි අවබෝධ කරගෙන තිබේද..?



අවුරුද්දෙ අන්තිම දින කීපය ගෙවීගෙන යන මේ දවස්වල අපේ  ජීවිතත් හරියට මහලුවියට එලඹුන මිනිසුන් වගේ අලස විදියට ගෙවෙන බවකුයි දැනෙන්නෙ. සමහර දිනවලට ආකාසෙ කළුවර වෙලා හරිම මූසල ගතියක් දවස පුරාම පැතිරිලා. එදාට ඉර හොයන්න විදුලිපන්දමක් අල්ලන්න ඕන.
වෙනද මේ වෙනකොට "සේල්" පොලවල් වැහි වැහැල..රෙදි,විදුලි උපකරණ,ගෘහ උපකරණ ආදී මෙකී,නොකී බොහෝ දේවල් වැහිවැහැල. මිනිස්සු ලෝක විනාසෙට බය වෙලාද මන්දා..?

පාසැල් වල අවසාන වාරය නිසා පොඩි ඈයොත් හිටියෙ හරිම සතුටින් ඇයි ඊලඟට නිවාඩු කාලෙනෙ. කොහොම උනත් නිවාඩුවට කලින් හැමෝටම වාර අවසාන විභාගෙ තිබුන. මේ අවුරුද්දෙ ඉස්කෝලෙට ඇතුල්කලත්,මුල්වසරෙ උනත් අපේ "ලොක්කිලටත්" විෂයන් හතරක් සඳහා විභාග ප්‍රශ්ණපත්‍ර දෙන්න නියමිතවෙලා තිබුන. ඊට හේතු විදියට පාසැලෙන් කිව්වෙ...විභාගය කියන්නෙ මෙහෙම දෙයක්ය..ඒකට උත්තර ලියන්නෙ මෙහෙමය..දෙන කාලවේලාව මෙහෙමය..යනුවෙන් අත්දැකීමක් ලබන්නට මේ ලෙස ප්‍රශ්ණපත්‍ර දෙනබවයි.

කොහොම උනත් විභාගය තරඟකාරීදෙයක්නෙ. ඒනිසා අපේ ලොක්කිට අපි කලේ විභාගයට හොඳින්ම ලකුණු ගත්තොත් චිත්‍ර අඳින්න ඉල්ලමින් සිටි ටියුබ් කලර්ස් පෙට්ටියක්  අරන්දෙන බවත්..හොඳින් පාඩම් කර ලිවිය යුතු බවත්ය.

ඇත්තෙන්ම මේ වයසේ දරුවන් සෙල්ලමටමයි හිත.  පොත්පත්  ආසාවෙන් බැලුවත්,පාඩම් කිරීම නම් දුශ්කර දෙයකි..එක්කෝ..

"අම්මෙ මට නිදි මතයි"

"කාපු ගමන්නේ...බඩත් රිදෙනව.."

"මට පත්තරේ කියවන්න තියෙනව පස්සෙ ..! "
ඔන්න හේතු. ඒ නිසාවෙන්ම අපි කලේ ඇය ආසාකරන දෙයක් අරන් දෙන්නට නම්...විභාගය හොඳට කලයුතුය යන්නයි.

 දින දෙකක් තුල පැවැත්වුනු විභාගය ප්‍රශ්ණපත්‍ර 4කින් සමන්විත උනා..ඉතා ලෙහෙසි වුනත් විශයන් දෙකකට  ලකුනු කීපයක් අඩුවී තිබුනේ ඇය කලබලෙන් කියවා තිබුනු නිසයි..!

දැන් නිවසේ වට මේස සාකච්ඡාවක්...

"බලන්න..ඔයා කලබලේ හරියට කියවලා නැහැනෙ පුතේ"

"ඒකයි..ඔයාට උත්තරේ ‍තෝරගන්න බැරිවෙලා තියෙන්නෙ...ඔයා උත්තරය දන්නවනෙ."
ඇය නිහඬවම සියල්ල අසා සිටියාය. 
නිවාඩුව පටන් ගත්පසු බොහෝ පොඩි උන්ගෙ ආසාව ආච්චිලගෙ ගෙවල් වලට දුවන්නනෙ. ඔන්න අපේ චතුනි දුවත් ආච්චිලගෙ ගෙදර ගියා..!

දින කීපයක් ගෙවීගිය එක් දිනෙක...
"ඒයි... මේ  එන්නකො වැඩක් පෙන්නන්න." අපේ උන්දැ..ඇස් ගෙඩි දෙකට කඳුලු පුරෝගෙන... 
මට කිසිවක් අව්බෝධ නොහී. ඇය බිත්තියක් දෙසට ඇඟිල්ල පෑවාය.
විශාලණය කර බලන්න..මෙලෙස ලියා ඇත.  මම චතුනි මම විබාගෙන් පරාද උනා.

මට සිටිතැන් අමතක විය...අපි දුවන මේ හැල්මේ අපේ දරුවන්ගේ ලෝකයට එබීබලන විදිය කෙතරම් ආත්මාර්ථ කාමීද..? අපදුර දිගනොබලා පවසන යම්දේ තුලින් පුංචි හිත්වලට කෙතරම් විපතක් කරනවාද...?
හිතාගන්න බෑ මොනවා කරන්නද කියල..අපි දෙන්නාම...නොසෑහෙන්න දුක් වූයෙමු රාත්‍රිය පුරාම නින්දක් නැත..!
උදෙන්ම අවදි වී ගොස් පොත් කඩයේ තිබූ ඉස්තරම්ම ටියුබ් කලර්ස් පෙට්ටියක් ‍රැගෙන ගොස් දුනිමි.
එහෙත් ඇය අපට ජීවිතයට අමතක නොවන පාඩමක් උගැන්වීය. අපේ සිංහල බ්ලොග්  ලෝකයේ සංවේදී මිනිසුන්ට උගැන්මට ලොකු දෙයක් මෙහි ඇති නිසා මෙලෙස අකුරු කෙරුවෙමි.



ප.ලි.  :-
පහුවුන දවස් ටිකේම බොහෝම කාර්‍යබහුල වෙලා හිටි නිසා අලුත් පෝස්ට් එකක් ලියන්නත් බැරිවුනා. මේගැන කීප දෙනෙක්ම විමසා තිබුන .ස්තුතියි සියලුදෙනාටම.

මගේ සැලසුම් ශිල්පී කාර්‍යාලය  වෙනත් තැනකට ගෙනියන්නයි සූදානම..අතුරු පාරක ගෙදර තියෙන නිසා පුන්චි අවහිරයක් තියෙනව  ඒ නිසාකාමරයක් කුලියට අරන් ප්‍රධාන පාර අද්දරට යන්න හදන්නෙ. අනිත් දේවල් සූදානම් කරන නිසා හිතේ විවෙකය මදි. ඒකයි ලියන්න බැරි උනේ. අද උදේ සෙන්නා ලියූ ලිපිය දැකල  ටික දවසක් තිස්සෙ හිතාහිටිය කාරනය ලියන්න මූඩ් එකක් ආව.

Wednesday, November 14, 2012

ඩොල්කියත් අරන් එන්නද බජව්වක් දාන්න.


මෙන්න භාණ්ඩෙ..මගේම ඉස්තෝප්පුවෙ.

දැන් කාලෙ වැඩිය දකින්න නැති උනාට,මීට අවුරුදු ගානකට කලින් මගුල් ගෙදරක රාත්‍රියේ වගේම ගෙදරක තියෙන පුන්චි පහේ පාටි එකකදී,යාලුවො කට්ටිය පොඩ්ඩක් සෙට්වෙන වෙන වෙලාවකදී, නැතිවම බැරි උන වාදන භාණ්ඩයක් තමා "ඩොල්කිය". ඉතාමත් මිහිරි වගේම පාටියක උච්චතම අවස්ථාවකත් වින්දනය උපරිම ලෙස ,නැතිනම් නැටවෙන්න වාදනය කරන්න පුලුවන්.

මම පුංචිම කාලෙ අපේ අම්මලගෙ මහගෙදර..ගිය වෙලාවක තමයි මුලින්ම ඩොල්කියක් අතපත ගාන්න ලැබුනෙ. ඒකත් නොවදිනා වැඳුම් වැඳල. මම කලින් කිව්වෙ මට සරුංගල් හදන්න පුරුදු කලේ...අන්න එයා තමයි අයිතිකාරයා. මිනිහ කලාකාරය, එයාම හදාගත්ත ඩොල්කි කඳකටකොහෙන්හෝහොයාගත්ත හම් පදම් කරල එයාම තමයි හදල තිබුනෙ.

එක පාරක් ආච්චිලගෙ ගෙදර යනකොට ජය පාටියක්, සිංහල අලුත් අවුරුදු කාලෙ. මට ඈතටම සද්දෙ ඇහිල පිස්සු හැදිල ගියේ. බලන්න එපායැ...ජෝති,මිල්ටන්,බෙග් යන ගායකයන්ගෙ සිංදු නලවල ස්වර උස් පහත් කරල කට්ටිය එක්ක කියනකොට...ඩොල්කි දෙකයි, තාලෙට තර‍ඟෙට දෙපැත්තකින් ඉඳගෙන මවල ගහන ගැහිල්ල. 
මට උන්හිටිතැන් අමතක උනා. මම බලන් හිටිය මේ වික්‍රමය කොහොමද කරන්නෙ කියල.
කට්ටිය හවස්යාමෙ වෙනකන් ආතල් එක. 

‍රැ වුනා.... ආයිත් කට්ටිය මදපවන වැඩිකරගන්න ගියා ගෙදර පැත්තකට. 
ඔන්න මට වාරෙ..මමත් අතපතගාල..පොඩි සෙල්ලම් පාරක් දැම්ම. 
ම්හ්..! පට්ට ආතල්නෙ...මටත් යන්තම්..පුලුවනි...මටම හිතාගන්න බෑ...!ටිකක් වෙලා ඔහොම සද්දෙ දානකොට කට්ටිය ආව. එදා ඒ විදියට ඉවර උනා.

ආයිත් පාරක් ආච්චිලගෙ ගෙදර ගියාම  මාම මට සෙල්ලම් කරනවකො කියල දුන්න. මමත් ඉතිං අතෑරියේ නෑ...දවසෙම ඩොල්කිය එක්ක අන්තිමට අත්දෙකේ ඇඟිලි ඉදිමිලා.ඒ මදිවට හිරිවැටිල..නවන්න තියා හොලවන්නවත් බෑ.

ඔහොම ටික කාලයක් ගියා..ටික ටික ආච්චිලගෙ ගෙදර ගියාම මම තනියම ඩොල්කිය අතපත ගාල යම් තරමක තත්වයකට ආව.

මම සා.පෙ. කරන කාලෙ බාප්පලගෙ ගෙදරක තිබුන කොටහලු මගුල් පාටියක්, ඔන්න දැන් ‍රැබෝවෙලා ඒ ගමේ කට්ටිය පැදුරු පාටිය.ඩොල්කියක්,සර්පිනාවක් ගිටාරයක්, තව නම නොදන්න අටමගල කීපයක් තිබුනා මතකයි. සාජ්ජය නැගල යනව. මට උන්හිටිතැන් අමතක් උනා...ඩොල්කිය ගහනවා...ලොවෙත් නෑ..නැලවෙනව. ඔය විදියට ටිකවෙලාවක් ගියා.

ඔය සාජ්ජවලදි ...එක් එක් ගායකයගෙ සිංදු ගොඩක් වෙලාවට කියන්නෙ එක් එක් අය. ජෝතිපාල මහතාගෙ සිංදු 10ක් විතර කියල. දැන් බෙග් මහතාගෙ සිංදු කියන්න හදන්නෙ...පොඩි කසුකුසුවක්...
ඩොල්කිය වයන කෙනා තමයි බෙග් මහතාගෙ සිංදු කියන්නෙ. ඒ වෙලාවට ඩොල්කිය වයන අමතර කෙනා අද .....වැඩි වෙලා..කර්පට් වෙලා..කන සාක්කුවෙ දාගෙන ඉන්නෙ. සාමාන්‍යයෙන් ඩොල්කි ගහන ගමන් සිංදුකියන්න හරි අමාරුයි.

දැන්  විවෘත ආරාධනයක්....කවුරු හරි යන්තම්වත් දන්න කෙනෙක් ඉන්නව නම් එන්න කියල. ඔන්න වාරෙ ..
"අයියෙ මට හොඳට බෑ..තාලෙට යන්තම් පුලුවන් .." මම ඉදිරිපත් උනා.

"අරි..අරි..මල්ලි..මම සප් එක දෙන්නම් මල්ලි දෙන්නකො තාලෙ".
මමත් අතපය සොලවලා...දුන්න බැටේ...!

