Tuesday, March 26, 2013

පිදුරු හතු බැදුම



කුඹුරු ගැනයි,කමත් බාසාව ගැනයි කලින් පෝස්ට් දෙකක් ලිව්වත් මුලින්ම ලියන්න හැදුවෙ වෙනම දෙයක්. මේ දවස් වල කුඹුරු කැපිල තියෙන එකේ ඔය කුඹුරු වලින් සතපහකට වැඩැක් නෑ කියල ඉවතදමන "මැඩුවං"( පිදුරු) වලින් අපේ ගැමිය ගත්ත ප්‍රයෝජන එමටයි. ඉන් එකක් තමයි මේ.

පිදුරු හතු...!  ඕනම කුඹුරක ඉවත දමන දෙයක් උනත්  පිදුරු කියන්නෙ මහාර්ඝ  සම්පතක්. ගොවියාට බැත සපයාදීල ඉවත් උනාට පස්සෙ ඒ බැත ආහාරයට ගන්න ඉතා රසින් පිරි වෑන්ජනයක් සකස් කර ගන්න අමුද්‍රව්‍යත් සපයල දෙනව.

සාමාන්‍යයෙන් පිදුරු, ගොයම් පාගන පාවරෙන් ඉවත් කලාම ගොඩක් විදියට නැත්නම් පිලිවෙලක් නැතිව වීසිකරල දැමීමක් තමයි වෙන්නෙ. එහෙම උනාම මේ පිදුරු  අර ඉඳිආප්ප වැල් වක්කරනව වගේ තමයි ගොඩ ගැහෙන්නෙ. එතකොට ඔය අතරෙ යම් හිඩැසක් හිටිනව.  

පිදුරුවලට උරුම උනු යම් විශේෂත්වයක් තමා දැඩි ඌශ්නයක්,රස්නයක් ‍රැඳිල තියෙන එක. මේ රස්නය නිසා පිදුරු වැල් ඇතුලෙ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් නිසා පරිසරයට විවෘත නොවුන ඇතුලට වෙන්න මේ පිදුරු හතු වල බීජ හටගන්න ගන්නව. සමහර විට මේ දිලීර විශේෂය පිදුරු ගහටම ආවේනික ලෙස තිබෙන්නට පුලුවන් .

ඒගැන යම් පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
හොඳින් බැලුවොත් පෙනේවි කුඩා අංකුර විදියට මතුවෙන හතු.

පිදුරු ගොඩගහල දවස් හතරක්,පහක් යනකොට පිදුරු වලට ජලය,පින්න වැටෙන්න ගත්තම...ඇතුලෙ උශ්ණත්වය හොඳටම වැඩිවෙන්න ගත්තම මේ පිදුරු හතු අංකුර හැදෙන්න ගන්නව.ඇත්තටම මේ අංකුර හැටියට තමයි මේවා ආහාරයට ගන්නෙ.
දැනටත් අපේ කුඹුරු කපල මාසයකටත් වැඩියි ඒත් තවමත් හතු හැදෙනව.

අපේ  ගම්වල ස්වයංපෝශිත  ආහාර රටාවට වෙන උදාහරණ අවශ්‍ය නැතිතරම් මේ පිදුරු හතු ගැන අවදානයට ගත්තොත්. අපේ අම්මල නම් දිනපතාම ගොයම් කැපුවට පස්සෙ ආහාරයට එක්කර ගන්නෙ කිසිම වියදමක් නැතිව,ඉතා උසස් මාංශමය පෝෂණ  ගුනය තියෙන ආහාරයක් විදියට.පවුලක පස්දෙනෙක් හිටියත් මාසයක් දෙකක් පුරාවට පිලිවෙලට මේ අස්වැන්න නෙලාගත්තොත් ප්‍රමානවත් වෙනව.ඒ කියන්නෙ දිනපතාම අපිට ව්‍යංජනයකට ඇතිවෙන්න හතු ලැබෙනව.රසයෙනුත් ඉහලයි.

