Wednesday, January 30, 2013

මේව ගෙට්‍ටුවෙ මඩ නොවේ..!පොටෝ


 උදේ පාන්දරම ගෙදරින් පිටත් වෙලා කලට වේලාවට ආ නිසා  මෙවුන්ගෙ පොටෝවක් ගත්ත. ගේට්‍ටුව ගාවට වෙලා හිනාවෙවෙවී ඉන්න උන් ඔක්කොම දන්නවා ඇති මම නම් අඳුනන්නෙ කීප දෙනයි.


 මේක තමයි සිරාලගෙ මෙහෙයුම් මැදිරිය.


 මෙවුන්ගෙ නම් ටික දැනගන්න තිබ්බ අමාරුවක් .. කේන්ති යන්නැති සත්ගුනවත් සිරා හින්දම හොඳා.



රබර් ගහක් ගැන කියන්න ගිහිල්ල සිරා කාපු මඩක්..!


 තරියා උදේ ඉඳන්ම බැට් එක අතේ තියාගෙන හිටියේ..ඒත් අනේ මන්දා කට්ටිය කියන එව්වා..!දේවා නම් ජාමෙ බේරා ගත්තා. දේවාට එහා පැත්තෙ ඉන්නෙ ස්කුබිඩූ වෙන්න ඇති. අම්මේ ඌට තිබ්බ විසයක්.
ඉස්සරහම සුදුපාට බෑග් එක තියාන ඉන්නෙ ලොකුජෝන් මට ඌට කියලවත් එන්න බැරි උනා මාත් එක්කමයි හිටියෙ.
 තරුන හිතක් ඇති නලින් අය්යා. හරිම මිත්‍ර ශීලී පුද්ගලයෙක්.

සිරා ගැන කියන්න දෙයක් නෑ. නියම හදවතක් ඇති කොල්ලෙක්.සිරයි මායි ගහපු පොටෝව සිරාගෙ කාමරෙ තිබ්බ නිසා මෙතැන දාන්නෑ.(ඉක්මනින්ම රතුපාටට හරියන රෝසමලක් ලැබේවා..!)

 තවත් කට්ටිය.
කුඩේ අතේ තියන් ඉන්න මලයා පේරාදෙනිය පැකල්ටියේ කියල කිව්ව.ඒත් නමක් මතක නෑ දන්න කෙනෙක් කියනවද..මාත් එක්ක ගොඩක් වෙලා කතාකරකර හිටියා.

 වෙඩික්කාරයා..මූ තමා සෑමට ගේම දුන්නෙ. තව ටිකෙන් සිරාටත් ගේම .පේනවනෙ.බයිසිකලේ අවුස්සන හැටි..! සික්කා බලාගෙන.

 වෙඩික්කාරයා,වීයා,රජා,නිශාන්


 කොට ජීවිත තුන.:)))
ප/ලි...සමාවෙන්න ඕන මෙතන අනිත් එක්කෙනා සමී..හරිම හොඳ කොල්ලෙක්.


 ලොකු ජොන්, වාඩිවෙලා නිශාන්,සිත්තමී,සුදීක



 බලපල්ලකො  මීවදේට  රොක්වෙන මීමැස්සො ටිකවගේ සැමාගෙ කාර් එකවටේ පොදිකන හැටි.මොකද මන්දා...



කොලපාට ටීශර්ට් එක මව් බිම පත්තරේට(හරිද මන්දා) විස්තර ගෙනිච්ච මල්ලියා..නම නම් මතක නෑ. ‍රැවුල් වවල ඉන්නේ රෙප් මහත්තයා..(කට්ටිය කෑ ගැහැව්ව රේප් මහත්තය ඇවිල්ල පරිස්සම් වෙයල්ල කියල


ගෑල්ලමයින්ගෙ තොප්පි සෙල්ලම.

මාගාව තිබුනු පොටෝ නම් ඕච්චරයි. ඒ ටික දැම්මෙ නොදැක්ක  අයට  බලාගන්න.
වෙන ඉතිං කියන්න දෙයක් නෑ..!

