Friday, September 21, 2012

සෙත්සාන්තියෙන් ගම සුවපත් කල පීරගම මාමාගේ අවසානය...!




අවිවේකීව ගෙවුනු දවසක් ගෙවීයන හැන්දෑවක මා මිතුරකුගේ නිවසක් වෙත පා ගමනින් යමින් සිටියා.

" ලොකු දරුවෝ....ලොකු දරුවෝ...." පි‍ටුපසින් ඇහුනු හඬකින් මා පි‍ටුපස බැලුනේ ඉබේටම .

"ආ..මාමා..කොහොමද..?" මම ඇහුවා.

"අර යන්තරේ ජීවං කරල ඇත්තෙ වෙලාවක ඇවිත් අරන් යන්න."

"හා.. මාම..මම වෙලාවක එන්නම්"

 මම එතුමන්ගෙන් සමුගෙන මගේ ගමන පිටත් උනා....
මීට සති කීපයකට උඩදී හමුවූ වෙලාවක පැවසූවේ, තමන් රත්නමාලී ගථාව තඹ පත්වල පිටපත්කර ජීවංකරන බවත් මෙය ඉතා බලගතු යන්ත්‍රයක් බවත්ය. මා ඉන් එක් පිටපතක් ගන්නා බවට පොරොන්දු වූ බව මතක් වුනේ මෙතුමන්ගේ හමුවීමෙනි.

ගමේ කවුරුත් "පීරගම මාමා" ලෙස හැඳුන්වූවත් සැබෑ නම කුමක්දැයි මා මෙන්ම බොහෝ අය දැන සිටියේ නැහැ.මගේ ගමට ටිකක් දුර ගමක්වූ පීරගම ප්‍රදේශයෙන් පැමිණ විවාහයක් කරගෙන මේ ගමේම බින්නබැස්ස නිසා ඔහුගේ ඇඹේණියද "පීරගම නැන්දා" උනා.

 පීරගම මාමා ගමේ විශේෂ පුද්ගලයෙක් හා කාටත් අත්‍යාවශ්ය වන පුද්ගලයෙක් වුනා. ඒ එතුමාට තිබුනු විශේෂ හැකියාවක් නිසා.

ගමේ පිරිත් ගෙයක් තිබුනානම් ප්‍රධානත්වය හිමිවන්නේ එතුමාට. ඒ ඔහුට පිරිත් දේශනා කිරීමේ ඇති විශේෂ හැකියාව නිසා.ඒ වගේම එතුමා වටා,පිරිසක් හිටියා පිරිත් දේශනා කිරීම සඳහා සහභාගීවන. අප ගමේ පමනක් නොවේ කිට්‍ටුව ඇති ගමක උවත් යම් ගෙදරකට ගිහි පිරිතක් පවත්වන්නට උවමනා නම් මුලින්ම හමුවන්නේ පීරගම මාමාවයි. ඒතරම් මේ කටයුත්ත සඳහා එතුමා ප්‍රසිද්ධ වෙලා තිබුනා.

පිරිත් දේශනාකිරීමට පැමිනෙන ඇත්තන් බොහෝ විට ඒ සඳහා සහභාගී වන්නේ එයින් තමාට ලැබෙන පිනත්,හිතට ඇතිවන තෘප්තියත් සලකාගෙනයි. ඒ නිසා බොහෝ ගෙවල් වලින් උත්සාහ ගන්නේ පිරිත් කීමට පැමිනෙන ඇත්තන්ට හැකි උපරිම අයුරින්,හොඳින් සංග්‍රහ කිරීමටයි.පිරිත් කියන අය බොහෝ විට එම ගෙදරට පැමිනෙන්නේ රත්‍රී 7න් පසුවයි. ඒ නිසා ඔවුන්ට රාත්‍රී අහාරය එම නිවසින් පිරිනැමේ.

 සමහර මිලමුදල් යහමින් ඇත්තෝ මෙම ආහාර වේලට මාංශ ද එකතු කරගෙන, පිරිත් පැත්තක තබා..හොඳහැටි බැනුම් අහගත්වාර ඇතිබව ගමේ බොහෝ ඇත්තන් දනී. නැවත ව්‍යංජන පිලියෙල කිරීමට ගෙදර ඇත්තන්ට සිදුවන්නේ උම්බලකඩවත් නොදමාය. ඒ පීරගම මාමාගේ හැටිය. 