අල්ලල ගියේ නැද්ද...! මුං ටික මාර සප් එකක් දුන්නෙ මට මම අත් දෙක යකාට ගියාදෙන් කියල...ඩොල්කිය වැයුව. කොච්චර අල්ලල ගියාද කියනවනම් අන්තිමට සාජ්ජයේ අහවර වෙනකන්ම ඩොල්කිකාරයා උනා මම. 

ඔයින් ටිකකාලයක් යනකං මට පුදුම ආසාවක් තිබුන ඩොල්කියකට. යාලුවෙකුගෙ ගෙදර උන්ගෙ තාත්තට තිබිල පැත්තකට දාල තිබුන ඩොල්කි කදක් අරන් ඇවිල්ල අපේ කිට්‍ටුව තියෙන් ලැයිම් කාමර පැත්තෙ අඳුනන අයෙක් මාර්ගයෙන් එළු හම් දෙකක් හොයාගෙන බැඳගෙන තමයි මගෙ මුල්ම ඩෝල්කිය හදාගත්තෙ.

ටික කාලයක් ගියාම මට අතට කීයක් හරි ලැබෙනකොට...මාතර හක්මන පාරෙ තියෙන වාදනභාණ්ඩ හදන තැනකින් නියම භාණ්ඩයක් හදව ගත්තා..මතක හැටියට..රු.2500ක් වගේ ඉස්තරම් භාණ්ඩෙ.ඒක තමා ඔය තියෙන්නෙ. 
ඒගොල්ලගෙ ලේබල් එක ඉරිල තිබුනෙ.කාලයක් වෙනවනෙ.
මේ තියෙන්නෙ අපේ මිදුලෙ දර්ශණ පතයත් එක්කම. ඔය පේන වැටෙන් පල්ලෙහා ලොකු ගල්වැටියකින්  පහල අඩි25ක් විතර.

දැන් අවුරුදු ගානකින් අතින් අල්ලන්න බැරි උනා.
මීට ඉස්සර ඒක පාරක් අපේ ගෙදර ආපු ඥාති මල්ලි කෙනෙක් මම නැති අතරේ...බුම් එකපැත්තට වැඩේ දීල මට ඇඬුනත් එක්ක. මම ඩොල්කිය ගමේ කිසි කෙනෙකුට අල්ලන්න දෙන්නැතිව තියන් හිටියෙ.සමහර යාලුවො තරහත් වෙලා තියෙනව ට්‍රිප් යන්න ඉල්ලන්න ඇවිල්ල. මේ භාණ්ඩ හරියට දන්නැතිව ගැහැව්වොත් පැලෙනව. ටියුන් එක වෙනස් වෙනව.


මමත් ඉතිං ඔය වී පොකුරිත් එක්ක මල් කඩන කාලෙ...ඉදල හිටල රාත්‍රියට විදුලිය නැති උනහම..ඔන්න පොඩි රොමෑන්ටික් ගතියක් ආවම නිශ්ෂබ්ද වටපිටාව නැලවෙන්න දෙන්නෙ..ගමටම ඇහෙන්න අර මුලින්ම පේන ඉස්තෝප්පුවට වෙලා ....වයනව.., ගයනව...හරි අමාරුයි වයමින් ගයන්න..."පොඩි කුමාරි හාමියේ..."ඕව තමා නැගල යන ගීත.


මේ අත්කාල දුකේ බෑ..!

දැනුත් මේ තියෙන්නෙ ඉරිල.ඒකියන්නෙ..කාලයක් සෙල්ලම් කරන්නෙ නැතිව එකතැන තිබුනොත් "අත්කනව" කියල එකක් වෙන්නෙ අන්න ඒක වෙලා දිරල ගිහිල්ල...දැන්නම් දෙපැත්තෙ හම් බදින්න ඩොල්කිය ගත්තට වඩා ගානක් යනව. 
මේ ලඟදි කාමර අස්පස් කරන වෙලාවක එලියට අරගත්තම හිතුන අලුත්වැඩියා කරල ගන්න ඕන කියල.

ඔන්න ඕගොල්ලගෙ සාජ්ජයක් තියෙනව නම් කියන්න....නටවල ගන්නම්..!

Monday, November 5, 2012

ඇලේ පැනල...හොර කුරුම්බ බීල..!



අපේ ගෙදර ඉඳල තාර පාරට මීටර්200ක් ඇති උපරිමේට. නැත්නම් වංගු දෙකයි.10වසරෙ ඉන්න අපිට ඔයටික ඇහිපිල්ලමක් ගහන ටිකට දුවල යන්න ඇහැකි.
තාත්ත ගෙදර නැති වෙලාවක් බලල අම්මට..පුංචි බෝලයක් බස්සල...ගෙදරින් පිටවෙන්නෙ හරියට මිටින් හැරි කුරුල්ලෙක් වගේ. කොහොමත් ගෙදරට හිරවෙලා ඉන්න මේ වයසෙ...මේ කාලෙ කොල්ලෙකුට පුලුවන්ද..?
මේ වගේ වැඩ කරන්න බොහෝම කපටි නරි නුවණක් උවමණායි. ගෙවත්තෙ කන්ද උඩට බඩගාල....ලපටි කිතුල්ගහකින් මෝරපු පිත්තක් කපල..හරහට.ඉර‍ටු තුනක් එකට තියල අඹරල..එකට ගැටගහල හදාගත්තු සරුංගලේ තමා අපිට පිහිට වෙන්නෙ. එත් ඉතිං සරුංගලේ අලවන්න සව්කඩදාසි මිලට ගන්න සල්ලි ඉල්ලගන්න අම්මට නොවඳිනා වැඳුම් වඳින්න එපායැ. සමහර  දවස්වලට ඒක හරියන්නෙ නැහැ. ඒකටත් විකල්පයක් මේ සූටි කපටිමොලේට තියෙනව.

වෙසක් එකට සාමාන්‍යයෙන් කූඩු 8ක් වත් අපේ ගෙදර හැදෙනව. මල්ලියි , නංගියි පුන්චි නිසා උන්ගේ ආසාවනෙ කියල මම හදන තරමක් වෙසක් කූඩු අලවන්න අම්ම සැදී පැහැදී ඉන්නව.මමත් ඉතින් රබර් වත්තෙන් හොරෙන් ගලවගෙන උහුලන්න බැරි ගඳගගහ ගෙදර ගෙනාපු ඔට්ටපාලු ටික ඉවර වෙනකන් අටපට්ටම් හදනව...

ඉඳල හිටල අලුත් නිර්මාණ කියල ජාතියකුත් හදනව...ඒත් ඒකෙ නම මොකක්ද..කියල හදන මමවත්..බලන්න එන අයවත් , ගෙදර කවුරුවක්කත් දන්නෙ නැහැ. අමුතුම නිර්මාණයක්ම තමා. ඉතිං ඔයාකාරෙන් හදාපු කූඩුවල පසු ප්‍රයොජනය තමා ප්‍රවේසමෙන් ඉරල අරගෙන සරුංගල් රාජයාව අලෝන එක..!

සරුංගලෙත් අරන් පිම්මෙ දුවන්නෙ තාරපාර අද්දර ගේ තියෙන හිච්චි බප්පලාගෙ දිහාට. පාර අද්දරම තියෙන ගේ එක්කම පිටිපස්සෙ තියෙන්නෙ බොහෝම පුංචි ඉඩක් ..එහෙම නැත්නම් පිලිකන්න කියන්නෙ අන්න ඒක.ඊලඟට" පිටවාන". පිටවාන කියන්නෙ වතුර ගලායන කානුවක් වගේ ඒත් පොඩි වෙනසක් තියෙනව .

කුඹුරු කරන කාලෙට ඔය පිටවාන හරස් කරල වැටියක් ගහනව...ඒකට කියන්නෙ "වක්කඩේ " කියල. අර ප්‍රස්තාපිරුළකුත් තියෙන්නෙ..." වක්කඩේ හකුරු හැංගුවා වගේ" කියල. ගලායන වතුර පාර නවත්වන්න තමයි වක්කඩේ ගහන්නෙ.
ඒකත් හරි අපූරුයි.., උස අඩි5ක්,6ක් විතර වෙන සවිමත් කෝ‍ටු පේලියක්  ලඟින් ,ලඟින් මුලින්ම හිටෝනව. ඊට පස්සෙ තව අඩියක් විතර දුරින් ඒ වගේම තවත් පේලියක් , පිටවාන හරස්වෙන්න හිටෝනව.
ඔය පේළි දෙක දැන් සමාන්තරයි, ඔය අතරට ලියැද්දින් කපාගත්තු තණකොලත් එක්කම පස් පිඩලි වලින් පුරෝගන්නව. ඒඅතරේ හිටවපු ලී ශක්තිමත් වෙන්න ඒව එකින් එක යාවෙන්න හරහටත් ලී හෝ පොල්පිති තියල ගැට ගහනව. හරියටම පුන්චි වේල්ලක් බැන්ඳවගේ. මේ නිසා වතුර පල්ලෙහාට බහින එක නවතිනව.වක්කඩේ ගානට වතුර පිරුනම ඒතනින් තමයි..ලියැද්දට වතුර ගන්නෙ.

පිටවාන එක්කම වෙල ආරම්භවෙනව..ලියැදි එකින් එක...!
 පිටවාන එකසැරේ පනින්න අමාරුයි. ඒදණ්ඩක් දාල තියෙන්නෙ ඒකට තමා. ඒත් අපේ ප්‍රධාන විනෝදාංශය ඔය පිටවාන එගොඩත්,මෙගොඩත් පනින එක තමා.මේකටම හරියන්න...බප්පලාගෙ ගෙදර මල්ලිලා දෙන්නෙක් හිටිය.ලොකු එක්කෙනා "උකුං" අනෙකා..රෝහිත..නැත්නම් මලේ...මලේ කිව්වට ..මලපහ කියල තමයි නැතිතැන කියන්නේ හැබැයි ඌට ඒකට මල පනිනව...ඕක කෙටිකරල..මලේ කිව්වම ගානක් නෑ.

උන්දෙන්නට නං ගෙදරින් කිසි බරබරයක් නෑ...හොයන්නෙත් නෑ...මහ එවුන්ට ගානකුත් නෑ..! මම එන සුනංගුවට උන් දෙන්නා පැනල එන්නෙ. උන්දෙන්නට සරුංගල් හදන්න බැරි එකතමා ප්‍රධාන හේතුව.සරුංගල් ඕන එහෙකුට හදන්න ඇහැකිනෙ. ඒත් වැඩේ කියන්නෙ, කූරිය ගහන්නෙ නැතිව උඩයන සරුංගල් හදන්න හැමෝටම බෑ...!
මටත් ඉස්සර බැහැ. හදන , හදන සරුංගලේ කූරිය ගහනව..මොන වෙනස්කම කලත් හරිගියේ නැහැ.

අවුරුදු නිවාඩුවට අම්මලාගෙ ගමේ ගිය වෙලාවක පොඩිමාම තමයි ටක්කෙටම මිනුම් අරන් ආයෙ කූරිය ගහන්නෙ නැතිව උඩම යන සරුංගල් රාජයො හදන හැටි කියල දුන්නෙ.


සරුංගලේඅරන් පිටවාන පැනල ගේ හරියට නොපෙනෙන මානයට ගියාම හම්බවෙනව "ඇල".මේක තමයි ප්‍රධාන ඇල. වැහිකාලෙට පිටාර ගැලුවත්..ටිකදවසක් පායනකොට වතුර ටිකපැහැදිලි වෙන්න ගන්නව. පුංචි අපිට ආසාවෙ බෑ..හැබැයි හැමතැනම නාන්න බැහැ.සමහර තැන් ගැඹුරුයි.තවත් තැන් අපහැදිලියි..!

සමහර කොල්ලො නම් ඉන්නව උන්ගෙ ..පෙකණිවැල ඇලේ තියල කපල වගේ...අපි පොලවෙ ඇවිදිනවට වඩා පහසුවෙන්..වතුරත් එක්කඔට්‍ටුවෙන්න්නෙ. අපිටනම් ඕව ඔට්‍ටු නෑ..අඩුම තරමේ ටික දුරක් පිහිනන්නවත් බැහැ.ඒක නිසා ගෑණු ලමයි..නාන ,මංකඩක තමයි අපි නාන්නෙ. මලයල දෙන්නට නම් පිහිනන්න පුලුවනි.

ඔය මොනව කලත් මේ සියල්ල...කලහැකිවන්නේ කුඹුරු කපපු කාලයට විතරයි. අනිත්කාලයට පිටවානෙන් පැනල ලියදි දිගේ යන්නවත් කොලු අපිට කුඹුරු අයිතිකාර සීයල ඉඩ දෙන්නෙ නැහැ.ඔවුන්ගේ ගෙවල් කුඹුරු වටේට පිහිටල තියෙන නිසා...කාක්කෙත් වැහුවත් ඔවුන්ට පේනව. ගොයම් පිදෙන කාලයට කොහොමත් ගොවියො කුඹුරට ඇහැ ගහගෙනම තමා ඉන්නෙ.