නැවතත් සිරාට , සැමාට ,අටම් ට හදපිරි සං‍තෝෂය පිරිනමන්න කැමතියි.දිව්‍යලෝක පිනක් කරගත්තෙ.







Sunday, January 27, 2013

සැමාගේ සපත්තු දෙක සහ සුන්දර ගෙට්‍ටුවේ.. විකට්‍ටුව..!




ගෙට්‍ටුවේ ආරම්භය හා ඊට පෙර සිදුවූ බොහෝ සිද්දි දාම තිබුනත්....ඊට කලින් ලියන්නට හිතුනේ වෙනත් දෙයකි.

සිරාගේ සහ සැමා ඇතුලු සංවිදාන කමි‍ටුවේ ඇත්තන්ගේ නොමද කැපවීම මධ්‍යයේ සියලු දෙනා හඳුන්වාගැනීමෙන් පසු  ක්‍රිකට් තරඟයට සියලු දෙනා සූදානම් උවත්..සිරා උගුර ලේ රහවනතුරු කෑ ගැසුවත් ක්‍රීඩා කිරීමට පිරිමි පාර්ශවයෙන් එකතු වුයේ 16ක්හෝ ඊට ආසන්න  පිරිසකි,කාන්තාවන් නම් කිසිවෙක් එකතුවූයේ නැත..වේලාව මතක නැති උනත් ඒවන විට පැමින සිටියේ කාන්තා පාර්ශවයෙන් කිහිප පොලක් පමනි..සිරා ඇතුලු පිරිස සිටියේ නහයෙන් අඬමිනි.

යුගල තරඟයක් ලෙස සිරා මෙම තරඟය හඳුන්වා දුනි. ලෝකයේ මුල් වතාවට වාර්ථාවක් පිහි‍ටුවීමට මෙම තරඟ පෙල සමත් විය. ඒ හතරේ සීමාවට උඩින් එල්ල කලොත් 4ක් ලෙසත්,බිමින් එල්ල කලොත් 6ක් ලෙසත් අමුතු නීතියක් හඳුන්වාදීමයි. මුන්ගේ ලෝභකමට ටෙනිස් බෝල 2ක් පමනක් ‍රැගෙන ආ බවත් ඒවා නැතිකරාවි යැයි උපකල්පනය කර මෙලෙස නීතියක් ගෙන ආවත් මුන් එල්ල කල 4රේ,6යේ පහරවල නැත.

අම්පයර්ලා උනේ ප්‍රධාන විනිසුරු ලෙස සුදීකත්.දෙවන අම්පයර් හා පිටියේ අණ දෙන්නා ලෙස සිරාය. නැත්නම් ඕවර දෙකක් වූ  තරඟය මුන් වැඩිපුර සෙල්ලම් කරන්නටද මාන බැලූ තැන්ද නැතිවානොවේ.එවිට සිරා ..මහ හඬින් කෑගසා අනෙක් යුගල කැඳවයි.

මුලින්..මුලින් බැට්කලවුන් ලකුනු 20ගනන් ලබා ගත්තත්..අනෙක් කිසිවෙකුටත් ඒ ආසන්නයට යාමට නොහැකි විය.

වීයාට ලැබුන සගයා උනේ වෙඩික්කාරයාය. අපිත් ගේම අතෑරියේ නැත..එහෙත් වෙඩික්කාරයා මුලිනුත්..වීයා පසුවත් කුජීත විදියට දැවී ගොස් ඉනිම අවසන් විය. 