පිරිත්කීම අවසන්වන පසුදා සියලුදෙනාටම යම් ත්‍යාගයක් නිවසින් පිරිනැමේ.එහෙත් ඒසඳහා අඩුමිල සරමක් හෝ ඇඳ ඇතිරිල්ලක් වැනි දෙයකට එහා ගියා දෙයක් කීයටවත් දෙන්නට දෙන්නේ පීරගම මාමානම් නොවේ. හේතුව මෙලෙස එතුමා කියයි..

"ලොකු දරුවෝ...සල්ලි තියෙන මිනිස්සු..හොඳ..හොඳ.. තෑගි දුන්නම , ගෝලයො ටික හැම තැනදිම එහෙම බලාපොරොත්තුවෙනව...ඒ පාර සල්ලිය බාගේ නැති ඇත්තන්ට පිරිතක් කියන්න ලැබෙන්නෑ..! ඒ නිසා මේ යන විදිය හොඳා..!"

තවත් මෙතුමාගේ විශේෂ දක්ෂතාවයක් තිබුනා. ඒ පොඩි අයට හැදෙන උන රෝග , බඩේ අමාරු වැනිදේට සිදුකරන තෙල් මැතිරීමත්, බොහෝ අයට සිදුකරන දෙහි කැපීමත්, යන කාරනාවලට.එමෙන්ම ජීවං කරන ලද යන්ත්‍ර දැමීමට.

මේ කාලයේ නම් අඩි 100න් 100ට ඇති තරම්  ඩිස්පැන්සරි තිබුනත්..මීට අවුරුදු 20කට පෙර එසේ නොවේ. රජයේ රෝහල පමනක් පිහිටට තිබුනු නිසා උන වැනි රෝගයක් සතියක් වැනි කාලයක් සුවනොවී තිබීමත්, වරින් වර නිතර උන,හෙම්බිරිස්සාව හැදේනම් බොහෝවිට කලේ පීරගම මාමා කැඳවා පිරිත් බලයෙන් සිදුකරන තෙල් මැතිරීමයි.මේ කටයුත්ත අනිවාර්‍යයෙන්ම ගමේ ඕනෑම නිවසක සිදුකරන දෙයකි.

කුඩා කල මාද මේ අත්දැකීම සුලභව අත්දැක ඇත්තෙමි.මා පමනක් නොවේ මාගේ සහෝදරියටත්, සහෝදරයාටත්  යම්,යම් අසනීපවලදී මෙලෙස තෙල් මැතිරීම කරනු අත්දැක ඇත්තෙමි.
කෑම මේසවලට තියනප්‍රමානයේ පු‍ටුවක පිරිසිදු කෙසෙල් කොලකෑල්ලක් තබා ඒමත පුවක් මලක්,විවිධ පැහැති මල් ,පොල්තෙල් පහනක්,හඳුන් කූරු මිටියක්, පීරිසි ත‍ටුවට ගත් පොල්තෙල් ටිකක් යනාදී වශයෙන් අඩුම කුඩුම රාශියක් තබනු ලැබේ.

 අනතුරුව අමු කහ කැබැල්ලක් කුඩාවට ලියා පොල්තෙල් ඇති පීරිසි ත‍ටුවට දමනු ලැබේ. සියල්ල සූදානම්ය.පීරගම මාමා  පැමිනෙන්නේ සුදුවතින් සැරසීය. වතුර භාජනයකට කහ කොල කැබැල්ලක් දමා කවලම් කර..ඒ ජලයෙන් මුහුනකට සෝදා ගනී. 