සමහර වතුර අඩුකාලෙට අපි ඇලදිගේ උඩහට යනව...අපේ කොලු නඩේට තවත් කීපදෙනෙක්ම හිටිය. ඇලදිගේ තැනින් තැන...පිටවානවල් එකතුවෙන තැන් තියෙනව..මේ තැන්වල මාලු පිරිල. කොහොමත් සරුංගල් අරින්න එනකොට යටට ඉස්කොලෙ අඳින කොටකලිසම ඇඳල උඩින් සරම ඇඳල තමයි එන්නෙ.ටික වෙලාවක් අතින් මාලු අල්ලල හති වැටෙනව.ඊටපස්සෙ සරම අරන් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලල පිටවාන දිගේ අරගෙන ගියාම මාලු අල්ලන්න පුලුවනි. පිටවානෙ ගොඩක්ම ඉන්නෙ "උඩ්ඩො" තමයි.සමහර ඈයො හඳයො කියලත් කියනව.උන් නිතරම ඉන්නෙ වතුරෙ උඩමයි.හරියටම ඔලුවෙ උඩට වෙන්න..පොඩි ලපයක් තියෙනව ඒක වතුරට හඳවගේ දිලිසෙනව ඒකයි හඳය කියන්නෙ. ඊලඟට "දන්ඬි"...උන්නම් වර්ග කීපයක් ඉන්නව..."ලේදන්ඬි"...උන් රතුපාටයි."හැලදන්ඬි" බොරපාටයි...තව "තිත්තයො...මේව මට වැඩිය දන්නෙ.උකුං තමයි...උන් ඉතින් නිතරම ඔය පිටවානෙම තමයි.

කොහොමහරි අන්තිමට යවපු සරුංගලයක් නම් නෑ..මලපහ නම් සරුංගලෙත් ඒක්ක ටිකක්වෙලා ඔට්‍ටු වෙනව . ඒත් සරුංගල් යවන එකත් ලේසිනැහැ...!

සමහර දහම්පාසල් දවස්වලට තමයි අපේ නියම ජොලිය තියෙන්නෙ.කොල්ලො කට්ටිය කතාවෙලා දහම්පාසල් ඉවර උන ගමන් ඇලේ පනිනව . එදාට නම් ඇල බොරවෙනකම් නානව දියබුං ගහනව...එක විකාරයයි. ගොඩක් එවුන් නාන්නෙ හෙලුවෙන් තමයි..ඇයි දහම්පාසල් ගිහිල්ල එන ගමන්නෙ. 
ඒක නිසා කට්ටිය නාන්නෙ ගැහැණු උදවිය  නාන තැනට උඩින්...ඒ හරියට අයිතිකාරයෙක් ඉන්නවා.
ඒ තමයි "වෙදා"...! අපි කියන්නෙ නම් එහෙම..!
වෙදා කරන වෙදකමක් නම් අපි කවදාකවත් අහල දැකල තිබුනේ නැහැ. තට්ටෙ පෑදිල සුදු උන කෙස්ටික උඩට පීරල හිටියෙ. උඩි ‍රැවුල තඩි පොල්ලෙල්ලක් වගේ ඒතරම් ලොකුයි.
දැක්කම ටිකක් බයත් හිතෙන තරම්.වෙදාගෙ ගේ තියෙන්නෙ තාර පාර අද්දරම. ඒනිසා මේ ඉඩමට එන්න නම් වෙල දිගේ එන්නම වෙනව.අපි ඔය ඉඩමට කිව්වෙ "වෙදාගේ කලවිට" කියල. කලවිට කියන්නෙ කුඹුරුවල ට එක් එක් උවමනාවලට ඉතුරු කරපු කුඹුරු වලින් වට උනු ගොඩ ඉඩමකට.ඒත් මේ ඉඩම කොහොම හරි අයිතිකරගන්න වෙදා සමත්වෙලා තිබුන.ගමට පිටින් ඇවිත් පදිංචි වෙලාතිබුනත් යම් ප්‍රභූ පරම්පරාවක වූ නිසාම යම් බලයක් ඔවුන්ට තිබුන.අනිත් කාරනය වෙදහාමිනේ...අපිනම් කියන්නේ වෙදගෑනි කියල...ගෙදරටත් සාරිය ඇඳල..සාරිපොට නිතරම ඉනේ ගසාගෙන හිටියෙ.අපේ ගමේ ගෙදරට සාරියක් ඇන්දෙ මේ ගෙදර කාන්තාව විතරමයි.

මේ වෙදාගෙ කලවිටේ පොල්ගස් 4ක්,5ක් විතර තියෙනව...පොල් පිරිල ..එවුන්ට පොල්වලට කරන්න දෙයක් නැහැ නිකං ගෙදර ගොඩ ගහගෙන ඉන්නෙ. හැබැයි අපිටනම් ඕක මල්මසුරං..!!

දහම් පාසලෙන් පැනල ඇවිල්ල ඇල උඩහ වෙදාගෙ කලවිට ලඟ නාන කොට අර පොල්ගස් පේන කොල්ලන් ටික නලියනව...කුරුම්බා කන්න. සාමාන්‍යයෙන් එකගහක් ලයිට් කණුවක් තරම් උස ඇති ඕක එකහුස්මට නගින්න පුලුවන් කොල්ලො කීපදෙනෙක්ම අපේ කල්ලියෙ හිටිය. එකම ප්‍රශ්නෙ වෙදාට නොදැනෙන්න කොහොමද කුරුම්බා කඩන්නෙ කියන එක.
ඒක සාමූහිකයි එකෙක් වෙලේ ඈත බලාගෙන ඉන්නව වෙදා එනවද බලන්න. අනිත් උන් ගහ මුල ගෙඩි ගහේ ඉඳන් දානකොට අල්ලන්න. ඇයි බිමට දැම්මොත් සද්දෙ ඇහෙනවනෙ. එතකොට තප්පරේට වෙදා මෙතන.
කොහොමහරි ඔන්න එදත් සුපුරුදු පරිදි වැඩේට බැස්සා...මම ඇරෙන්න තව එකයි කලිසන් ඇඳන් හිටියේ..අනිත් උන් ඔක්කොම හෙලුවෙන්..නානව...! ඔන්න එකෙකුට ආව අදහස කඩමු කුරුම්බ.


එකෙක් ගහට නගින්න කැමති උනා. මමත් තව තුන්දෙනෙක් උඩ ඉඳන් දාන කුරුම්බා අල්ලන කල්ලිය.තව එකෙකුට තමයි බැරෑරුම්ම කාරිය....ඇලට ගලා බසින පිටවාන ඇතුලට බැහැල ඔලුව විතරක් උස්සල වෙදා එනවද බලන කාරිය. අන්තිම එකාට කඩන කුරුම්බා හංගන රාජකාරිය. කඩන කුරුම්බා අනිවාර්‍යයෙන්ම හංගන්න ඕන.ලොකු කොල්ලො ටිකට අපි කුරුම්බා කඩනව කියල ඉව වැ‍ටුනොත් උන් ටික අපිට ගහල ඇලට තල්ලුකරදාල...කුරුම්බ ටික උන්ගෙ වගේ අරන් බීල දානව...අපිට ඉතිං හෙලුවෙන් අඩන්න තමා වෙන්නෙ.
ඒත් එව්ව කොහේද අපිත් ඒක්ක...ඔක්කොම හන්ගන්නේ හන්ගපු එකාටවත් හොයාගන්න බැරිවෙන්න....සමහර දවස් වලට එහෙමත් වෙනව..ඇයි ඇල ඇතුලෙ වැටකෙය්යා ගස් අස්සෙනෙ හන්ගන්නෙ...පස්සෙ බලනකොට ගහගෙන ගිහිල්ල...ඉතිං අරූට බැනල කුනුහරප විමානයයි..!

ඔන්න දැන් හරි වීරවික්‍රම මෙහෙයුම සූදානම්...ගහේ දෙන්නයි එකෙක් කඩනව...අනිකා ගහේ මැද හරියෙ ඉඳන් කඩල දෙන ගෙඩි ගන්නව ඊටපස්සෙ බිම ඉන්න අපිට දානව.උස ගහකින් කඩන නිසා තමයි මෙහෙමකරන්නෙ. හැබැයි උඩ ඉඳන් දාන ගෙඩි සීරුමාරුවට අල්ලන්න ඕන..නැත්නම් අත්දෙක ඉවරයි..කිලෝ 3ක්,4ක් නේ.

වල්ලක තියෙන ගෙඩි ඔක්කොම කඩනව..වැඩි වෙලාවක් ගියේනෑ.....!

"හු*** පුතාල  තොපේ කවුරු ඉන්ඳපු ගස් වලද යකෝ මේ මහ දවල් කුරුම්බ කඩන්නෙ ඔහෙ හි‍ටු..!!!"කෙලියයි...වෙදා...ඇවිල්ල ලඟටම එනකන් කවුරු වත් දැක්කෙ නෑ....!

ගහේ මැද හරියෙ හිටිය එකා .බෘරූස්.............ගාගෙන ලිස්සල ඇවිල්ල 
" දොහ්" ගාල ගහ මුල දෙරිගැහැව්ව. අපිත් පුලුපුලුවන් විදියට දිය යටින් ගිහිල්ල..වැටකෙය්ය ගාලට රින්ගුවා...කිසි කෙනෙකුට මුකුත් හිතාගන්න බෑ..! මොකක්ද උනේ කියල...??

"බැහැපිය පරයා...අඬු කඩන්න තොගේ...!" කුනුහරප වැලයි..!

"අනේ වෙදමාමෙ... අපි..මේ ..පුවක් ටිකක් කඩාගන්නයි ගහට නැංගේ..!"

"හෑ ...&^%$%^&%^ පුවක් කොහෙද යකෝ පොල් ගස්වල...!"

"අනේ  වෙදමාමේ අර තියෙන්නෙ පුවක් ගහ...ඒකෙ නගින්න අමාරු නිසා..පොල් ගහෙන් නැංගේ..!"
අපට හිනාවෙන්නත් අමතක වෙලා...නැත්නම් මේ වෙලාවෙ මේ කියන දේවල් වලට බඩක් හොයන්න බෑ..!!

"අනේ පල බූරුවො යන්න ...‍තෝ එනවද මාව තම්බන්න....බැහැපිය කිව්වේ.....!!!"


" මාමේ ඔන්න නොකිව්වයි කියන්න එපා...මට කරදර කරොත්...පනිනව මං ගහෙන්..ඕං
මෙන්න බොලේ මේකාට ඝණදෙවි නුවන ඇවිල්ල.

"ඒව කොහේද... කෝ මුං එක්ක ආපු අනික් එවුන්...! 

මලා...!! මෙන්න වෙදහාමිනෙත් ඇවිල්ල දැක්කෙම නෑ..එතකොට තමයි අපිට මතක් උනේ ඔත්තු බලන්න..එකෙක්ව..පිටවානෙ හැංගුවා නේද කියල...මේ යකා ගෙදර ගිහිල්ලද අපිට නොකියාම..!
මූට වෙච්ච දෙයක් නෑනෙ.

ඒ අතරේ එකපාරටම ......
"ජබෝස්" ගාල සද්දයක් ආව ...!
"බුදු අම්මෝ මං ඉවරෝ"..කියල කෑ ගැහිල්ලකුත් එක්ක.

ඒ එක්කම සුනාමියක් වගේ වතුර පාරක් ඇවිල්ල අපිව ගහගෙන යන්න හැදුව ...!
මලා........! අරූ ගහෙන් පැනල ඇලට..අපේ උරහිසට විතර වතුර තිබුනත්...ඌව නොපෙනී ගියා..!

ඒ අතරේ වෙද ගෑණි බයවෙලා...ඇඳන් ඉන්න සාරිය දනපොල්කට්ට ගාවට උස්සගෙන දුවන්න ගත්තෙ නැතෑ..ඒ පස්සෙ...වෙදා..මුන් දෙන්නා භය වෙලා ..!

ගහේ හිටිය එකා...වැ‍ටුන සද්දේ ඇහිලද කොහේද....මෙන්න එකසැරේට....ඔත්තු බලන්න දාපු එකා හිට ගත්ත............මලා...!
ඌ අමු නිර්වස්ත්‍රයෙන්....!පිටවාන මැද ...හොල්මනක් වගේ..!
ඒ එක්කම..දුවන් ආපි..වෙද ගෑණි...!

"බුදු අම්මෝ....!!!" මරණීය විලාපයක් එක්ක..අරගෑණු මනුස්සය පය පැටලිල...ඔත්තු බලන්නදාපු..හෙලුවෙන් හිටිය එකාගෙ ඇඟ උඩටම වැ‍ටුන....! ඒ මදිවට අරූ හෙලුවෙන්..!