මම පන්දු ‍රැක්කේ කවර්පොයින්ට් හා ඩීප් පොයින්ට් යන ස්තානයේය. ඒ අසල සැමා පන්දු‍රැක්කේය. පිටියේ පන්දුවක් බිමවැටෙන්නට ඉඩක් නැත. සූ ගාල පන්දු රකින්නෝය.එහෙත් උඩින් අතටම ගසා මුලින් බැට් කල ඈයෝ ලකුනු ගත්හ. නාඩියා පිටපිටම උඩපන්දු පෝලිමක් අතෑරියේය.අහෝ...ඌව ඉස්සරහට දමා තවකෙක් එතැනට ගියේය.ඌත් එහෙමය..එකම හූ විලාපයකි...අවට බංකුවල ප්‍රේමයේ ගුලිවී සිටි ඇත්තෝ බ්ලොග් කරුවන්ගේ මෑණියෝ මතක් නොකරානම් පුදුමයකි.තවත් ඇත්තෝ මේ මලමගුල් වැඩ දිහා බලාගෙන සිටියා මිස ප්‍රේම කලේ නැත.ඒ අස්සේ දුවද්දී දැවීයාමක් ගැන සිරාත් ,රත්ගමයාත් තවත් එකෙකුත් කාලගෝට්ටියකි.

සැමාත් මාත් හිටි තැන පිටිපස්සේත් බංකුවල අහිංසක ප්‍රේම වන්තයෝ පිරිසකි .ටිකකින් උන් යන්නට ගියේ අපේ එවුන්ගේ නරකාදී කෑගැසීම නිසා වන්නට පුලුවන.

ගිනි කූටක අව්වය..ඉන්නට නම් බැරිය...බැට් කරන උන් පහරවල් ගහන්නේත් ලෙග්සයිඩ් එකටමය. අපිට මද අස්වැසිල්ලකි. සෙවන ඇතිතැනෙක ඇති බංකුවක් අසල මාත්,වෙඩික්කාරයත් තවත් නම මතක නැති බ්ලොග් කරුවෙකුත් සිටි තැන සැමාද සිටියේය..එහෙත් ඌ හිටියේ පට්ට අප්සට් එකෙන්ය උගේ සපත්තු දෙක කව්දෝ උස්සලාය.හතර අතේ සොයමින් සැමා කන්කෙදිරිගාමින් සපත්තුදෙක සොයයි.

"බොලාට කන්න ගෙනල්ල දෙන්නෑ යකෝ සපත්තු දෙක දෙනකං" උගේ මූන අඬනවාද හිනාවෙනවාද සොයාගන්නට බැරිය. ඒ අස්සේ බැට් කරමින් සිටියේ තරියා හා තවත් එකෙකි. ඒ උනාට එනවුන්ස් කරන්නේ රජා සමග තවත් අයෙක් පන්දුවට පහර දෙනවා කියාය...මුලු පිටිය පුරාම හූවකි...ගම්පහටත් නොහෑහුනානම් පුදුමයකි.

බැරිම තැන යකඩ කටින් එනවුන්ස් එකකුත් කලේය. ඒත් නැත.
අන්තිමට සැමාට සපත්තුදෙක ලැබුනේ  කෑමත් ගෙනාවාට පසුව විය යුතුය.සපත්තු දෙක ඇවිදගෙන ශාලාවට පැමින තිබුනි.

*************************************************************************

ප/ලි. වීයාට ලොකු දුරක් ආපසු යාමට තිබුනු නිසා අන්තිම තරඟය මඟ හැරුනි.හමුවු අය ගැන සොඳුරු මතකයන් ගැන ආවර්ජනය කරන්නටද බලා පොරොත්තු වෙමි.

ක්‍රිකට් තරඟයේ ඡායාරූපයක් නැතිවීම ලොකු අඩුවකි.ක්‍රීඩාකල නිසා පිංතූරයක් ගන්නට බැරිවිය.


Thursday, January 10, 2013

ඉස්කෝලයගෙ කුන්දිරා ගහ




 ටවුමෙ ඉඳල අපේ පන්සලට ඕන්නම් හැතැක්ම බාගයක් ඇති.වංගු දෙක තුනක් පහුකල ගමන් ඈතට පේන්න වම් අත පැත්තෙ කන්ද උඩ  තියෙන්නෙ. 
පන්සලට අල්ලපු වත්ත ඉස්කෝලයගෙ වත්ත.