පන්සිල් සමාදම් වීමෙන් අනතුරුව, අමු ඉර‍ටු කැබැල්ලකින් පීරිසි ත‍ටුව තුල ඇති දෑ කවලම් කරමින් ඔහුගේ පිරිත් සජ්ජායනාව පටන් ගනී...මධ්‍යම රාත්‍රිය තෙක්  එකම ආකාරයෙන් සජ්ජායනා කෙරෙනා මේ පිරිත් අසා සිටිනා අපට ලැබෙන මානසික සුවයනම් කිසිදිනක වචනයෙන්  විස්තර කරන්නට සිංහල හෝඩියේ  වචන මදිය. සමහර වෙලාවට පිරිත් අහවර වෙනකොට ලෙඩෙත් අහවර වෙලාය.
අපේ නිවසේ මෙවන් කටයුත්තක් අවසානයේ මාගේ පියා විසින් අතමිට මොලවන මුදල කිසි දිනක මෙතුමා ගත්තේ නැත.

"මම කොහොමෙයි බාසුන්නැහැගෙන් සල්ලිගන්නේ..!" යනුවෙන් පවසා හිමීට කන්ද බැස නොපෙනී යන්නේ අම්මා සාදා දුන් තේ කෝප්පයෙන් අඩක් පානය කල පසුවය. 

එහෙත් අම්මා පසුදිනම හාල්තුනපහ ‍රැගෙන පීරගම මාමාගේ නිවස වෙත යන්නේ ඔවුන් අමාරුවෙන් ජීවත් වන ඇත්තන් වන නිසාමයි.

මාකුඩා කල ඔවුන් විසුවේ ප්‍රධාන පාර අභියස උවත් තමන්ගේ ලොකු පුත්‍රයාට එම නිවස පරිත්‍යාග කොට එතුමන් තම හාමිනේ සමග  ටිකක් ඈතට වන්නට පිහිටි ඉඩමක ඉදිකල ක‍ටුමැටි නිවසක පදිංචියට ගියහ. 

එම නිවස ක‍ටුමැට්ටෙන් එහාට ගියේ නැත්තේ මුදල් හදල් අතමිට නැතිවූ නිසාම නොවේ...ඒ ලැබෙන කිසියම් වූ මුදලක්  වෙතොත් එය තමන්ගේ හිතවත් පන්සලක් වෙත යම්කිසි කටයුත්තක් සඳහා පරිත්‍යාග කිරීමට තරම් නිර්ලෝභී වුන නිසාමයි.එම නිවසේ තිබුනේ වැල් කැඩීගිය පු‍ටු කීපයකුත්..පරනවූ මේසයකුත් පමනි.ඔහු නිදාගත්තේ ගෙයට ආඳා වහලය දික්කර කනු දෙකක් මත ‍රැඳවූ..අගුවේ නොහොත් ඉස්තෝප්පුවෙ වු පැරණි ඇඳකය.  එම ගෙට තිබුනේ සාලයත්,කාමරයක් පමනි.
එහි සාලයේ අඩි 3ක් පමන වූ බුදු පිලිමයක් මේසයක් මත තබා වැඳුම් පිදුම් කලේය.

මෙතුමත් මාත් අතර මිතුදම ගොඩ නැගෙන්නේ මාගේ වෘත්තීය ජීවිතය නිසාය. 
බොහෝ වෙලාවට ඕනෑම කෙනෙක් ගෙයක් අත්තිවාරම් දමන දිනයේ උදේ පිරිත් කියා තෙරුවන් සිහිකර මේ සුභ  කටයුත්ත පටන් ගනී . ඒසඳහා බොහෝවෙලාවට පීරගම මාමා ඇතුලු පිරිසක් පැමිනෙන අතර...දිගින් දිගට හමුවීමේ ප්‍රතිඵලයක් ලෙස අප අතර මිතුදම ගොඩ නැගිනි. 

මා,මා හට ආවේනික ලෙසත්, ඉපැරණි වාස්තුවිද්‍යානුකූලවත් මේ කටයුතු කිරීම ගැන නිතරම එතුමා මා සමග ප්‍රශංසා ගුනයෙන් කතා කලා මතකය.එහි ප්‍රතිඵලයක් ලෙස මාහට මාගේ වෘත්තීය ජීවිතය සරුවන්නට කියා ස්වර්ණමාලී ගාථා තඹ පත් වල ලියා ජීවං කොට ලබා දුනි. එය මාගේ කාර්‍යාලයේ තවමත් මා වැදුම් පිදුම්කරන බුදුපිලිමය අසල තබා ඇත්තෙමි.