අපේ කුඹුරු දෙකෙන් එකක් ටිකක් ඈතට වෙන්න තියෙන්නෙ මිල්ලේදන්ඩ කුඹුරු යාය. ඒත් මගෙ මල්ලිගෙ ගෙදර තියෙන කුඹුර තියෙන්නෙ නිවසට යාබදවමයි. ඒ නිසා ඒ කුඹුරෙ මඩුවං වලින් උපරිම හතු අස්වැන්න නෙලාගන්නව විතරක් නෙවේ කොටසක් මටත් එවනව. 

ඒත් මිල්ලෙදන්ඩෙ කුඹුරුයායට  යාබදව නිවෙස්වල ඉන්න මිනිස්සු මේ හතු ආහාරයට ගන්නෙ නෑ..ඒත් ඒ යායෙ කුඹුරු හැම එකකම මැඩුවං තියෙනව.ඒ කියන්නෙ හතු අස්වැන්න ඕන තරම්.

ඒත් අපේ මිනිස්සු කිසිම ගුනයක් නැති ,මිලෙන් වැඩි බෝංචි පන්සීයක් අරන් ඇවිල්ල කෑවත් අර නිකන්ම පරවෙලායන පිදුරු හතු ආහාරයට ගන්නෙනෑ...ඉතිං කෑ ගහනව ජීවන වියදම ඉහලයි ජීවත් වෙන්න බෑ කියල.

කතා ඇති මෙන්න පිදුරු හතු වෑන්ජනය..!

ඊට ඉස්සෙල්ල මේ පින්තූර ටික බලලම ඉමු.


මේ තියෙන්නෙ පිදුරු හතු වෙනම ගත්තම.( පැහැදිලි ඡායාරූප නැතිවීම ගැන සමාව ඉල්ලනව මගේ දුරකතනයෙන් ගත්තෙ.)


මේ තියෙන්නෙ නෙලාගෙන අපද්‍රව්‍ය ඉවත් කරගත් පසු  අහුරු දෙකක් විතර  තුන්දෙනෙක් ඉන්න කෑම වේලකට ඉහටත් උඩින්.

වෑන්ජනේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය.
මෙතැන ජාති කීපයක් අඩුයි..මගේ කලබලේට ඒව සූජානම් කරන්න කලින් පින්තූරෙ ගත්තෙ.

තරමක් හීනියට ලියාගත්තු රටලූණු හෝ රතුලූණු ටිකක්.
කපාගත් තක්කාලි ගෙඩියක්.
හීනියට ලියාගත් කරපිංචා  කොල කීපයක්.
හීනියට ලියාගත්ත සුදුළූණු බිකක්.
ලියාගත්ත අමු මිරිස් කරල් දෙකක්.
අවශ්‍ය තරමට උම්බලකඩ,ලුනු,කෑලි මිරිස් ටිකක්.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සාමාන්‍ය බැදුමක් හදන ආකාරයට බැදුම හදාගන්න ඒක තමා.

තාච්චියකට තෙල් චුට්ටක් දාල...කරපිංචා,ළූණු, සුදුළූණු,උම්බලකඩ,අමුමිරිස්,කෑලිමිරිස්  ආදිය දාල ගානට බැදිල එනකොට හතු ටික දාල ටිකක් තෙම්පරාදු කරල ගානට ලුනු කුඩු ටිකකුත් එකතු කරල  රන්වන් පාට වෙනකොට බාගන්නව.( ටිකක් තැම්බෙන්න අඩු ගින්දරේ පියනකින් වහල තියන්නත් ඕන.)


පුලුවන්නම් හොයාගෙන ආහාරයට එක්කරගන්න කියල හැමෝගෙන්ම ඉල්ලාහිටිනව.
සමහර වෙලාවට පාරෙ යන උදවිය  මැඩුවං තියෙනව දැකල වෙලට බැහැල පිදුරු ගොඩ ගොඩ අවුස්සල හතු කඩන් යනව මම දැකල තියෙනව.