නැති තැන එහෙම කිව්වට මූණට නම් එහෙම කියන්නෙ නැහැ.පලාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක වයිස් ප්‍රින්සිපල් කෙනෙක් උන එතුමා ගමේ ප්‍රභූ කෙනෙක් විදියටයි සැලකුවෙ. තල එලළු හීන්දෑරි මුන්නැහේ කොහේදෝ දුර පලාතකින් ඇවිත් බින්න බැහැලයි කියල තමා ගමේ අය කියන්නෙ. ලමයි නැතිව හිටියත්  බොහෝම ලෝභ කෙනෙක් විදියට තමා සැලකුනේ. ගමේ කොල්ලො එකතුවෙලා කරන මොනයම් හෝ කටයුත්තකට කීයක් හෝ ලබාගන්නවාය කියන්නෙ...ඉබ්බගෙන්  පිහා‍ටු ගන්නව වගේ තමා.මේ නිසා අපේ කොල්ලො සෙට් එකට මුන්නැහේ වහ කදුරු වගේ තමා.

ඉස්කෝලයගෙ ගෙදරට ගෙවල් දෙකක් විතර උඩින් අපි දන්න කියන තැනක මලගෙයක් තිබුන. තොරණ ගහමුයි කියල සුදු මහින්දය අපට කලින්ම දැනුම් දීල තිබ්බ නිසා අපිත් රාත්‍රී ආහාර කිසත් අරගෙනම ඒ පැත්තට ගෑ‍ටුවේ අවශ්‍ය කියන  උපකරන කීපයකුත් අරගෙනමයි.

සාමාන්‍යයෙන් මලගෙදරක රිජිෆොම් වලින් තොරනක් ගහනවා කියන්නෙ අමාරු රාජකාරියක්.ඔක්කොටම වඩා අමාරු අකුරු කපන එක තමා.ඉංග්‍රීසි අකුරු වගේ නෙවේනෙ සිංහල අකුරු රවුම් ගතිය වැඩියි. ඒ නිසා හොඳට කැපෙන පිහි උවමනා වෙනව මේ කාරියට. අපි සා.පෙ ලියන කාලෙ නිසා අපිට දැන්තියෙන නානා ප්‍රකාර පිහි තිබ්බෙත් නෑ.

මේකටත් අපි උපක්‍රමයක් හොයාගෙන තිබුන. යකඩ කපන කියත් තලයක් අරගෙන ඉන් බාගෙට කඩල ලියවන පට්ටලයකට දීල එක් කොනක් උලක් වෙන්නත්, හොඳින් මුවහත් වෙන්නත් ලියවාගන්නව.මේ කාරියට යකඩ කපන කියත්තලයක්ම යොදාගන්නෙ..අනෙක් හැම පිහියක්ම රිජිෆෝම් කපනකොට ඉක්මනින්ම හං වෙන නිසා .
පිහිදෙකකුත් අරන්ගියේ තවත් කෙනෙක්ගෙ සහයෝගය මට ලැබෙන නිසා.

ටිකක් රෑවෙන්න ඇරල අපේ වැඩේ අපි පටන් ගත්ත. වේලාසනින් පටන් ගන්නබැරි පලාතෙම ඉන්න පොඩිඈයො ටික වටේට පිරුනාම කිසිම දෙයක් කර ගන්න බැරි නිසයි.

වටේට ඉන්න මල්වට්ටි දිහාත් බලන ගමන් , ටොම්පචකාරයින්ගෙ ඉල ඇදෙන කතා අහන ගමන් වැඩේ කරගෙන යනව. රෑ 12 පහු උනා විතරයි අපේ ඉන්න වසූරියය්..කෝඳුරුවයි..එහාට ඇඹරෙනව , මෙහාට ඇඹරෙනව. 
ඔහොම මෙහෙම තවත් හෝරාවක් ගෙවුන.

"මෙහෙම ඉන්න බෑ බං...බඩ පපුව දනව..මේ ප්ලේන්ටිම බීල..!"

"ඉතිං..!"

"මරුවැඩක් තියෙනව." වසූරිය කියනව.