තමන්ගේ වියදමින් මදක් කැලයට වන්නට ඇති ආරන්‍යක් සදහා   ගොඩනැගිලි,කුටි ආදිය ඉදිකර දී තිබුනි. ගමේ පන්සල සමඟ එතරම් සම්භන්ධයක් නොතිබු අතර ඊට හේතු වූ කාරනා කුමක් උවත් අප කුඩා කාලයේ පොහෝ දිනට පන්සියපනස් ජාතකකථා පොත්වහන්සේ  පෙරලාගෙන සියලු උපාසක ඇත්තන්ට ධර්මය දේශණා කල අයුරු මට තාමත් මතකය.

මෙලෙසසිටි මෙතුමාගේ ජීවිතය පෙරලීමට ලක්වූයේ මේ මෑතකය.

කාලයක් තිස්සේ රාත්‍රියට නිදිවැරීම නිසා මෙතුමාට සෙම් අමාරුව දැඩිව බලපා තිබුනි. බොහෝ වෙලාවට සෙමට පානයකරන බෙහෙත් අත‍රැඳි ගමන් මල්ලේ තිබුනි.නමුත් වයසත් සමග මේ අසනීපය සුව නොවුනත් පානය කල බෙහෙත් නිසා...තට්ටම් ප්‍රදේශයේ ගෙඩිහට ගැනුනි. මෙය එතුමාට දැඩි වේදනාගෙනදෙන්නක් වු අතර මේ නිසාම නිදිවරන පිරිත් ගෙවල්වලට සහභාගීවීම නවතා තිබුනි..!


මීට අවුරුද්දකට ,දෙකකට පෙර අපට ලැබුනු අප්‍රසන්න ආරංචිය වූයේ පීරගම මාමා මත්පැන් වලට ඇබ්බැහි වී ඇති වගයි..!

හිතා ගන්නත් බැරිය. අපට අවවාද අනුසාසනා දුන් මෙතුමා...මෙලෙස වූයේ කෙසේද..?

"අන්න බං පීරගම මාමා වත්තට යන පාරෙ බෝක්කුවෙ පල්ලේ වැටිලා කනපැලෙන්න බීල..!" බොහෝ දවස් වල කොල්ලෙක්ගෙන් ලැබෙන ආරංචිය වූයේ එයයි.

ගමේ බොහෝ අය පවසන්නට වූයේ අපූරු කතාවකි. එනම්  පලාතේ ජනප්‍රිය වෙදැදුරු වරයකු පැවසූයැයි කියා දිනකට අරක්කු වීදුරු බාගයක් කෑමට පෙර බීමට පටන්ගත්තේලු එවිට..සෙම අඩුවන බවකීවා.... යනුවෙන් පවසා සුලුවෙන් පටන් ගත් බීමඔහුට නොදැනීම බෝතල් භාගයක් දක්වා වැඩිවී..අනතුරුව කානුපල්ලේ වැටෙන තරමට මොහු අගාධයට වැටී ඇති බවය..

අහෝ ඛේදවාචයක තරම ...අන්තිමට අතේ මිටේ මුදල් නැති වූ විට හොර පොට් එකකින් කෂියා ෂොට් එකක් දාගෙන කානුවක් පල්ලේ වැටී කාගේ හෝ කර මතින් ගෙදරට යාමයි..!

මෙය අදහාගත නොහැකිව මා සමග මිතුරන් කීවේ  මෙය නම් වස්වැදීමක් විය හැකි බවයි..! 

පසු කාලිනව ඔහුගේ පුතාට මෙයට පිලියමක් නොවූ කල හැමදාම ගල් අරක්කු භාගයක් ගෙදරට යැවීම කලේලු.ඉන්පසුව  ඔහු පාඩුවේ නිවසට වී සිටියේය.