ඔය එක්කම ආපු වෙදත් ඒ උඩටම වැ‍ටුන..ඒ සැරේ නම් අපිට ඉල ඇදෙන හිනා...! ඒ අතරේ ගහෙන් පැනපු එකත් ඇවිල්ල හිනාවෙනව.
පිටවානෙ හිටිය එකා බඩගාගෙන ඇවිල්ල ඇලට පැන්න ..අපි නිකන් ජලජ ජීවීන් වගේ වතුරෙම ඉඳන් හිනා කනව. වෙදයි...හාමිනෙයි..අමාරුවෙන් නැගිටල ගියා මඩ නාල...! (ඔත්තු බලන්න හිටිය එකා පිටවානෙ ඇතුලෙ ඉන්නකොට..මාලුරෑනක්  ලඟටම ඇවිල්ල..මූ රාජකාරිය තියෙද්දි මාලු අල්ලල.) 

අපිට  මොන ගානක්ද..! ඇදුම් ටිකත් හනිකට ඇදගෙන...ටිකක් එහාට වෙන්න තියෙන ගලක් උඩට ගිහිල්ල..කුරුම්බ ටිකට වග කිව්ව...!ගහෙන් පැන්න එකා..ජීවිත බයට නොවෙයි බයකරන්නම තමයි පැනල තියෙන්නෙ...ඒ උනාට පිට පුරාම පොල්ලකින් තඩි බාල වගේ..රතුවෙලා පැන්න පාරට වතුරෙ වැදිල...! හීන් සැරේ කට්ටියම ගෙදරගියත් දවස් ගානක් බයේ හිටියෙ වෙදා ගෙදරට පැමිනිලි කරාවි කියල..හොඳවෙලාවට...අපිව අඳුරගෙන නෑ..නැත්නම්..පැමිනිල්ල දානවම තම..!

ඡායාරූප කතාවේ චරිත වලට අදාල නැත . අන්තර්ජාලයෙන් උපුටාගැනුනි.

ප/ලි. මේ ඇල දැන් අතුරුදන් වී ඇති අතර විශාල කානුවක් බවට පත්වී ඇත. පිටවාන ගොඩකර ඉඩම් වලට ඈඳාගෙන තාප්ප ගසා..සියලු ජරාව ඉතිරිවී ඇති පිටවානකානුවට බැහැර කරයි. මේවා ඇලට ගමන් කරන නිසා කකුල් හෝදන්නවත් කිසිවකු බසින්නේ නැත.
මේවා දකිනවිට හිතට මහා කනගා‍ටුවක් උපදී.



Tuesday, October 30, 2012

හැකිවෙයිද ...පතන්නට..! සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!



මාත් එක්ක අත්වැල් බැඳයන්නට..
එනවද.. සංසාරෙ පුරාම....
අහන්න හිතෙනවා.. මට..!

ජීවිතය පොදි බැඳගෙන..
සතු‍ටු සිනා උතුරාගෙන..
නැහැ ගලා ගියේ මල් යහනාවක...

විටෙක ඇනුම් බැනුම් අසාගෙන...
සෙනෙහස දෝතට තුරුලු කරගෙන...
මහ මෙරක් උසට බලාපොරොත්තු ගොඩනැගුවා නුඹ මට...!

මගේ පැල්පත එළියකරගෙන...
හැමදාමත් ඉන්නවාද මා අසලින්ම...
අහන්න හිතෙනවා... මට..!

මල් වගේ පැංචියෝ දෙන්නෙක්ම..
නුඹේ ප්‍රේමය නිසා දුන් මට...
හැකිවෙයිද ...පතන්නට..!
සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!


 ප/ලි..  වීපොකුරිගෙ ..  උපන් දිනය ඊයේ උනත්..!
සුපුරුදු පිරිමි ගතිය මතු උනානොවැ...."අමතකවීම"
හිටියෙත් කතරගම....ඒකත් එකහේතුවක්..!


පින්තූරෙ මෙතනින්..,http://www.flickr.com/photos/phoechan/7820232546/

Wednesday, September 26, 2012

සහෝදර ප්‍රේමය..!



පොඩි ඈයො පන්තිවලින් එලියට බැහැල...තොර‍තෝංචියක් නැති කෑ ගැහිල්ල හරියට  ඇලක් අද්දර ,කෙකටිය ගාලක් අද්දර කෑ ගහන කොරවක්කු පොකුරක් වගේ.

සමහරුන් අපි එනකන් බලා හිටිය වගේ.....තඩි බාස්කට් ඔසවාගෙන පන්තියට ඇතුල් වෙනකොට පස්සෙන් වැටිල හැමෝම වාඩි උනේ ටීචර්ගෙ අණකිරීමට. 

අද 1වසරෙ අපේ දූගෙ පන්තියෙ කෑම වේල දෙන දවස. පුන්චි එවුන්ගෙ මූනු කුතුහලයකින් පිරිල..? සමහරුන්ට ඉවසුමක් නෑ අද කෑමට මොනවද ලැබෙන්නෙ කියල. ඒ අතරෙ  කටකාර කොලුවෙක් අපේ දුවට කිට්‍ටු වෙයි....

"චතුනි...මොනවද අද කෑමට දෙන්නෙ.." අපේ දුව හිනාවෙයි.

"හා..අඩ..පයිඩ් රයිස්.." තවත්  අයෙක් කෑම බෙදන්නට සූදානම් වෙනවා බලා කියයි. 

හැමොටම හිනාවක්...සමහරුන්ගේ මේ කිරිදත් වැටෙන වයසයි..ඒ නිසා හිනා වෙන විට හරිම විසුලු ස්වභාවයකි.
පොඩි ඈයෝ තමන්ගේ රුචිකත්වයට අනුව ආහාර භුක්ති විඳියි.

අතුරු පස ලැබෙන වෙලාවයි..අපේ නිවසේ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව තීරණය කෙරුනේ...අයිස් පලම් දිය යුතු බවයි...පුන්චි ඈයෝ ආසයි නෙව.

සියල්ලනටම එක ගානේ ලැබුනි. අමෘතයක් ලැබුන ලෙස රසවිඳිති. 
මා විසින් නැවත පරීකෂාවක් කලෙමි. පන්තියේ තමන්ගේ පු‍ටුව අසලම ගැවසෙන පුතකුගේ අතේ අයිස් පලමක් නැත. කුමක් වූයේද ..?
සියල්ලටම බෙදූබව මතකයි...

"පුතා..ඔයාට හම්බ උනේ නැත්ද...! අයිස්ක්‍රීම්..!" මා විමසූවෙමි.

කතාවක් නැත...මාදෙස බලා ඉවත බලාගත්තා පමනි.

"ඇයි පුතේ ඔයාට ලැබුන්නැත්ද..!" නැවත මා ඇසුවෙමි.කුඩා කොලු පැටියා දත් කීපයක් හැලී ගිය මුව විවර කර අපහසුවෙන්...මුවට සිනාවක් නගාගෙන හිස ඉහලට පහලට වනා ලැබුනු බව ඇඟවීය.

"කෝ කොහේද..?" මට කුතුහලයකි.
ඔහු බෑගය පෙන්වීය.

මා බෑගය විවර කර බැලූයෙමි. දරුවා බියවීය.

''පුතේ ඔයාට කන්න අයිස් ක්‍රීම් දුන්නෙ . අනික ගිනියන්න බෑනේ දිය වෙනවනෙ''.ටීචර්ට මේ කලබ්ගෑනිය ඇසීන .

"ලසිඳු ඇයි පුතා..කාටද ..? මෙහෙට එන්නකො.."
දරුවා කඳුලු පොරෝ ගෙන...අයිස්පලම කටට ලංකරගෙන බයෙන් ටීච ලඟ.  යමක් ඔහුගෙන් අසයි..??

"ආනේ.. පුදුම දරුවෙක්නේ..." ටීචර් කියයි.

"අද ශිෂ්ශ්‍යත්වෙ ප්‍රිතිඵල ආවනෙ..මෙයාගේ අක්කත් පාස් වෙලා..එයාට ගිනියන්න තමා එයාගෙ එක කන්නෙ නැතිව බෑග් එකේ දමාගෙන තියෙන්නෙ"

පුදුම දරුවෙකි...අනිත් දරුවන් මේ ඉඳහිට ලැබෙන මේ අතුරුපස හොඳහැටි සප්පායම් වෙති.එහෙත් මේ දරුවා...........???

අක්කාගේ දක්ෂතාවය දැක සතු‍ටු වී මේ කුඩා දරුවා....තිලිණයක් ලෙස, කලාතුරකින් තමනට ලැබුනු ආහාරය පරිත්‍යාග කිරීමට කිසිම ලෝභකමක් නැතිව සූදානම් වූ හැටි. වැඩිහිටි අප ලඟ නැති අනෙක් දරුවන් බොහෝ දෙනෙකුට නැති මේ දරුවාගේ මේ ක්‍රියාව අපසැමගේ නෙතට කඳුලක් නැගූ බව කිවයුතුයි.


මෙවන් දරුවන් දෙමාපියන්ට වාසනාවකි....!
මෙවන් දරුවන් රටට වාසනාවකි....!

*************
ප.ලි..........ලියල ඉවරවෙනකොට රෑ12ත් පහුවෙලා..ඒ නිසා දිනේ වෙනස නොසලකා හරින්න.



Friday, September 21, 2012

සෙත්සාන්තියෙන් ගම සුවපත් කල පීරගම මාමාගේ අවසානය...!




අවිවේකීව ගෙවුනු දවසක් ගෙවීයන හැන්දෑවක මා මිතුරකුගේ නිවසක් වෙත පා ගමනින් යමින් සිටියා.

" ලොකු දරුවෝ....ලොකු දරුවෝ...." පි‍ටුපසින් ඇහුනු හඬකින් මා පි‍ටුපස බැලුනේ ඉබේටම .

"ආ..මාමා..කොහොමද..?" මම ඇහුවා.

"අර යන්තරේ ජීවං කරල ඇත්තෙ වෙලාවක ඇවිත් අරන් යන්න."

"හා.. මාම..මම වෙලාවක එන්නම්"

 මම එතුමන්ගෙන් සමුගෙන මගේ ගමන පිටත් උනා....
මීට සති කීපයකට උඩදී හමුවූ වෙලාවක පැවසූවේ, තමන් රත්නමාලී ගථාව තඹ පත්වල පිටපත්කර ජීවංකරන බවත් මෙය ඉතා බලගතු යන්ත්‍රයක් බවත්ය. මා ඉන් එක් පිටපතක් ගන්නා බවට පොරොන්දු වූ බව මතක් වුනේ මෙතුමන්ගේ හමුවීමෙනි.

ගමේ කවුරුත් "පීරගම මාමා" ලෙස හැඳුන්වූවත් සැබෑ නම කුමක්දැයි මා මෙන්ම බොහෝ අය දැන සිටියේ නැහැ.මගේ ගමට ටිකක් දුර ගමක්වූ පීරගම ප්‍රදේශයෙන් පැමිණ විවාහයක් කරගෙන මේ ගමේම බින්නබැස්ස නිසා ඔහුගේ ඇඹේණියද "පීරගම නැන්දා" උනා.

 පීරගම මාමා ගමේ විශේෂ පුද්ගලයෙක් හා කාටත් අත්‍යාවශ්ය වන පුද්ගලයෙක් වුනා. ඒ එතුමාට තිබුනු විශේෂ හැකියාවක් නිසා.

ගමේ පිරිත් ගෙයක් තිබුනානම් ප්‍රධානත්වය හිමිවන්නේ එතුමාට. ඒ ඔහුට පිරිත් දේශනා කිරීමේ ඇති විශේෂ හැකියාව නිසා.ඒ වගේම එතුමා වටා,පිරිසක් හිටියා පිරිත් දේශනා කිරීම සඳහා සහභාගීවන. අප ගමේ පමනක් නොවේ කිට්‍ටුව ඇති ගමක උවත් යම් ගෙදරකට ගිහි පිරිතක් පවත්වන්නට උවමනා නම් මුලින්ම හමුවන්නේ පීරගම මාමාවයි. ඒතරම් මේ කටයුත්ත සඳහා එතුමා ප්‍රසිද්ධ වෙලා තිබුනා.

පිරිත් දේශනාකිරීමට පැමිනෙන ඇත්තන් බොහෝ විට ඒ සඳහා සහභාගී වන්නේ එයින් තමාට ලැබෙන පිනත්,හිතට ඇතිවන තෘප්තියත් සලකාගෙනයි. ඒ නිසා බොහෝ ගෙවල් වලින් උත්සාහ ගන්නේ පිරිත් කීමට පැමිනෙන ඇත්තන්ට හැකි උපරිම අයුරින්,හොඳින් සංග්‍රහ කිරීමටයි.පිරිත් කියන අය බොහෝ විට එම ගෙදරට පැමිනෙන්නේ රත්‍රී 7න් පසුවයි. ඒ නිසා ඔවුන්ට රාත්‍රී අහාරය එම නිවසින් පිරිනැමේ.