අපි කර කර හිටිය  වැඩේ නවත්තල ඒ පැත්ත බැලුව.වැඩේ බාරගත්ත සුදුමහින්දය..පු‍ටුවක් උඩ කකුල්දෙක තියාන තවත් පු‍ටුවකට බරවෙලා සරම ඔලුවෙ ඉඳල පෙරෝගෙන නිදි. කොහොම ඉන්නද අපේ බිලට දාල මූ කරේ තව දෙතුන් දෙනෙක් එක්ක ගල් බෝතල් කීපයකට වගකියපු එකනෙ.
අපේ ගැන් එකේ එකෙක්වත් ඒකාලෙ අරක්කු බිව්වෙ නැති උනාට,කොච්චර ගමේ කම තිබ්බත් අරක්කු මූඩියක්වත් දෙන්නැතිව මලගෙවල් වල සමහර වැඩ කරවගන්න අමාරුයි.

"මේ... ඉස්කෝලයගෙ දොරකඩ තියෙන කුන්දිරා ගහේ වලු බිමට පාත්වෙලා..ඉනිත් ගහල තියෙන්නෙ බං.."

කට්ටියගෙම මූනෙ ගිය හිනාව හරියට තමන්ගෙ ගෑණුලමය මූනට මුලිච්චි උනාම නැගෙන හිනාව වගේ..!

"වැඩක් නෑ බං ඕක කුනානෙ අහැරගෙන ඇති දැනටමත්.."

"නෑ බං අන්න ආරි බාප්පත් එක්ක ඕමියකට සෙට් වෙලා..දැන් ඉතිං තව පැය තුනකටවත් නැගිට්ටා බොරු."

  මම අර පිහිදෙකත් අතට අර ගත්ත..තොරණ පාලුවට තියල අපි හැමෝම පල්ලම් බැස්ස කාටවත් නොදැනි.

මමත් පුතාත් මහපාරෙ ඉස්කෝලයගෙ ගේට්‍ටුව ගාව ඔත්තු බලද්දි..සනා,කෝඳුරුව,වසූරිය,ජූඩි...තාප්පෙන් පැනල වත්තට ඇතුලු උනා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියල කිසිම දෙයක් පේන්නෙත් නෑ..ඇහෙන්නෙත් නෑ..

 විනාඩි 10ක් යන්නැති..ඈතින් වාහනයක් ආවත් අපි ඒතරම් ගනන් ගත්තෙ නැති උනත්..ලඟටම එනකොටයි දැක්කෙ....
පොලීසියෙ පැට්‍රෝල් යන ජීප් එක..අපි ටිකක් විතර ඩිම් උනා.

"බ්‍රාස්........" ඒකසැරේට බ්‍රෙක් ගැහැව්ව,නැවැත්තුව.
"එකෙක් දුවන්නෑ..".ජීප් එකේ දොරක් ඇරෙන ගමන් බැස්ස රාලහාමි කෙනෙක් කියාගෙන අපිගාවට ආව.

චූ යන්නත් වගේ...!හයියෝ...!

"මොකද තොපි මෙතැන කරන්නෙ.."

"අ..අපි මලගෙදර ආව..,හපෝ මුගේ තිබ්බ මරුමුස් පාට ඒ මදිවට බීලද කොහේද..!

"මෙහේට වර..."

අපිව ජීප් එකේ ලයිට් එලිය ගාවට ගත්ත.
"මලගෙයක් කොයේද බොල මෙතැන.."

"අර උඩහ... "පුතා දිග අරින්න බැරුව වගේ අත බාගෙට දිග්ගස්සලා පෙන්නුව.

"බොරුනේද බොල කියන්නෙ..පෙන්නාපියව් සාක්කු..."

විනාසයි..මුලින් පුතා පෙන්නුව. ඊලඟට මම...

"ආ..මේ තියෙන්නෙ බඩු...පිහිදෙකක් නේද...තොපි මංකොල්ල කනව නේද..!"
මගේ කලිසමෙන් අල්ලන ගමන් අහපි..

"නෑ..නෑ මේ මලගෙදර..තොරණ ගහන්නෙ අපි..ඒකයි මේ පිහි දෙක."

"පිහි මොකටද බොල තොරන් ගහන්න.."