ගමේ මිනිසුන්ට ඔහු අමතක වුනා...ඔහුගේ හොඳ පැත්ත වසාගෙන නරක පැත්ත මතු උනා..! කෙනෙක් පාරේදි හමු උනත් අහකබලාගෙන ගියා. ගමේ ප්‍රභූ පිලිගැනීමක් ඇත්තකුට අන්තිමට කිසිම පිලිගැනීමක් නැති උනා.

කාලය ගෙවී ගියා..................!

මෙයට මාස ගනනකට කලින් ඔහු අභාවප්‍රාප්ත වුනා..!

කනගා‍ටුවට කරුන වන්නේ එතුමා වෙනුවෙන් දුක් වන්නට කිසිම කෙනෙකු නොමැති වීමයි. මලගෙදරට පවා බොහෝඅය නෑවිත් බැරි කමට ඇවිත් ගොස් තිබුනේලු. අවසන් කටයුතු සිදුකරන දිනයේ සිටියේ අතේ අඟිලිගනනට ආසන්න ගනනක්. එතුමා පිහිට වූ ආරන්‍යසේනාසනයේ සංඝරත්නය ඇරුනාම හාමුදුරුවරුන්ද හිටියේ අඩුවෙන්.

මීට කාලයකට ඉස්සර ගමේම මිනිසුන්ට පිහිටවු, මුදල් මතම නැතිව සෙත්සාන්ති කටයුතු ඉ‍ටුකරපු මෙතුමාගේ වර්තමානය ගැන පමනක් හිතේ තබාගෙන මිනිසුන් කෙලෙහි ගුනය සලකාපු හැටිදමේ..??
මෙර කාරනය මගේ හිතේ වද දෙන කාරනයක් උනා.. ඇයි ..මිනිසුන්  ඒතරම් මිය ගිය කෙනෙක් ප්‍රතික්ෂේපකලේ...! ඇත්ත........ ජීවන මගේ අන්තිම කාලෙ චර්‍යාව හොඳනෑ තමයි...ඒත් මිනිස්සු එහෙම කරන ඒක හරිද..............? අනේ මන්දා..........!!!

උදේ හවස බුදුන් වඳින  වාරයක් පාසා එතුමාදීපු ස්වර්ණමාලි තඹපත දකින දකින වාරයක් පාසා මතක් වෙන්නේ ..ඔහුට එහෙම උනේ කොහොමද කියායි..!!!



පින්තූරෙ මෙතනින්,


ප/ලි.- මේ ලියමන මෙතුමාට අගෞරවක් කිරීම සඳහා නොවන බව කරුනාවෙන් සලකන්න.
(නම් ගම් මනංකල්පිතයි. සත්‍යකතාවකි)





47 comments:

  1. කිරිකලේකටම එක ගොම බින්දුවක් ඇති කියන්නෙ නිකමට නෙවෙයිනෙ මී.... අපි හරිදෙ කරද්දි ප්‍රශංසා අඩු උනාට වැරදි කරද්දි අවලාද ඔන තරම්.. ඒ ලොකේ හැටි

    ReplyDelete
    Replies
    1. ඇත්තෙන්ම..! ඒක ලෝකෙ හැටි තමයි..!!

      Delete
    2. අනිවාරෙන්ම මමත් එකගයි!

      Delete
  2. මිනිහෙක් ඇතිවෙන්නයි නැති වෙන්නයි බොහොම පොඩි කාලයයි නොවැ යන්නේ ...

    ReplyDelete
    Replies
    1. මට තාමත් හිතාගන්න බැරි ඒක තමයි...!

      Delete
  3. ලෝකයේ නියම ස්වභාවය.........

    ReplyDelete
  4. ඔහොම තමයි බන් මිනිස්සු.. තමන්ට ලැබෙනකම් හොඳයි. තමන්ට දෙන කෙනා හොඳයි.

    ඔය වගේම බීමට ඇබ්බැහි වුන මනුස්සයෙක් ගැන මාත් අහලා තියනවා.. ඇයි වෛද්‍යවරු මේ වගේ වැරදි උපදෙස් දෙන්නෙ කියන එකනම් හරිම ප්‍රශ්ණයක්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔය මනුස්සය ගමේ හැමෝටම උදව්කලා..!