ප/ලි..................              මේ දවස් වල හිතේ කිසි නිදහසක් නෑ...මගේ ප්ලොටර් එක ඒක සැරේටම ඔන් වෙන්නෙ නැතිව ගියා. පවර්සප්ලයි එකේ අවුලක් කියලයි මීට කලින් හදන්න ආපු එක්කෙනාට ඇමතුක් දුන්නාම කිව්වෙ. ඒත් මෑන්ව අල්ල ගන්න අමාරුයි .අද එනව..හෙට එනව කිය රවට්ටනව දැන් සතියකටත් වැඩී තාම ආවෙ නෑ. වැඩ ගොඩ ගැහිල ප්‍රින්ට් ගන්න බැරිව. දැන්නම් අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ. ඒත් මිල තමයි දරාගන්න බැරි.මේ පෝස්ට් එක පොරොන්දු උන ඉක්මනින් දාන්න බැරි උනේ ඒකයි...!










Monday, March 18, 2013

කුඹුරයි...කලවිටයි..!


පින්තූරය ගත්තෙ අන්තර්ජාලෙන් සිළුමින කියලයි තිබුනෙ.
කුඹුර හා කලවිට කියන්නෙ ගහයි පොත්තයි වගේ.ඔය කලවිටෙන් තියෙන ප්‍රයෝජන එමටයි. කුඹුරු කොටන කාලෙට ටිකක් විඩා නිවාගන්න...ගේන අඩුමකුඩුම ගහක එල්ලා තියන්න..තේවතුර ටිකක් බොන්න වතුර ටිකක් රත්කරගන්න. ඒ විතරක්ද..ගොයම් කැපුවම ගොයම්කොලේ හදන්නෙ කලවිටේ තමා. සමහර අය ගොවිතැන් නොකරන කාලෙට කලවිට බෙදාගෙන ..මිරිස් ,වම්බ‍ටු,බ‍ටු..වගේ ගොඩ එළවලු වගා කරනව. 

ඒ වගේමයි කලවිට වටේම තිබුනෙ පුලුන් ගස්...අපේ අම්මගෙ වැඩේ මට කියල ගහට  නග්ගල පුලුන් කඩවගන්න එක. වැඩිය උසත් නෑ හරි සාරෙට වැවිල.අනික කලවිටේ එලවලු වැව්වම පොහොර ඕන්නෑ...හරිම සාරෙට බෝග වැවෙන්නෙ..අදටත් මම දන්නෑ ඒ ඇයි කියල. දැන්නම් පුලුන් ගහක් දකින්නත් නෑ.

පොලවට වඩා තමරක් උසින් තමා කලවිට තිබුනෙ.
මේ වෙල මැද්දෙ ගහක් තියෙන්නෙ කලවිටක තමා.හැබැයි අපේ කලවිට මීට වඩා විශාලයි.ඔය වගේ ලොකු ගස් කීපයක් තිබුන. (පින්තූරය නම් අන්තර්ජාලයෙන් උපුටාගත්තෙ.)

අද වෙනකොට ට්‍රැක්ටර් වලින්  කුඹුරෙ ඉඳගෙනම කපපු විගසම ගොයම් ටික පෑගුවත් ,ඉස්සර  කපන දවසට පස්සෙන්ද තමා ගොයම් පාගන්නෙ ඒ නිසා කලවිටේ ගොයම් කොල කීපයක් දකින්න පුලුවන් එක විඩේට.

 කවුරුවත් ගොයම් හොරකන් කරන බවක් අපි අහල වත් තිබුනෙ නෑ.

අපේ මිල්ලේදන්ඩෙ... කාන්ඩෙ කීපයකගෙම කුඹුරු  තිබුන. එක යායට තියෙනකොට කාගෙ,කාගෙ ඒවද..කොයි ලියැදි ටිකද අපිට අයිති කියල හොයාගන්න බෑ...එක විදියෙයි නොවැ.අනික එකම වී වර්ගය වගා කරන පුරුද්දක් ඉස්සර තිබුන.