දැන්නම් මේ වෙලාවට නැති කට කොස් කන්නයැ.
"ස්..සර්..මේ පිහි වලින් තමා රිජිෆෝම් කපන්නෙ."

"හා..ඔය කියන්නෙ..එතකොට තොපි මෙතැන මොකද කරන්නෙ.."

"නිදිමත යන්න කියල ටිකක් ඇවිදින්න ආව.". මම කිව්ව. 

ඔන්න එතකොටම වගේ ..මහ ඝෝෂාවක් ඇහුනම අපි හැමෝම ඒ පැත්ත බැලුව.
මලගෙදර ඉන්න මහ සෙනඟම ටෝච් ගහගෙන ,හුලු අතු දල්වාගෙන පාරට එනව. බැලින්නම් තාප්පෙන් පැන්න උන් ටික මලගෙදරට ගිහින් විස්තරය කියල හැමෝම එක්කරගෙන ඇවිල්ල අපිව බේරාගන්න.
ජීප් එක ඇතුලෙ ඉඳල තව ලොකුමහත්තැන් කෙනෙකුත් බැහැල ආව එතකොටම. හැමෝටම කතාකරල වැරදීමක් උනේ කියල යන්න ගියා. 
හැබැයි එහෙම උනේ නැත්තං උන් අපිව බයිට් එකට අරන් කූඩුකරනව.

ඒකෙන් බේරුනා කියමුකො..මිට වඩා හොඳයි කූඩුවෙ ලැග්ගනම් කියල හිතුනෙ...මලගෙදර ඉන්න,,ආච්චිල,සීයල ගෙ පටන් අපේ කට්ටිය පැණිපෙරපු ගෑල්ලමයි දක්වාම විස්තරය අහනකොට කියල ඉවරයක් නැති උනාමයි.

කොහොම කොහොම හරි කට්ටිය එහා මෙහා වෙනකං ඉඳල...කෝඳුරුව කියපි,

"දැන්වත් යමුද අර ටිකට මොනව හරිකරල එන්න."

"මොකක්..?" මම හිතුවෙ මුන් ආයිත් වැඩේට යමු කියනව කියලයි.

මොන  මලගෙදරට ටිකක් දුරින් තිබ්බ කුරුඳුගස් ගොඩක් අස්සෙ..මේන් කුන්දිරා වලු දෙකක් බැබලි බැබලි..හඳ එලියට දිලිසෙනව..හැක්..හැක්...හැක්...හිනාගිය පාරට මට ඉස්මොල්ලෙත් යනව තව පොඩ්ඩෙන්.
අපි අරහෙ පොලීසියත් එක්ක ඔට්‍ටු වෙන අතරෙ මුන්ටික ගේම දීල...

ඒවටත් වග කියල...තොරණත් ගහල දෙයියනේ කියල එලිවෙන ජාමෙ ගෙදර ආව.

Tuesday, January 8, 2013

මලගෙදරක තොරණ් ගහපු හැටි..!




මේ යුගය ඩිජිටල් යුගයනෙ.හැමදෙයක්ම ඩිජිටල් වේගෙන යන ලෝකෙක...මලගෙවල්වල බැනර්,තොරණ් වැනිදේවලුත් ඩිජිටල් වෙලා අහවරයි.

ඒත් මීට දශකයකට කලින් නම් මීටවඩා බොහෝ වෙනස්. මේ දේවල් තනිකරම නිර්මාණය උනේ මිනිස් අතින් ඒක වෙනම සංස්කෘතික ලක්ෂණයක් වගේ.
ඒත් ඉතිං වානිජමය තත්වයේ ඉන්න දක්ෂම කලාකාරයො මේ සඳහා අල්ල ගන්න අමාරුයි..හේතු කීපයක් තිබුනත් ආසන්නම කාරනය වෙන්නෙ..ගොඩක් වෙලාවට මේ තැන්වල තොරණ් ඉදිවෙන්නෙ රාත්‍රී කාලටනෙ..ඒ වෙලාවට මේ අය නාගසලං වෙලානෙ ඉන්නෙ.