      Delete
  5. honda dewal 1000k karala 1 waradak kaloth ara 1000 amathaka karala kathaakaranne 1 weredda gena..e minissunge hati..

    ReplyDelete
    Replies
    1. ඔව් උනේ එයා ජීවිතේ අන්තයටම පිරිහුන නිසා...සමහරුන්ට එපා වීමයි..ඒත් මුල් කාලෙ කල හොඳ ටිකක් හරි මතක තිබුනානම්..ඒකයි මනුස්සකම..!

      Delete
  6. අතීතයට වඩා වර්තමානයයි වැදගත්...

    ReplyDelete
    Replies
    1. ඔව් ඒක නිසා තමයි එහෙම උනේ..!

      Delete
  7. අදද මන්ද මේ පැත්තට ආවේ!
    මේ ලියන ශෛලියට මම ආසයි,අරක්කු සමහර දෙනා බෙහෙත් විදියට භාවිත කරනවා!අධි රුධිර පීඩනය වගේ තියෙන අය මන් හිතන්නේ!මේ වගේ මනුස්සයෙක් එහෙම මත්වතුරට ඇබ්බැහි වුන එකනම් කණගාටුවට කාරණයක්!

    ReplyDelete
    Replies
    1. සතු‍ටුයි..ඔබේ පැමිනීමට...මුල්වරට .
      ආයිත් එන්න.
      ඇත්තටම කනගා‍ටුයි...! හොඳට හිටියනම්...තව කාලයක් ජීවත්වෙනව..!

      Delete
  8. ජීවිත කාලේ කරපු හොද නරක කැටිව ගත් කළ හොද පැත්ත බර නම් හොද ප්‍රතිසංධියක් ලබන්න ඇති.

    ජය !

    ReplyDelete
    Replies
    1. අනිවා...! සෑහෙන්න හොඳ දේ කලා..කිසිම කෙනෙකුට කරදරයක්,හිරිහැරයක් උනේ නැහැ.
      ඔබටත් ජය..!

      Delete
  9. කොච්චර හොඳ කරත් මිනිස්සුන්ට පේන්නේ එකම එක වැරැද්ද විතරයි. දුක හිතුනා මේ කතාව අහලා. එහෙම කෙනෙක්ට මෙහෙම උනේ පෙර අකුසලයකින්ද දන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් පෙර අකුසලයක් වෙන්න ඇති...!
      ගමේ අය කියන්නෙ වස් වැදිල කියල..!

      Delete
  10. මේක නම් හරි පුදුම කතාවක් තමයි වීයා. එතකොට අර මුල් කාලෙ අච්චර ධර්මයේ ඇලී ගැලී හිටි මිනිහත් එච්චර අවබෝධෙකින් නෙවෙයි ඉඳලා තියෙන්නෙ නේද?
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude)

    ReplyDelete
    Replies
    1. තාමත්...මටත්,බොහෝ අයටත් අදහගන්න බැරි ඒකතමයි...!!!!

      Delete
    2. @ Dude

      ධම්මපදයේ එහෙම අය ගැන හොඳ ගාථාවක් තියෙනවා...

      බහුම්පි චෙ සහිතං භාසමානො - න තක්කරො හොති නරො පමත්තෝ
      ගෝපෝ ව ගාවො ගණයං පරෙසං - න භාගවා සාමඤ්ඤස්ස හොති

      මේකෙන් කියන්නේ බුද්ධ වචනය බොහෝමයක් දැනගෙන හිටියත් හුඟක් කිව්වත් ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැති භික්ෂූන් ගැන. එයාලා හරියට අනුන්ගේ හරක් බලාගන්න ගොපල්ලෝ වගේ. මොකද ඒ හරකුන්ගේ දේවල් ගොපල්ලන්ට අයිති වෙන්නේ නැහැනේ..

      Delete
    3. ධම්ම පදයේ ගාථාවක් අරගෙන පැහැදිලි කිරීම අගෙයි හසිත.!