මම ඇටෙන් පොත්තෙන් එන කාලෙ දවසක .. අම්මත් එක්ක තව ගොයම් කපන ගෑණු අය කීප දෙනෙකුත්, එකතු කරන්න එක්කෙනෙකුත් එක්ක මාත් ගියා කුඹුරු කපන්න උදේම. 
දැන් අපේ ලියැදි ටික හොයා ගන්න බෑ..තාත්තත් විශේෂ වැඩකට දුරක ගිහින්..අම්මටත් ඒ හැටි නිච්චියක් නෑ කියනව. 
දීර්ඝ සාකච්ඡාවකින්  පස්සෙ ඕන්න වැඩේ පටන් ගත්ත. ඒ වෙනකොට කපන්න ඇවිල්ල හිටිය ඈයො කන් කෙදිරි ගගා හිටියෙ අව්ව වැඩිවෙන්න කලින් ඉක්මනට වැඩිහරියක් ඉවර කරන්න ඕන කියල.ඉක්මනටම .

ලියැදි දෙකක් කපනකොට තාත්ත ඈත ඉඳන් මොනවද කිය කිය එනව අත් දික්කර කර....අපිත් කට ඇරන් බලා හිටිය වැඩේ නවත්තල..තාත්තත් ඉතිං ගිනිපුක් කාරය නෙවැ..තද වෙලා වෙන්න ඇති කියල මොකකට හරි.

ඇයි බොලව් ඕච්චර කාලයක් කුඹුරට  එන බොලාට අපේ ලියැදි ටික මතක නැද්ද...? ඔය කපලා තියෙන්නෙ කඩේ ගාමිණිගෙ කෑල්ල නේ...!!

මල හත්තිලව්වයි තව ටිකයි කිව්වලු..! අපිට දෙලෝ රත් උනා ඇයි දෙයියනේ ඒ වෙනකොට ලියැදි දෙකක් කපල තිබුනෙ. 
තාත්ත මුකුත් කිව්වෙ නෑ..තව "පාවර"ක් හදපල්ල කිව්ව.

 එකතු කරමින් හිටපු "ගොයම් කොලේ" එහෙම්ම ඉටිකොලේකින් නොතෙමෙන්න ආවරනය කරල..අපි වෙනම මෙහායින් පාවරක් අලුතින් හැදුව.

ආයිත් මුල ඉඳලම ගොයම් කපන්න ගත්ත..අත්තමට ආපු අය "හුම්"...කිව්වෙ නෑ ගොඩක් වෙලා යනකං ඇයි..උන්ට කේන්තිනේ..

අන්තිමට තාත්ත ගොයම් පාගල ඉවර උන පස්සෙන්දම අත්තමේ සල්ලි වලට අමතරව වී කුරුනි පහ ගානේදුන්න.

තාත්ත තකහනියක් ගිහිල්ල කඩේ ගාමිනිට විස්තරෙ කියල ආව. ඒ අයනම් සතු‍ටුවෙයි  ඇයි අත්තමක් විතර අඩුවෙන්නෙ යන්නෙ ඒ ගොල්ලට කුඹුරු කපන්න.

ගොවිතැන් කරන අය අතර තිබුනු විනය,සංවර කම ගැන මතක් වෙනකොට පුදුමයි. කවදාවත් තව කෙනෙකුගෙ අබ ඇටයක දෙයක්වත් ගන්නෙ නෑ...හිතරිදවන්නෙ නැහැ.

අනිත් එක තමයි එකිනෙක අසල තියෙන,කුඹුරු දෙකක්නම් එකක වැඩ වේලාසනින් ඉවර උනා කියල ඒ අය පිටත් වෙලා යන්නෙ නෑ. අර අනිත් පරක්කු වෙන අයගෙ ගොයම් ටිකත් කපල දීල දෙගොල්ලොම එකට ඇඟපත හෝදගෙන තමයි කුඹුරෙන් යන්නෙ.

පස්සෙ පස්සෙ ඔය චාරිත්‍ර නැතිවුනා..දැනටත් යන්තමට ඉතිරියි අපේ තාත්තල වගේ පිරිස නිසා. 

වතුවල ඉන්න දෙමල අය කම්කරු හිඟයට පිලියමක් ලෙස සමහරු උපයෝගී කර ගත්ත. ඒ නිසා මේව පරිහානිය ඉක්මන් උනා.