ඔය වෙලාවට පිහිටට ඉන්නෙ බාගෙ කලාකාරයො..ඒකියන්නෙ වෘත්තීයමය නොවන..සමාජසේවය ගැන "උනක්" තියෙන අය . මේ වගේ අය අපේ ගමෙත් දෙතුන් දෙනෙක්හිටිය...එක්කෙනෙක් උනේ වීය තමා. මාත් එක්ක සෙට් එකක් හිටිය මේ වගේ වැඩ වලට..පුතා,සනා,ජූඩි,රෝහන,පාලිත,වසූරියා....ඔය කීපදෙනෙක් තමා. 

තොරණක් ඉදිකරනව කියන්නෙ සාමූහික වැඩක්.ඉටිකොල ගහල අකුරු අතින් ඇඳල නිමකරන තොරණක් නම් වැඩ අඩුයි.
රීප්ප පෙට්ටි ගහල රිජිෆෝම් වලින් බොක්ස් මොඩ්ල් එකට ඉදිකරන ඒවයෙ වැඩ වැඩියි වියදමත් වැඩියි.
එත් මේවා හරි තරඟකාරී දේවල්නෙ. ජීවත්ව ඉන්නකොට සොයානොබලපු දරුවන්, මලගෙදරට එන තමන්ගෙ සල්ලිකාර යාලුමිත්‍රයින්ට පේන්න මලගෙදර ඉතා ඉහලින් ගන්න නිසා තොරණත් ඉතා ඉහලින් අවශ්‍යවෙනව.

මුල්ම කාලෙ බොහෝ තැන්වල කලේ රීප්ප වට්‍ටුව ගහල ඒකෙ සුදු ඉටිකොල ගහල ලැකර් වලින් අකුරු ලියන එක. ගම්වල ඒකාලෙ  වට්‍ටුව ගහන්න දක්ෂ අය හිටිය.  බොහොම සරලයි වගේ පෙනුනට කෑලි තුනකට සෙට් වෙන නිසා එකිනෙක ගැලපීම අවශ්‍යයි. නිවැරදි මිනුම් වලට සිදුවිය යුතුයි. ඉටිකොල ගහන එකත් ඒවගේ එක‍රැල්ලක්වත් නොහිටින්න වැඩේ ඕන..මේකට දක්ෂයා වෙලා හිටියෙ සුදු මහින්ද.

ඊලඟට අකුරු අඳින එක...මේ වැඩේ තමා අමාරුම.අපි දක්ෂ චිත්‍රකලාකාරයො නොවේ. ඒනිසා පින්සලක් අරන් එක හුස්මට අකුරු අඳින්න බෑ. මුලින් පෑනකින් අකුරු ටික ඇදල උඩින් ලැකර්වලින් පාටකරන එක තමා කරන්නෙ. අපිගාව පින්සල් පවා තිබුනෙනෑ..නමුත් ඒකටත් අපි ක්‍රමයක් හොයාගෙන තිබුනෙ. සිගරට් වල ‍ෆිල්ටර් එක. වටේ තියෙන කොලේ ගලවල පැන්සලකට තියල ගැටගහගත්තම පින්සල් පරාදයි. හැබැයි වැඩේ තියන්නෙ...එක අකුරකට එක ‍ෆිල්ටර් එක ගානෙ උවමනා වෙන එකයි.පුලුන් වගේ නිසා නිකන්ම දියවෙලාවගෙ යනව.

 එක පාරක් හරි සිද්දියක් උනා අකුරු අඳින්න ගිහිල්ල. සාමාන්‍යයෙන් එදාට ප්‍රධානත්වය ලැබෙන්නෙ මේ වැඩේට නිසා , නා නා ප්‍රකාර අය මෙතැනට එනව.
 සමහරු උපදෙස් දෙන්න එනව. 
වෙන වචනයක් ලීව නම්.... , අකුරු තව ලොකු උනානම් හොඳයි....ඔය වගේ. 
මේකට හේතුව උනේ පිරිස ඉස්සරහ "පොරක්" වෙන්න දඟලන නිසයි.