 සමහර මිලමුදල් යහමින් ඇත්තෝ මෙම ආහාර වේලට මාංශ ද එකතු කරගෙන, පිරිත් පැත්තක තබා..හොඳහැටි බැනුම් අහගත්වාර ඇතිබව ගමේ බොහෝ ඇත්තන් දනී. නැවත ව්‍යංජන පිලියෙල කිරීමට ගෙදර ඇත්තන්ට සිදුවන්නේ උම්බලකඩවත් නොදමාය. ඒ පීරගම මාමාගේ හැටිය. 

පිරිත්කීම අවසන්වන පසුදා සියලුදෙනාටම යම් ත්‍යාගයක් නිවසින් පිරිනැමේ.එහෙත් ඒසඳහා අඩුමිල සරමක් හෝ ඇඳ ඇතිරිල්ලක් වැනි දෙයකට එහා ගියා දෙයක් කීයටවත් දෙන්නට දෙන්නේ පීරගම මාමානම් නොවේ. හේතුව මෙලෙස එතුමා කියයි..

"ලොකු දරුවෝ...සල්ලි තියෙන මිනිස්සු..හොඳ..හොඳ.. තෑගි දුන්නම , ගෝලයො ටික හැම තැනදිම එහෙම බලාපොරොත්තුවෙනව...ඒ පාර සල්ලිය බාගේ නැති ඇත්තන්ට පිරිතක් කියන්න ලැබෙන්නෑ..! ඒ නිසා මේ යන විදිය හොඳා..!"

තවත් මෙතුමාගේ විශේෂ දක්ෂතාවයක් තිබුනා. ඒ පොඩි අයට හැදෙන උන රෝග , බඩේ අමාරු වැනිදේට සිදුකරන තෙල් මැතිරීමත්, බොහෝ අයට සිදුකරන දෙහි කැපීමත්, යන කාරනාවලට.එමෙන්ම ජීවං කරන ලද යන්ත්‍ර දැමීමට.

මේ කාලයේ නම් අඩි 100න් 100ට ඇති තරම්  ඩිස්පැන්සරි තිබුනත්..මීට අවුරුදු 20කට පෙර එසේ නොවේ. රජයේ රෝහල පමනක් පිහිටට තිබුනු නිසා උන වැනි රෝගයක් සතියක් වැනි කාලයක් සුවනොවී තිබීමත්, වරින් වර නිතර උන,හෙම්බිරිස්සාව හැදේනම් බොහෝවිට කලේ පීරගම මාමා කැඳවා පිරිත් බලයෙන් සිදුකරන තෙල් මැතිරීමයි.මේ කටයුත්ත අනිවාර්‍යයෙන්ම ගමේ ඕනෑම නිවසක සිදුකරන දෙයකි.

කුඩා කල මාද මේ අත්දැකීම සුලභව අත්දැක ඇත්තෙමි.මා පමනක් නොවේ මාගේ සහෝදරියටත්, සහෝදරයාටත්  යම්,යම් අසනීපවලදී මෙලෙස තෙල් මැතිරීම කරනු අත්දැක ඇත්තෙමි.
කෑම මේසවලට තියනප්‍රමානයේ පු‍ටුවක පිරිසිදු කෙසෙල් කොලකෑල්ලක් තබා ඒමත පුවක් මලක්,විවිධ පැහැති මල් ,පොල්තෙල් පහනක්,හඳුන් කූරු මිටියක්, පීරිසි ත‍ටුවට ගත් පොල්තෙල් ටිකක් යනාදී වශයෙන් අඩුම කුඩුම රාශියක් තබනු ලැබේ.

 අනතුරුව අමු කහ කැබැල්ලක් කුඩාවට ලියා පොල්තෙල් ඇති පීරිසි ත‍ටුවට දමනු ලැබේ. සියල්ල සූදානම්ය.පීරගම මාමා  පැමිනෙන්නේ සුදුවතින් සැරසීය. වතුර භාජනයකට කහ කොල කැබැල්ලක් දමා කවලම් කර..ඒ ජලයෙන් මුහුනකට සෝදා ගනී. 

පන්සිල් සමාදම් වීමෙන් අනතුරුව, අමු ඉර‍ටු කැබැල්ලකින් පීරිසි ත‍ටුව තුල ඇති දෑ කවලම් කරමින් ඔහුගේ පිරිත් සජ්ජායනාව පටන් ගනී...මධ්‍යම රාත්‍රිය තෙක්  එකම ආකාරයෙන් සජ්ජායනා කෙරෙනා මේ පිරිත් අසා සිටිනා අපට ලැබෙන මානසික සුවයනම් කිසිදිනක වචනයෙන්  විස්තර කරන්නට සිංහල හෝඩියේ  වචන මදිය. සමහර වෙලාවට පිරිත් අහවර වෙනකොට ලෙඩෙත් අහවර වෙලාය.
අපේ නිවසේ මෙවන් කටයුත්තක් අවසානයේ මාගේ පියා විසින් අතමිට මොලවන මුදල කිසි දිනක මෙතුමා ගත්තේ නැත.

"මම කොහොමෙයි බාසුන්නැහැගෙන් සල්ලිගන්නේ..!" යනුවෙන් පවසා හිමීට කන්ද බැස නොපෙනී යන්නේ අම්මා සාදා දුන් තේ කෝප්පයෙන් අඩක් පානය කල පසුවය. 

එහෙත් අම්මා පසුදිනම හාල්තුනපහ ‍රැගෙන පීරගම මාමාගේ නිවස වෙත යන්නේ ඔවුන් අමාරුවෙන් ජීවත් වන ඇත්තන් වන නිසාමයි.

මාකුඩා කල ඔවුන් විසුවේ ප්‍රධාන පාර අභියස උවත් තමන්ගේ ලොකු පුත්‍රයාට එම නිවස පරිත්‍යාග කොට එතුමන් තම හාමිනේ සමග  ටිකක් ඈතට වන්නට පිහිටි ඉඩමක ඉදිකල ක‍ටුමැටි නිවසක පදිංචියට ගියහ. 

එම නිවස ක‍ටුමැට්ටෙන් එහාට ගියේ නැත්තේ මුදල් හදල් අතමිට නැතිවූ නිසාම නොවේ...ඒ ලැබෙන කිසියම් වූ මුදලක්  වෙතොත් එය තමන්ගේ හිතවත් පන්සලක් වෙත යම්කිසි කටයුත්තක් සඳහා පරිත්‍යාග කිරීමට තරම් නිර්ලෝභී වුන නිසාමයි.එම නිවසේ තිබුනේ වැල් කැඩීගිය පු‍ටු කීපයකුත්..පරනවූ මේසයකුත් පමනි.ඔහු නිදාගත්තේ ගෙයට ආඳා වහලය දික්කර කනු දෙකක් මත ‍රැඳවූ..අගුවේ නොහොත් ඉස්තෝප්පුවෙ වු පැරණි ඇඳකය.  එම ගෙට තිබුනේ සාලයත්,කාමරයක් පමනි.
එහි සාලයේ අඩි 3ක් පමන වූ බුදු පිලිමයක් මේසයක් මත තබා වැඳුම් පිදුම් කලේය.

මෙතුමත් මාත් අතර මිතුදම ගොඩ නැගෙන්නේ මාගේ වෘත්තීය ජීවිතය නිසාය. 
බොහෝ වෙලාවට ඕනෑම කෙනෙක් ගෙයක් අත්තිවාරම් දමන දිනයේ උදේ පිරිත් කියා තෙරුවන් සිහිකර මේ සුභ  කටයුත්ත පටන් ගනී . ඒසඳහා බොහෝවෙලාවට පීරගම මාමා ඇතුලු පිරිසක් පැමිනෙන අතර...දිගින් දිගට හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස අප අතර මිතුදම ගොඩ නැගිනි. 

මා,මා හට ආවේනික ලෙසත්, ඉපැරණි වාස්තුවිද්‍යානුකූලවත් මේ කටයුතු කිරීම ගැන නිතරම එතුමා මා සමග ප්‍රශංසා ගුනයෙන් කතා කලා මතකය.එහි ප්‍රතිඵලයක් ලෙස මාහට මාගේ වෘත්තීය ජීවිතය සරුවන්නට කියා ස්වර්ණමාලී ගාථා තඹ පත් වල ලියා ජීවං කොට ලබා දුනි. එය මාගේ කාර්‍යාලයේ තවමත් මා වැදුම් පිදුම්කරන බුදුපිලිමය අසල තබා ඇත්තෙමි.

තමන්ගේ වියදමින් මදක් කැලයට වන්නට ඇති ආරන්‍යක් සදහා   ගොඩනැගිලි,කුටි ආදිය ඉදිකර දී තිබුනි. ගමේ පන්සල සමඟ එතරම් සම්භන්ධයක් නොතිබු අතර ඊට හේතු වූ කාරනා කුමක් උවත් අප කුඩා කාලයේ පොහෝ දිනට පන්සියපනස් ජාතකකථා පොත්වහන්සේ  පෙරලාගෙන සියලු උපාසක ඇත්තන්ට ධර්මය දේශණා කල අයුරු මට තාමත් මතකය.

මෙලෙසසිටි මෙතුමාගේ ජීවිතය පෙරලීමට ලක්වූයේ මේ මෑතකය.

කාලයක් තිස්සේ රාත්‍රියට නිදිවැරීම නිසා මෙතුමාට සෙම් අමාරුව දැඩිව බලපා තිබුනි. බොහෝ වෙලාවට සෙමට පානයකරන බෙහෙත් අත‍රැඳි ගමන් මල්ලේ තිබුනි.නමුත් වයසත් සමග මේ අසනීපය සුව නොවුනත් පානය කල බෙහෙත් නිසා...තට්ටම් ප්‍රදේශයේ ගෙඩිහට ගැනුනි. මෙය එතුමාට දැඩි වේදනාගෙනදෙන්නක් වු අතර මේ නිසාම නිදිවරන පිරිත් ගෙවල්වලට සහභාගීවීම නවතා තිබුනි..!


මීට අවුරුද්දකට ,දෙකකට පෙර අපට ලැබුනු අප්‍රසන්න ආරංචිය වූයේ පීරගම මාමා මත්පැන් වලට ඇබ්බැහි වී ඇති වගයි..!

හිතා ගන්නත් බැරිය. අපට අවවාද අනුසාසනා දුන් මෙතුමා...මෙලෙස වූයේ කෙසේද..?

"අන්න බං පීරගම මාමා වත්තට යන පාරෙ බෝක්කුවෙ පල්ලේ වැටිලා කනපැලෙන්න බීල..!" බොහෝ දවස් වල කොල්ලෙක්ගෙන් ලැබෙන ආරංචිය වූයේ එයයි.

ගමේ බොහෝ අය පවසන්නට වූයේ අපූරු කතාවකි. එනම්  පලාතේ ජනප්‍රිය වෙදැදුරු වරයකු පැවසූයැයි කියා දිනකට අරක්කු වීදුරු බාගයක් කෑමට පෙර බීමට පටන්ගත්තේලු එවිට..සෙම අඩුවන බවකීවා.... යනුවෙන් පවසා සුලුවෙන් පටන් ගත් බීමඔහුට නොදැනීම බෝතල් භාගයක් දක්වා වැඩිවී..අනතුරුව කානුපල්ලේ වැටෙන තරමට මොහු අගාධයට වැටී ඇති බවය..

අහෝ ඛේදවාචයක තරම ...අන්තිමට අතේ මිටේ මුදල් නැති වූ විට හොර පොට් එකකින් කෂියා ෂොට් එකක් දාගෙන කානුවක් පල්ලේ වැටී කාගේ හෝ කර මතින් ගෙදරට යාමයි..!

මෙය අදහාගත නොහැකිව මා සමග මිතුරන් කීවේ  මෙය නම් වස්වැදීමක් විය හැකි බවයි..! 

පසු කාලිනව ඔහුගේ පුතාට මෙයට පිලියමක් නොවූ කල හැමදාම ගල් අරක්කු භාගයක් ගෙදරට යැවීම කලේලු.ඉන්පසුව  ඔහු පාඩුවේ නිවසට වී සිටියේය.

ගමේ මිනිසුන්ට ඔහු අමතක වුනා...ඔහුගේ හොඳ පැත්ත වසාගෙන නරක පැත්ත මතු උනා..! කෙනෙක් පාරේදි හමු උනත් අහකබලාගෙන ගියා. ගමේ ප්‍රභූ පිලිගැනීමක් ඇත්තකුට අන්තිමට කිසිම පිලිගැනීමක් නැති උනා.