      Delete
  11. කොයි තරම් හොඳ මිනිස් ජීවිතයක් වුණත් පාලනයක් නැති වුණහම විනාශ වෙන විදිහ.කතාව ලස්සනට ඉදිරිපත් කරල තියනවා.කාලෙකින් අලුත් ලිපියක් දැක්කේ.දිගටම ලියන්න.ජය!!!

    ReplyDelete
    Replies
    1. ඔව් තමන්ට තමන්ව පාලනයක් නැති උනොත් ජීවිතය ඉවරයි..!
      පහුගිය දවස් වල වැඩ හොඳටම , ලයිට් කැපිල්ල නිසා වැඩ හිරවුනා..!ඒකයි..!
      ඔබටත් ජයවේවා..!!

      Delete
  12. හනේ මන්දා.මිනිස්සු වෙනස් වෙන හැටි හිතාගන්න බෑ අයියේ.
    මොනවා වුනත් අද වගේ කාලෙක හිටිය යුතුම චරිතයක්.(කසිප්පු ගහන පීරගම මාමා නෙවේ)

    ReplyDelete
    Replies
    1. අනිවාර්‍යයෙන්ම පමුදි...දැන් දෙහි ටිකක් කපාගන්න,තෙල් ටිකක් මතුර ගන්න ..මේ වගේ වැඩවලට කෙනෙක් නැහැ.

      Delete
  13. දෙවියෙක් වගේ මනුස්සයෙක්ට මොකක්ද අන්තිම කාලෙ වුනේ කියලා මටත් හිතුනා... පුදුමයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මේක ඒතරම් දුර්ලභ සිදුවීමක්..!

      Delete
  14. ඕක මිනිස්සුන්ගේ හැටි තමා ඉතින්..
    හ්ම්ම්..කාලෙකින් නේ??

    ජයම වේවා සහෝ!

    ReplyDelete
    Replies
    1. මිනිස්සුන්ගේ හැටි තමා....!
      ඔව් සහෝ...විවේකය අඩුවෙන් තිබුනේ..ඒකයි..!
      ඔබටත්..ජය.!

      Delete
  15. ඒ පුද්ගලයා ගේ වෙනස් වීම නම් පුදුම දෙයක් තමයි. මොකක් හෝ අකුසලයක් විපාක දීම නිසා අවසන් කාලය ඔය වගේ ගෙවෙන්න ඇති. විෂ්ණු දෙයියොත් බටකොළ කෑවා කියනවනේ.
    පසුකාලීනව මිනිස්සු ඔහුව ප්‍රතික්ෂේප කරපු එක ගැන කියනවනම් මිනිස්සුන්ට හොඳ දාහක් කරලා එක වැරදි දෙයක් කෙරුවොත් මතක හිටින්නේ අර එකම එක වැරැද්ද. ඒක මනුෂ්‍ය ස්වභාවයක් ද මන්දා..එහෙම නැත්නම් එහෙම නැති අය ඉන්නේ කලාතුරකින්.

    කාලෙකට පස්සේ ඔබේ පොස්ටුවක් කියවන්න ලැබීම ගැන සතුටුයි..

    ReplyDelete
    Replies
    1. පුදුමයි නෙන්නම්..!
      වැඩේ කියන්නෙ හොඳටම වයස් ගත උනාමනෙ ඔහොම උනේ..!

      ඔව් චන්දන මාසයක්ම පෝස්‍ටුවක් ලියාගන්න බැරි උනා..
      ස්තුතියි..!

      Delete
  16. මේ කතාව ඇත්තෙන්ම යතාර්ථය ගැන කතාවක්.
    සරලව කිව්වොත් අපේ රටේ මිනිස්සු මුල අමතක කරනවා.
    තියෙන කාලෙට යාළුවො නැති කාලෙට අදුරන්නේවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අන්න හරි..නිශාන් මේක තමා අපේ රටේ යථාර්තය..!