 හැබැයි ඉතිං රසසාගර වගේ පොරවලුත් සමහර වෙලාවට සෙට් වෙනව. හිනාකාල ඉවරයක් නෑ කියන කතාවලට.අපේ උනුත් කරන්නෙ කරන වැඩේ පැත්තකින් තියල  ආතල් ගන්න එක තමා.

ඒ වගේම  දුරපලාත් වලින් ඇවිල්ල ඉන්න නෑදෑ පිරිවර අතරෙ ඉන්න ඇහැට කනට පේන ලමිස්සියො ඉන්නව නම්..ඒදාට උදව් කරන්න ඕනතරම් කට්ටිය ඉන්නව.

තොරණ ඉදිකරන එක විශේෂ කාරියක් නිසා අපි ඉන්න තැනට නිවැසියන්ගෙ විශේෂ අවධානය , සැලකිලි එමටයි. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින දිහා බලන් ඉන්න සිරිතක් අපේ තියෙන නිසාද මන්ද කට්ටිය වටවෙනව සු‍ටුස් ගාල. ඔය අතරෙ ගෑණුලමයි ඉන්නව නම් අපේ උනන්දුව තෙගුන වෙනව.

අනිත් එක දැන් ඉන්න ගැහැණු ලමයි වගේ නොවේ ඒකාලෙ..වැඩකරන අයට ,නිදිවරන අයට තේ ,කෑමජාති හදනව...අනික ගමේ ඉන්න තරුණ තරුණියො භේදයක් නැතිව උදව් පදව් වෙනව.ඉතිං කොල්ලොත් පැණි ඇඹලයො වගේ වටේ කැරකෙනව.

මේ කියන දවසෙත් ලමයි කීපදෙනෙක් වටවෙලා හිටිය නිසා ඒ අයත් එක්ක  පුන්චි කතාබහක් කරන ගමන් තමයි මාත් අකුරු අඳින එක කලේ...අපේ අනිත් එවුන් නම් මල් කඩනව මෙලෝ සිහියක් නැතිව මට ඉරිසියාත් එක්ක.
ටික වෙලාවක් යනකොට නංගිලා කිහිප දෙනෙක් කසුකුසු ගගා...හිකි..හිකි..සිරික්කිය දානව.

දැන් මට ප්‍රහේලිකාවක් ඇයි මේ කියල..එක්කෙනෙක් තොරනට අත දික්කරාපි,

අයියෙ..මේ බලන්න මෙතන මොකක් හරි අවුලක් නේද..?

"පියානිනි ඔබට නිවන්....." ඈ...මලා..!!!

මැදැයි කොලා.... අකුරු ඇඳගෙන යනකොට යම් වෙනසක් තිබුනොත් එවලෙම භූමිතෙල් ගාල හදන්න පුලුවනි. ඒ ලැකර් වේලෙන්න කලින්..දැන් ඒ අකුරු වල තීන්ත වේලිලා. මොනව කරන්නද... අනික් එවුන්ගෙන් කුනු බැනුම් අහන ගමන් ඉටිකොලේ ගලවල අලුත් ඉටිකොලයක් ගහල අකුරු ටික ලියල තොරන ගහනකොට එලිවෙලා උදේ 6 විතර උනා. 

අන්තිමට වැඩේ ඉවර කරන්න ඉතුරු උනේ මමයි..ජූඩියි,පුතයි විතරයි..ඒ වෙනකොට පාන්කියාගන්න බැරි තරමට උනත් වැඩක් බාරගත්තම ඒක නිසියාකාරව ඉ‍ටුකිරීමේ ජන්මාන්තර පුරුද්දක් තියෙන නිසා නිදිවරාගෙන වැඩේ ඉවර කලා.

කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඒකාලෙ කරපුව මතක් වෙනකොට අපරාදෙ ඒ ගෙවුන කාලේ කියල නම් හිතෙන්නෑ ජීවන පාසලෙන් ලබපු අත්දැකීම් එමටයි.

ඉවරයි..!
*************************************
ඉවරයි කිව්වට ඉවරම නෑ...තව කොටසක් එන්ට නියමිතයි...!!