කාලය ගෙවී ගියා..................!

මෙයට මාස ගනනකට කලින් ඔහු අභාවප්‍රාප්ත වුනා..!

කනගා‍ටුවට කරුන වන්නේ එතුමා වෙනුවෙන් දුක් වන්නට කිසිම කෙනෙකු නොමැති වීමයි. මලගෙදරට පවා බොහෝඅය නෑවිත් බැරි කමට ඇවිත් ගොස් තිබුනේලු. අවසන් කටයුතු සිදුකරන දිනයේ සිටියේ අතේ අඟිලිගනනට ආසන්න ගනනක්. එතුමා පිහිට වූ ආරන්‍යසේනාසනයේ සංඝරත්නය ඇරුනාම හාමුදුරුවරුන්ද හිටියේ අඩුවෙන්.

මීට කාලයකට ඉස්සර ගමේම මිනිසුන්ට පිහිටවු, මුදල් මතම නැතිව සෙත්සාන්ති කටයුතු ඉ‍ටුකරපු මෙතුමාගේ වර්තමානය ගැන පමනක් හිතේ තබාගෙන මිනිසුන් කෙලෙහි ගුනය සලකාපු හැටිදමේ..??
මෙර කාරනය මගේ හිතේ වද දෙන කාරනයක් උනා.. ඇයි ..මිනිසුන්  ඒතරම් මිය ගිය කෙනෙක් ප්‍රතික්ෂේපකලේ...! ඇත්ත........ ජීවන මගේ අන්තිම කාලෙ චර්‍යාව හොඳනෑ තමයි...ඒත් මිනිස්සු එහෙම කරන ඒක හරිද..............? අනේ මන්දා..........!!!

උදේ හවස බුදුන් වඳින  වාරයක් පාසා එතුමාදීපු ස්වර්ණමාලි තඹපත දකින දකින වාරයක් පාසා මතක් වෙන්නේ ..ඔහුට එහෙම උනේ කොහොමද කියායි..!!!



පින්තූරෙ මෙතනින්,


ප/ලි.- මේ ලියමන මෙතුමාට අගෞරවක් කිරීම සඳහා නොවන බව කරුනාවෙන් සලකන්න.
(නම් ගම් මනංකල්පිතයි. සත්‍යකතාවකි)





Sunday, August 19, 2012

හිත රිදුනු වැහිබර දවසක්.....!



පාළු  අහසම අඳුරු    වෙනවා
පවන රළුවී වියරු     වෙනවා
අඳුරු කුටියම නිසල   වෙනවා
නුඹේ සෙනෙහස මතක් වෙනවා

රුවන් පැහැයට නුඹව දිලෙනා
සිනිඳු ලෙස සිප ගන්න සිතුනා
දෝරගලනා සෙනෙහෙ  පතුරා
නුඹව තුරුලට ගනිමි සැනෙනා

සෝ තැවුල් සිත වෙලා ගැනෙනා
කොතෙක් තිබුනද මසිත   අසුරා
නුඹේ සියුමැලි මුවින්    පිදෙනා
සිනිඳු සීතල හදට       දැනුනා
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*
*




කොහොම තවරා කෙලෙස ලැබුනත්
පැණිරසක් නම් නැතේ    කිසිවක්
දිවට අපුලක් නමුදු       දැනුනත්
නුඹව නැති කල නැතේ    පිහිටක්

‍රැය පහන්වනු හිතට නොදැනේ
කඳුලු සඟවා බමණ    මතුවේ
සවි ගතේ වාරුවත්    නැතිවේ
අහස පොලවද කියා නොදැනේ

නොදු‍ටු සැනසුම සොයා යනවා
එයින් සිතිවිලි විකල්   වෙනවා
විකල් සිතිවිලි නිසල    වෙනවා
නිසල සිතිවිලි සසල    වෙනවා



උඩම පින්තූරය මෙතැනින්....cindrellaforever.blogs...
ඊ ලඟ එක මෙතැනින්....murraymitchell.com







Wednesday, August 1, 2012

මහ සෙනඟක් ඉදිරිපිට පාපැදියෙන් ඇදගෙනවැ‍ටුනෙමි...!





මේ සිදුවීම අවුරුදු බොහෝ ගනණකට පෙරසිදුවූවකි. එකල අපි දහම්පාසල් යන සිසුවෝ වූහ. පාසලේ උසස්පෙල සිසුන් වූ නිසාම දහම් පාසලේ සිටි ජේෂ්ඨ  සිසුන් වූයේද අපියි.  දහම් පාසල තිබුනේ අපේ ගමේ විහාරස්ථානයේය. කන්දක් උඩ පිහිටි නමුත් ප්‍රධාන පාරට මුහුනලා තිබුන නිසාත්, පලාතේ ජනප්‍රිය දහම් පාසලක් වුන නිසාත් වටේ පිටේ ගම් වලින් බොහෝ ලමයින් පිරිසක් මෙහි පැමිනෙති.


අපනම් බොහෝ වෙලාවට උදෙන්ම යන්නේ..කුමක් හෝ ක්‍රීඩාවක් කිරීම සඳහායි.තරුණ වියේ සිටියත් අපි ඒදිනවල ප්‍රධාන තැන දුන්නේ ක්‍රීඩාවටයි. අපේ ප්‍රදේශයට ක්‍රීඩාපිටියක් නොතිබුන නිසාත් ,පන්සලේ පහල මිදුල තරමක් විශාලව තිබුන නිසාත් ක්‍රීඩා කිරීමට සීමිත ඉඩකඩක් තිබුනි.


එහෙත් ඒ ක්‍රීඩාකිරීම මහාඅවුල් ජාලයක් වන අවස්තාද නැත්තේ නොවේ.දහම්පාසලේ ප්‍රධානාචාර්‍යතුමා පොඩි හාමුදුරුවන්ය. එහෙත්  උන්වහන්සේ අපට කිසිබාධාවක් නොකලත් ලොකු හාමුදුරුවන් එසේ නොවේ .ඉතාධර්මධර ,විනය ධර හිමිනමක් වූ උන්වහන්සේට ලමයි කෑකෝගසමින් සෙල්ලම් කිරීමතරම්,කෝපගන්වන දෙයක් නැතිතරම්ය. ඒඅස්සේ ටෙනිස් බෝලයක් බුදුගෙයි බිත්තියේ හෝ වීදුරුවේ "දඩෝං" ගා වැදුනොත් අබ සරනය. තත්පරයෙන් ලොකුහාමුදුරුවන් කාමරය අතුගාන කොස්සද ‍රැගෙන  කොහෙන් හෝ මතුවේ..! අසු උන එකාට කොසුපහර ලැබේ. පිති,බෝල.විකට්කූරු, උන්වහන්සේගේ සන්තකයට ගනී. ක්‍රීඩාව එදිනට ඉවරය.බොහෝ වෙලාවට අපි මෙවැනි දෙයක් සිදුවුවහොත් මුලින්ම මාරුවීයන්නේ සැමදා දැකපුරුදුනිසාත් කොසුපහර කෑමට සුදුසු වයසක අපසිටිනිසාත්ය.


ඊටඅතර අමතර කතාවක් ඇත,
ක්‍රිකට් වලට අමතරව, ගස්කො‍ටු යනුවෙන් ජනප්‍රිය ක්‍රීඩාවක් තිබුනි.දැන් පොඩි ඈයෝදන්නවාද නොදනිමි. මෙය සිදුවන්නේ ගස් දෙකක් අතර පිහිටි ඉඩකඩකය.ගස් දෙක එකකෙලින්ද,අඩි 150ක පමන දුරකින්ද තිබිය යුතුය. පිල් දෙකකට බෙදුනු පසු එක් පිලකට 10ක් වත් සිටිය යුතුය. සියල්ලෝ තමන්ට නියමිත ගසවටා අල්ලාගෙන සිටියයුතුය. ඉන් එක් අයකු මැද්දට පැමින අනෙක් පිලට පේන්න ,චක්ගුඩු සෙල්ලමේමෙන් එහාට මෙහාට පනී,එහා පැත්තේ එකකු පැමින ඔහුට පහරක් එල්ලකලහොත් ඔහු දැවී යයි. එවිට විරුද්ද පැත්තට ගෙනගොස් පෝලින් ගස්සවා සිටිනු ලැබේ. තමන්ගේ පිලේ අයකු පැමින පහරක් ගසා බේරාගතයුතුය.මෙයට කියන්නේ "අඩි" ගසනවා කියාය. අනිත් පැත්තේ කෙනෙකු දවාගන්නෙත් අඩි ගසාය. එක පැත්තක දවාගත්පිරිස විශාල වූවිට ප්‍රවෙශම් කරගැනීමත් අමාරුය.එකා,එකා, අතින් අල්ලාගෙන දිගට ඇදී සිටින විට අනෙක් පැත්තට කිට්‍ටුය. ඉතාම සතුටින් නැරඹිය හැකි නරඹන්නන්ට අත්පොඩිගසමින් නැරඹිය හැකි ක්‍රීඩාවකි.


තරුණ වයසේ සිටි අපට ප්‍රේම කතා පුරන්නට දහම් පාසල තරම් තැනක් තවත් නැත.විවිධ පාසල්වලට යන ගැහැණු ලමයි..බොහෝ පිරිසක්මෙහි සිටින නිසා අපේ කොල්ලන් පැණිඇඹලයන් මෙන් හැසිරෙති. මේ සිද්ධියට සම්භන්ධ වන්නේ මගේ ගජයකු වන චමින්දයි. ඒ කාලයේ සිටම පැනියකු වු මොහුට අනඟබැලුම් දාන ගැහැණුලමයකු පහල පන්තියක සිටියාය. එහෙන්,මෙහෙන් නෙතඟ බැලුම් හෙලුවත් ඇයසමඟ කතාකිරීමට  අවස්තාවක් දහම් පාසලතුලදී ලබාගත නොහැකිව චමින්ද සිටියේ කනස්සල්ලෙනි. මේ කාලයට මිතුරන් වෙනුවෙන් මෙවැනි උදව් කිරීමට පන ඇරගෙන සිටි මගෙන් ඌ උදව්වක් ලෙස ඉල්ලුවේ දහම්පාසල ඇරුනාම දෙදෙනාත් එක්ක ගෑනුලමයාට ෆලෝපාරක් දෙමුයි කියාය.දහම් පාසලේ සිට නගරයට බස් හෝලට් තුනක් හතරක් තිබෙන නිසා කිසිවෙකු බසයක නොගොස් පා ගමනින්ම යන්නේ විනෝදයටය. චමින්දයා මගෙන් උදව් ඉල්ලුවේ මගේ පියාගෙන් මට ලැබුන අලුත්ම අලුත්.."බෙන්ස්" එක නිසාය.එයනම් අලුත් පාපැදියකි.ඒ කාලයේ අපට නම් පාපැදියක් යනු බෙන්ස් රථයක් තරම් වටින්නේමය.



පාසල අවසන් වුනි. ගැහැනු ලමයින්පිරිස ගියපසු මාව ඉස්සරහ හිඳවාගෙන චමින්දයා බය්සිකලය පැදගෙන යයි. ලමයි ටික පාරේ එකපැත්තකය.අපි අනෙක් පැත්තේය. ඔවුන් යන ගානට අපිත් යන්නෙමු.
මලසමයන් පාර දිගේය.චමින්දයා..බයිසිකලය පදිනගමන් හිනාවේ. රහසින් ඉඟිඹිඟි පා යමක් කියයි,එහා පැත්තේ ගැහැණු ලමයි ටික හිකි..හිකි...ගාමින් හිනාවෙති..කෝලම් ගුලාවකි. මම ඉතිං ඇඹරි ,ඇඹරි බයිසිකලයේ පොල්ල උඩය.එයාකාරයෙන්,මෙයාකාරයෙන් නගරයට ගියා කියමුකො. නගරය කෙලවර තුන්මං හන්දියකි.පන්සල,රෝහල ,පාසල පිහිටි ජනාකීර්ණ මං සන්දියකි.ගැහැණු ලමයින්ට ඉදිරියෙන් ගිය අපි එක සැරේටම වටරවුමක් ගසා..ආපසු හරවන්නට ගියෙමු. 