      Delete
  17. මිනිස්සුන්ට මතක අන්තිමට වුණු දේවල් මිස මුලින් වුණු දේවල් නෙමේ. අනික් අතට පීරගම මාමාව සඳහටම හැමෝටම අමතක වුණු බවක් පේන්නෙත් නැහැනේ. ඔයා වගේම තව අය ඇති පීරගම මාමාගේ ගුණ සිහිපත් කරන

    ReplyDelete
    Replies
    1. ඔව් මම උනත් අන්තිම කාලෙ දැක්කම මග ඇරල ගියා මොකද සල්ලි ඉල්ලනව..ඒවයින් කරන්නෙ ,බොන එකනිසා.!
      දැන් මිනිස්සුන්ට සෙත් ශාන්තියක් කරගන්න ඕන උනාම තමයි ඔහු නැති අඩුව ගැන කියවන්නෙ.

      Delete
  18. හොඳ නරක බවට පත්වුනාම කලින් කල හොඳ මිනිස්සුන්ට අමතකවීම පුදුමයක් නෙවේ. ඒත් මට හිතාගන්න බැරි වැරදි උපදෙසක් ඔච්චර දුරදිග ගියේ කොහොමද කියල.

    ReplyDelete
    Replies
    1. අදටත් කාටත් ඇති ප්‍රශ්ණයක්..!

      Delete
  19. මම ටිකක් පරක්කුවෙල වගේ. :) ඉස්සරවෙලාම මෙහේ ආවෙ අදමද කොහේද.

    ඔහොම තමා බං ජීවිතේ හැටි. එක අතකට ඒක යුගයක අවසානයක්. ඒ වගේ හිටපු මිනිස්සු ඔය වගේ පිරිහිල විනාශ වෙලා ගියාම ඒ මිනිස්සු අතර තිබුනු ශාස්ත්‍රයත් නොසලකා හැරල නිකම්ම අභාවයට යනව.

    ReplyDelete
    Replies
    1. ඔව් මුලින්ම තමා DDT ...ස්තුතියි..! ආයිත් එන්න.
      එක් යුගයක අවසානය තම්යි..ශාස්ත්‍රය ඉවරයි..! හිතසුව පිනිස ,පිං සලකා කරපුඅයත් නෑ. දැන් ඉන්නෙ වානිජ පරමාර්තයෙන් ඕව කරන අය.

      Delete
  20. මේ වගේ කෙනෙක් ගොඩ ගැනීමට කිසිවෙක් නොහිටි එක නම් ඇත්තෙන්ම කණගාටුවට කරුණක්!!!

    වයසට පත් උනාට පස්සේ (වැඩක් ගැනීමට නොහැකි වූවිට ) ගොඩක් අයව අමතක කරලා දාන එකත් මිනිස්සුන්ගේ පුරුද්දක්...

    මේ සටහනින් වී පොකුර කරලා තියෙන්නේ ඔහුගේ ගුණ සිහි කිරීමක්. ඒක නම් වටිනවා.

    ReplyDelete
    Replies
    1. සෑහෙන්න අය උත්සාහ කලා..හරි ගියේ නැහැ. අනිත් එක එයා හිටි සමාජ තත්වෙ අනුව අවවාද දෙන්න පුලුවන් අය හිටියෙත් අඩුවෙන්.
      ඇත්තෙන්ම මට උවමනා උනේ එතුමගෙ ගුණ සිහිකිරීමත්,කොච්චර හොඳට හිටියත්,සමාජයේ යම් සුලු වරදකින්..ඕනම කෙනෙක් නොපිට යන්න පුලුවන් කියන්න.

      Delete
    2. minis sitha hari pudunmayi.waradi uadesak jewitheta lankaragaththe hoda narak 2kama me sitha piliganna nisa wenna athi namuth ohuge gunata wada noguna gana sithuwo gana dukayi

      Delete
    3. @ සිත්තමී...,
      ඔව් මටත් කනගා‍ටුවක් තියෙන්නෙ..!

      Delete
  21. මත්පැන් මිනිසාව තිරිසනෙක් හා සමාන කරනවා. කොච්චර හොඳ මනුස්සයෙක් උනත් ඒ මනුස්සයාගේ හොඳ ගතිගුණ යටපත් වෙන්න වැඩි වෙලා යන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත..කොරලේ මහත්තයා.
      ජයවේවා..!

      Delete

ආවාට ගොඩක් තුති.....!
ඇහැකිනම්....පුංචියටවත් අදහසක් දීලම යන්න...