අහෝ....!අභාග්‍යක තරම...???
දඩාං........!!!
බයිසිකලය අනිත් පැත්තට මහ සෙනඟ මැද්දේ ඇදවැ‍ටුනි..! සායම ඉවරය.වටේ පිටේ සිටියවුන් කට අතකින් වසාගෙන හිනාවෙති.ඒ මදිවාට මගේ කකුලක් උඩට වැ‍ටුනු බයිසිකලය නිසා නැගිටගැනීමටත් බැරිය. හතර විලිලැජ්ජාවය..! ඒ මදිවාට මාවදමාගෙන බයිසිකලෙන් ආපු එකාත් නැත. කොහේදෝ සිට ආ මාමා කෙනෙක් බයිසිකලය ඔසවා මා නැගිටවාලූවේය.එවිටයි මා දැක්කේ, චමින්දයා මාත් එක්ක ආවේ නැහැ වගේ පාරේ කොනකට වී සෙස්සන් සමඟ සිනහ වෙමින් සිටී...####%%&*$@%^&*  රටේම කුනුහරප මතක් උනි..!
මම කොරගගහා අමාරුවෙන් අයිනකට වී බයිසිකලයට කුමක්දැයි බැලුවෙමි..!


"අයියට  ගොඩක් අමාරුද..?" මිහිරි හඬක් ඇසී මා පසුපස බැලුනේ ඉබේටමය.
මලා අර නංගිලා ටික.....සරුවාන්ගෙම..කූල් වී ගියේය.
"හරිශෝක් යාලුවෙක් නේද ...?" මම ඇගේ සිරියාවන්ත මුහුන දෙස මුව අයාගෙන බලාසිටියෙමි.ඊලඟට යෙහෙලියක් කතාකලාය.
"ඕ ගොල්ලො වැ‍ටුනම අර අය්ය බයිසිකලේ අතෑරලා..දිව්වා..පස්සෙ පැත්තකට වෙලා බලා හිටිය..!" මැදැයි කොලා නංගිලා ටික ඔක්කොම විස්තරය දෙන්නේය.
"ආනේ අය්යෙ ඔන්න ඔයාගෙ කකුලෙ දනපොල්කට්ටෙන් ලේ එනව.." අරූගෙ පැණි නගා කියයි.
මොන....මගේ මුලු සරුවාන්ගෙම හිරිවැටිලාය.කකුලක් නැති උනත් නොදැනේ..! ඒ මදිවට ලැජ්ජාවෙ පනයන වැඩේ පාරෙ යන ඈයොත් යන ගමන් මේ මොකක්දැයි එබීබලන එකයි.
"ඒ...****ඔයාගේ ලේන්සුව දෙන්නකො..! ලේ පිහිදාගන්න..!" තවත් එකියක යෝජනාකරයි.
"ඉන්න මං දෙන්නම්"...චමින්දයාගේ  ට්‍රයි එක පැනලා ලේන්සුව දීපි. මලා දැන් මොකක්ද කරන්නෙ..? ගන්නවද ,නැත්ද..? මම අරූ ඉන්නවාදැයි බැලීමි.වෙළඳ සැලකට මුවාවී  ඔහුහිඳී.
"ආ...ආ..ගන්න..!ගන්න..කමක් නෑ..!" ඇය බලෙන්ම දුන්නාය. ඒත් මම අතට ගත්තත් කකුල පිසදාගන්නමොකක්ද වගේ..? මම ආපසු දුන්නෙමි. ඇය ගත්තේ නැත.
"අපි යනවා..පරිස්සමින් යන්න අය්යේ." නංගිලාගේ ඔවදනකි.


මම ඒ සුනංගුවේම සයිකලයට නැගී පිටත් උනෙමි.කකුලට සුලු තුවාලයකි.ගානක්වත් නැත.පැය භාගයක් ගියේ නැත..
"ඒ වීයෝ...වීයෝ..." චමින්දයා....ඇවිත්..!
"බලු වැඩ කරන්න එපා යකෝ.." මගේ කේන්තිය වචන වලට පෙරලුවෙමි.
"නෑ බං...! මේ...මේ.."
"අනේ පලයන් යන්න...හරි උඹ දැන් ආවේ...?"
"ගනන් ගන්න එපා බං..සුලු දෙයක්නේ...!"
"සුලු දෙයක්...? මෙන්න බලපන්..සුලුදෙය උඹේ ට්‍රයි එක ලේන්සුවත් දීලයි ගියේ..."
"ඈ ...ඇත්තද බං...මොනවද කිව්වෙ..මාවත් දැකලද...?"
"අ ඒක තමයි උඹ පැනල ගියේ....නේද..? අන්න උඹට බැන්න පලු යන්න..!"
"ෂික් අපරාදෙ.....!" චමියා පරල විය..



ඉරිදාවක්...පසු වී තවත් ඉරිදාවක් අවේය..මම කිසිවක් නොවූ ලෙස දහම්පාසලට ගියෙමි.අනික මට එය ටිකක් අමතක වීගියේය. පන්තියට ඇතුලු වුවා පමනි..!
"ස්...ස්..ස්ස්...!"
අර නංගිලා ටික..!චමියා තවම ඇවිත් තිබුනේ නැත..! මමඔවුන් දෙසට ගියේ ඇඹරෙමිනි.
"අපි තුවාල හොඳද බලන්න ආවේ..!"
නෑ එච්චර තුවාල වෙලා තිබුනෙ නැහැ..
"කෝ..මගේ ලේනසුව...?" 
හුටා...බොලේ  ..මතක නැති උනානෙ...කොහේ දැම්මද..? මතකත් නැත.
"කමක් නෑ..ඒවෙනුවට..වෙන එකක් ඕන හොඳේ..."
ඈ...!!!! මේ මොකක්ද ..වෙන්න යන්නෙ. 
බලමු..! කියා මම ශේප් වී ගියෙමි.
පසුව කිහිප වතාවක්..ඇය ..යෙහෙලියන් සමඟ මා හමුවීමට පැමිනියා මතකය..ඇයද..සියල්ල මට පැවසුවේ විහිලුවෙනි..! එහෙත් ඒ විහිලුව මට ඇල්ලුවේ නැත. මා ඉන්පසු ඇය දු‍ටුගමන්ම මාරුවී ගියෙමි.
කාලය ගෙවී ගියේය......!
අපි දහම් පාසලේ විවිධප්‍රසන්ග ආදිය එකට ඒකතු වී කලෙමු..අපි හොඳ යහලුවන් වී සිටියෙමු. ටික කාලයකින් ඔවුන්ද..අපිද ..එතැනින් සමුගත්තෙමු.
යලිත් බොහෝ කාලය ගෙවීගියේය. දිනකදී..ගාල්ලේදී ඇය හමුවිය.හෙදි සොයුරියක්ලෙස ඇය පුහුනුවෙමින් සිටියාය.මා ඇයට සුබපතා සමුගත්තෙමි. දැන් ඇය කොහේ..සිටිනවාදැයිනොදනිමි.


ප/ලි......මෙය ලියන්නට හේතුවූයේ අද පොහොය දින පන්සලට ගියවිට දු‍ටු දෙයකිනි.එනම් අපි ඒ දිනවල ගස්කො‍ටු ගහපු ගස් දෙකින් ඉතුරු වී තිබූ අනෙක් ගසද අලුතින් පන්සලට පැමිනි විහාරාධිපති හිමියන් විසින් කපාදමා ගල්වැටියක් ඉදිකොට ඉහල මිදුලටම ගෙන ඇත.අනික් ගස මීට කාලයකට පෙර පෙරපාසල් ගොඩනැගිල්ලක් හැදීමට කපා තිබුනි.
මේ සෙල්ලම ගොඩක් ඈයෝ දන්නවනම් විස්තර කරාට සමාකරත්වා...!
පින්තූර ගූගල් වෙතිනි.

Monday, July 23, 2012

රූපවාහිනියේ මුතුහරට ගිය පුංචි අපි..!






වේගයෙන් හරිම හදිස්සියෙන් යන බස් එකේ පැතිවීදුරුවෙන් එන සීතල හුලඟට මාව ඇහැරුනා.දිග සීට් එකේ අපි තුන්දෙනෙක් ඉන්නව. කොනේම ජනක,ඊලඟට මම,මට එහාපැත්තෙ පුන්චි මල්ලියෙක් හිටිය අපිට වඩා බාල මටනම මතක නැහැ, හොඳටම නින්ද ගිහිල්ල ඔලුව මගේ පිටට හේත්තුවෙලා ඒත් ගානක් නෑ.මටත් හොඳටම නින්ද ගිහිල්ල තිබුනෙ. කටේ කුනුකෙලත් එක්ක මම කට ඇරගෙන ජනේලෙන් එබෙන්න වගේ එලියෙ පේන සුරපුරයක් වගේ උසබිල්ඩින් ,නානාප්‍රකාර වාහන දිහෑ බලාගෙන යනව.ඔන්න එතකොට ජනකටත් ඇහෑරුනා.අත්දෙකෙන්ම මූන පොඩිකරල ඇස්වල කබකඩලා අලුත්ම කමීසෙ උලාගත්ත. ඒත් මට මොකෝ...එයත් මම වගේම කට ඇරගෙන වීදුරුවෙන් එලිය බලාගෙන යනව.වේගෙන් ගිය බස් එකේ ඉස්සරහ ඉඳල ගාමිණි අය්ය අමාරුවෙන් වැටි වැටි වගේ සීට්වල  හයිකරල තියෙන පොලු එකින් එක අල්ලගෙන ඇවිල්ල.
" මල්ලිල දැන් බහින තැන කිට්‍ටුයි බෑග් එහෙම ලෑස්තිකරගන්න". කියල බෙරිහන් දීලවගේ කිව්ව.
ජනේලෙන් ඈතබලාගෙන හිටපු අපිට  හරියට ඇහුනෙ නැහැ කියල තේරුනනිසා ,නැවතත් ඊටවඩා හය්යෙන් කීව එතකොට තමය් ගැස්සිල වගේ අපිට ඇහුනෙ.
උන්හිටිතැන් අමතක වෙලාවගේ අපි දඩිබිඩි ගාල අනික් සීට් වල හිටිය අයත් පෙරලගෙන පිටිපස්සෙ දොර‍ටුව ගාවට තල්ලුවෙලා වගේ ගියා. ඊටපස්සෙ අනික් අයත් ආව,
මහා බස් ගොඩකුයි..තවත් නම් නොදන්න වාහන කන්දරාවකුය්..ත්‍රීරෝද ගොඩකුය්.. එක හුස්මට නවත්තගෙන ඉන්න හංදියක් පහු උනගමන් අපි බස් එකෙන් බැස්ස. ගාමිනි අය්ය හැමෝගෙම මූනුවලට එබිලබලල ...
"හැමෝම ඉන්නවනෙ...දැන් අර අතන තියෙන හෝලට් එකට යන්" කියල කිව්ව.
අපිට ඒව ඇහුනෙ හීනෙන් වගේ...!
"මේ කොහෙද බං...."
ජනකය මගෙන් අහනව...
"දන්නෑ ..අර බෝඩ් එකේ බම්බලපිටිය කියල නම් ලියල තියෙනව"
ඔන්න එතකොටම මහ හය්යෙන් හෝන් ගහගෙන තරගයට වගේ බස් එකක් ආව.
"හා...හා ..ඉකමනට නගින්න.." 
අය්ය කියනව. ඒ බස් එකනම් අරවගේ නෑ හරිම නිවුන වගේ කලබලයක් නැතිව යනන ගත්ත.  තුම්මංහන්දි පහුකරල.., මහ දැවැන්ත රූස්ස ගස් යටින් යන්න පටන් ගත්ත..දැන් හරිම කුතුහලේ..!
"මේ කොහේද බං...! කැලේක යනව වගේනේ."
කකුල් දෙකෙන් පහත් වෙලා නැමිල වගේ වීදුරුවෙන් එලියෙ උඩ බලන ගමන් ජනක අහනව.
"කොලඹ කියන්නෙ කොන්ක්‍රීට් වනන්තරයක් කියල කව්ද බං කිව්වේ".
මමත් නිකං හෝන්දුමාන්දුවෙලා වගේමොනවහරි කියන්න  ඕන නිසා කියනව
"හා ලමයි ඔක්කොම බහින්න දැන්.."
ගාමිනි අය්යගෙ කටහඬ හරිම ප්‍රානවත්වෙලා..ඔන්න බස් එකෙන් බැහැල  ටික දුරක් ගිහිල්ල සෑහෙන ගේමක් දීල පාර මාරුවෙලා  ලොකු ගේට්‍ටුවක් ගාව නැවතුනා..එක දිගට විහිදුන තාප්පෙ ලස්සන චිත්‍ර ඇඳල තිබුන. ඊට පස්සෙ ගාමිනි අය්ය අපිව පැත්තකින් නවත්තල ලොකුගේට්‍ටුවෙ පැත්තක තිබුන පුන්චි කටක් වගේ කුඩා ගේට්‍ටුවෙන් ඇතුලු උනා. ටිකකින් ඔලුව දාල අපිට කතාකලා. හැමෝම බයවෙලා වගේ ගියා.සිකුරිටි අංකල් කෙනෙක් ඇවිල්ල හැමෝගෙම මූනදිහා බලාගෙන ගිහිල්ල පෝලිමට ඉන්න කිව්ව.ඊට පස්සෙ කොලයක ටයිප් කරපු නම් බලබලා..නම් අහල හරි දැම්මා..
දැන් යන්න... කීවගමන් අපි යන්න ගත්ත. ගාමිනි අය්ය ඉස්සරහම...ඊලඟට සඳමාලි,ලක්මාලි,ලසන්තා ,තවත් ගැහැනු ලමයි කීපදෙනෙක් සහ ජනක,අනිත් මල්ලිත් මමත්...එකා පසුපස එකා යනව..බිමට ගල්වගයක් අල්ලල දෙපැත්තෙ විවිධ මල් වර්ග හිටවලා,ලස්සනට කප්පාදුකරල. එකසැරයක් දැක්කම ආයිත් බලන්න තරම් ආසා හිතෙන වටපිටාවක්. පොඩි පඩිපේලියක් නැග්ගගමන් ලොකු වීදුරු දොරක් ගාව ආයිත් සිකුරිටි එක්කෙනෙක් , එත් අපි එයාගාවට ගියේ නෑ..ඊට ටිකක් එහායින් ඉන්න ලස්සන සීදේවි හිනාවකින් නිතරම මූන පුරෝගෙන ඉන්න අක්ක කෙනෙක් ගාවට ගියා එයා ලස්සනට හිනාවෙලා ආචාර කරල බොස්ගෙඩියක් වෙන්න ගැටගහල තියෙන කොන්ඩේ පේන්න ඔලුවපහත් කරල මේසෙ උඩතියෙන කොලයක් බලල..දුරකතනය ඔබන ගමන් අපිට ලොකු සෝපාවක් පෙන්නල වාඩිවෙන්න කීව. අපි හොල්මන් වෙලාබලාඉන්නව...
ටිකකින් ඉබේම වගේ වාඩිඋනා අම්මෝ බුරිය ගාවටම එරිච්ච නිසා ගෑනු ලමයි ටික ලැජ්ජාවෙන් ගවුම් හද..හද වාඩි උනාට වඩා ඉක්මනින්නැගිට්ට.
ටික වෙලාවක් ගෙවිල ගියා..හැම තැනමබිත්තිවල ටී.වී හයි කරල..හැම එකකම එකම වැඩසටහන යනව අපිකට ඇරගෙන බලාඉන්නව...දැන් උදේ 9ත් පහුවෙලා කිසිකෙනෙකුට බඩගින්නක්වත් නෑ.ඔහේ බලාඉන්නව.
මෙන්න එත්කොට අපිට දැකල පුරුදු මූනු එහා මෙහා යනව...එකෙක්කෙනා, එක..එක අයව අඳුරගෙන මමත් අඳුර ගත්තා එක්කෙනෙක්.."පරාක්‍රම නිරිඇල්ල මහත්මයා" බොහොම සන්සුන් ගමනින් අපිව පියමංකරගෙන යනව ඇරිච්චකට වහගන්න අමතකවෙලා වගේ මමබලාගෙන ඉන්නකොට කව්ද ..සීදේවි නැන්දා කෙනෙක් ඇවිල්ල අපිව කාමරයකට එක්කගිහින් අපිට වඩා වැඩිමහල් අය්යල අක්කල ටිකකට බාරදුන්න. එක්කෙනෙකුට එක්කෙනෙක් වගේ ඇවිල්ල අපිව සම්මුඛපරීක්ෂනයකට ලක්කලා. ඒගොල්ලො හරි ආඩම්බරකාරයො කියල හිතුවත් එහෙම උනත් ඒගොල්ලො අපේ හිතේ තිබ්බ බය නැතිකලා.
ජනකට තිබුනෙ චිත්‍රයක් නිර්මාණය කරන්න.සඳමාලි ඇතුලු පිරිසට භක්තිගීතයක් ගායනාකරන්න. ලක්මාලි ප්‍රවුර්තියක් ලියන්න,මට ප්‍රවුර්තියක් නිවේදනය කරන්න. මේ හැම එකකටම ඒකාලෙ අපේ දිහාවෙ හිටිය දක්ෂමයො ටික තමයි මේ අය.අපි හැමෝම තොරගත්තෙ දහම් පාසල් වලින් තරඟ තියල ..ඒ වගේම අපිව මුතුහර ලමාසමාජයක් පිහි‍ටුවල මේකටයුත්ත ඉෂ්ට කිරීමේ භාරදූර කටයුත්ත ඉ‍ටුකලේ ගාමිනි අය්ය. ඔහු ඒ දවස් වල ජාතික රූපවාහිනියෙ සහාය අධ්‍යක්ෂවරයකු වන්න පුහුනු වෙවී හිටියෙ.
අපේ බය සැක එහෙම ඇරල අපිගෙනාපු ඇදුම් අන්දවගෙන පුන්චිම දොරකින් ඇතුලට එක්කන්ගියා අම්මෝ සීතල..නිකං අයිස් පෙට්ටියකට දැම්ම වගේ උනා.
ඒ මදිවට හැමපැත්තෙම කන්නාඩි හයිකරල.....කොහේද මේ කියල හිතන්නවත් හම්බු උනේ නැහැ..මෙන්න නැන්ද කෙනෙක් හිනාවෙවී ඇවිල්ල
"කොහොමද පුතා කොහේ ඉඳලද ආවේ..."
කියල අහන ගමන් මොකක්ද පෙට්ටියක් වගේ එකක ඇරල...පුලුන් කෑල්ලකට මොනවද අරන් මූන පුරාඅත් එහෙට මෙහෙට දුවවල..ඔලුවත් පීරල හරි පුතා යන්න කියල ඊලඟ එක්කෙනා ගත්ත. ඔක්කොම ඉවර උනාම ආයිත් අය්යල දෙන්නෙක් ඇවිල්ල තව ලොකුම ලොකු කාමරයකට එක්කන් ගියා හරි විශාලයි ඒ වගේම හිස්,  දෙන්නෙක් විතරක් පු‍ටු තියාගෙන හිටියා. පස්සෙ අර මුලින්ම අපිව බලන්න ආපු  නැන්දා ඇවිල්ල එගොල්ලන්ව හඳුන්වන්න ගත්ත.බලන කොට ඒ නැන්ද තමයි මුතුහර වැඩසටහන හරිම කැපවීමෙන් උත්සාහයෙන් නිශ්පාදනය කරල අධ්‍යක්ෂණය කරන්නෙත්...


මේ සියල්ල සිදුවන්නෙ..1989හෝ 1990 විතර කාලෙ. දහම් පාසල් බඩේ බැදගෙන වගේ කරපුකාලෙ ඒ දහම් පාසල් ජීවිතය නිසා ලැබුනු අවස්තාවක් තමා මේකත්.


තව ටිකකින් මහා සැර ලයිට් වගයක් ගැහැව්ව අම්මෝ..ඇස් නිලංකාරවෙලා ගියා..මෙන්න ඒ විදුලි ලාම්පු වහල දිගේ පහලට එනව මහා යකඩ බාල්කෙක එල්ලලම බය උනත් එක්ක.


ටිකකින් මාමල වගයක්....අඩුවැඩිය මහගොඩක් ගෙනල්ල කාමරය ඇතුලෙ මොනවද හැදුව. මේ කාමරයට කියන්නෙ "ස්‍ටුඩියෝ"
එක කියල අර නැන්දා මුලින්ම අපිට කියල දුන්න.
මාව නිවේදකයෙක් විදියට  මගේ කොටස මෙහෙමය් කියල නැන්දා පහදල දුන්නට මෙන්න බොලෙ එකසැරේට අපිට කියල දෙන්න ආපු අය්ය කෙනෙක් නිවේදකය උනා .
මුලින්ම භක්තිගීතය ...ඉවර උනා ඊලඟට මට,  අර වාදක කන්ඩායම් වල ශිල්පියො අඳින්නෙ, අන්න ඒවගේ ශර්ට් එක ඇඳල මුලින් මාමල වගයක් හදපු කොටයක් වගේඑක උඩ වාඩිවෙලා ලක්මාලි නංගි ලියපු ලිපියක් කියවන්න උනා. පුංචි රිහල්සල් ඒකකට පස්සෙ පටිගතකිරීම


කට්...! මගේ කොටස ඉවරයි...
"හොඳයි පුතා හොඳට කලා..! 
අර නැන්දා කිව්ව..!අපි හැමෝම එලියට ආව . හැමෝම සතුටින්. ගාමිනි අය්ය කොහේද් ඉඳල ඇවිල්ල
"ඉන්න මම මේක විකාශය වන දිනය අහන් එන්නම් 
කියල කොහේද ගියා...අපි අපේ කච කචේ.පටන්ගත්ත ..අරයට මෙහෙම උනා ..අරහෙම උනා..එක එක කතාව..!


සියලුදෙනාම ගම් බලා පිටත් උනා..ඒ පාර බස් නෑ හැමෝම බය වෙලා..අන්තිමට කිට්‍ටුව නගරයට යන බස් එකක ඇවිල්ල කිලෝමීටර12ක්පයින් ඇවිල්ල තමය් ගමට ආවෙ.හැමෝටම පාන්කියාගන්න බෑ...!
දැන් වැඩසටහන යන දවසට දහම් පාසලේ තඩි ටී.වී එකක් හාමුදුරුවො කාගෙන්ද ඉල්ලගෙන ඇවිල්ල බණ ශාලාවෙ තියල තිබුන. මැදැයි..කොලා..!
එදා අපේ වැඩ සටහන නෙවේ ගියේ වස ලැජ්ජාව..!!!
හාමුදුරුවන්ටහොදටම කේන්ති ගිහිල්ල..!ගත්තා කෝල් එකක්....
අනේ සමාවෙන්න අපි ඊලඟ සතියේ විකාශය කරනව. එහෙන් පිලිතුරු.
අපි හිත හදාගෙන ගෙදර ගියා..වෙලාවට මමකාටවත් ඉස්කෝලෙ යාලුවන්ටවත් කිව්වේ නැහැ මෙහෙම් එකක් තියෙනව කියල.කියල තිබුන නම් කලිසම් ඇඳගෙන ඉස්කෝලෙ යන්න බැරිවෙනව. හැබැය් ඊලඟ සතියෙ විකාශය උනා..සංස්කරනයවෙලා හැම එකකින්ම ටිකටික තමයි ගියේ ඒත් ඒක හරි ලස්සනට ගියා..හරි ආඩම්බරය් හැමෝටම.
පස්සෙන්ද ඉස්කෝලෙට ගිය ගමන් ගැහැනු ලමය් ටිකක් වටකරගත්ත මාව, එක්කෙනෙක් දැකල හැමෝටම කියල, අපේපන්තියෙ ලමය්..මේ අය රටේ ප්‍රශ්ණ අහනව...මමනෙ දන්නෙ කාපු කට්ට...මමත් ඉතිං ශේප් නියායෙන් හිටිය.


************************************************************************
154  බස් එකේ මම අයිනෙ සීට් එකේ වාඩිවෙලා ඉන්නව...!හිමින් සැරේ යන බස් එක එහෙන් මෙහෙන් ගිහිල්ල රූපවාහිනිය  ලඟ නවත්වනව ,මමත් බැහැගන්නව..ඔහොම ඉස්සරහට යනකොට  බී.එම්.අයි.සී.එච්. එක තියෙනව ඒක හමුවෙනකන් මම වටපිට බලබලායනව. ඒ දවස් වලට වඩා මොනවද දැන් වෙනස්වෙලා තියෙන්නෙ....
ගොඩනැගිලි.....එකදිගට යන වාහන,කාපට් කරපු පාර අතුටික කපල දාපු මාර ගස්,මැරිච්ච් නිසා(තාර වලට) උගුල්ලපු තඩි මාර හා මැයි ගස් වල සලකුනු විතරක් ඉතිරිකරල ...ඒත් තාප්පය දකිනකොටම මට ඒකාලෙයි මේ කාලෙය් අතර ලොකුවෙනසක් දකින්න නැහැ.අවුරුදු කීයක් නම් ගෙවිලද..?  අවුරුද්දකට සැරයක් වත් ඔතනින් යන මට හිතෙන්නෙ එහෙමයි...!අතීතයේ දෙව්ලොව යන සතුටකින් ආපු මතකයන් යලි යලි මතක් වෙනකොට තමය් මෙහෙම ලියන්න හිතුනෙ.




ප/ලි.... ඒ කාලෙ ඔය ගිය අයගෙන් ගොඩක් අය හමුවෙන්නෙ නැතිතරම්  ජනක විතරයි හමුවෙන්නෙ.සඳමාලි අමරිකාවෙ ,අනික් අය කොහේද දන්නෙ නැහැ. එක්කෙනෙක්වත් ඔය සහභාගිඋන ඒවා නෙවේ දැන් කරන්නෙ. වෙනම ක්ෂේත්‍ර වල ‍රැකියාවන් කරන්නෙ.