මට අදවගේ මතකයි. පොඩිකාලෙ ගොයම් පාගන වෙලාවෙ කා‍ටුව නිසා බැත එකතුවෙන පාවරට සෙරෙප්පු දෙක දාගෙන ගිහිල්ල කලවිටෙන් එලියට යනකන් කනේ පාරවල් කීපයක් කෑව..තාත්තගෙන්...!

************************************************************
ප/ලි.        ....... ලියන්න ගත්තෙ වෙන එකක් අන්තිමට මතක ගබඩාව අවදි උනා.ඒ නිසයි මේ ටික ලිය උනේ. පිදුරු හතු දන්නෙ නෑ කියල සමනලී කියල තිබුන හින්ද පිදුරු හතු ටිකක් උයන හැටි ගැන දාන්නයි හිතුවෙ පස්සෙ දාන්නම් පොටෝ ටික තීනවනෙ.




Thursday, March 14, 2013

ඉපනැල්ලෙ...ගොයම් කොලේ


ඉර ගිණිබෝලයක් වගේ ඈතට පෙනුනට දැන් හවස හයත් පහුවෙලා.ඒත් ගිනිකූටක අව්ව තාමත් එහෙම්ම තියෙනව.ඈත වෙල ඉස්මත්තෙ කලවිට අද්දර හිස් බිමේ වගේම තවත් ලියැදි කීපයකම මිනිස්සු කඩිගුල වගේ වැඩ. වෙලාවකට හිතෙනව මේ ලංකාවෙ මිනිස්සුමද ...කියල. ඔව් අපේ මිනිස්සුම තමා.

මේ දවස්වල පහතරට තෙත්කලාපයේ වෙච්ච අපේ ගම්වල කුඹුරු කපන කාලෙ.එහෙම නැත්නම් ගොයම් කපන කාලෙ. 

අපේ ගම් වල වෘත්තීයමය ගොවියො දැන් ඇත්තේම නැහැ. ඉස්සරත් හිටියෙ නැති තරම්.රජරට,ඌව,දකුණෙ ඈතට වෙන්න වගේ විශාල කුඹුරු ඉඩම් මෙහේ ඇත්තේම නැති තරම්.කුඩා කුඩා ලියැදි වලින් පිරිච්ච වී කුරුනි 6ක් හෝ 12ක් වගේ තමයි ගොඩක් අයට තිබුනෙ. ඊට වඩා වැඩිපුර තිබුන අයත් හිටිය ඒත් අඩුයි. මහනුවර පැත්තෙ වගේ හෙල්මලු ක්‍රමේ නම් ඇත්තේම නැහැ.

අහස් දියෙන් වගාකරන නිසා කාලවකවානු වලට නියමිත පරිදි කුඹුරු වගා කිරීම  සිදු උනා. ඒ නිසාම ගොයම් කපන්නෙත් එක කාලයට. හැමෝම එකා වගේ මහන්සි වෙනව. පාරෙ යනකොට නාස්පුඩුවලට දැනෙන නැවුම් ඉපනැල්ලෙ සුවඳ...අපේ ලේ නහර වල,ජානවල තැම්පත්වෙලා තියෙන බතබුලතක හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.


මේ දවස් වල උදේ හවා කාර්‍යාලයට යනෙන මට කුඹුරු ඉසව්වෙදි නැහැයට දැනෙන මේ පඬු ඉපනැල්ලෙ මිහිරි සුවඳත් ඒක්ක හිත අතීතයට යන්නෙ නොදැනුවත්වම.
මේ තියෙන්නෙ මිල්ලේදන්ඩ  කුඹුරු යාය.දැන් ගොයම් කපල ඉපනැල්ල විතරයි. හරක් තමයි දැන් අයිතිකාරයො.
අපේ තාත්තටත් කුඹුරත් තිබුන. එක යායකට තිබුන ඒ වෙල් ඉසව්වට කිව්වෙ.."මිල්ලේදන්ඬ " කියල. සින්නක්කර ඔප්පුවල සඳහන් වෙන්නෙ එහෙමයි.අක්කර බාගයයි,නැත්නම් වීකුරුනි 6යි.මගේ තාත්ත පෙදරේරුවෙක් උනාට කුඹුරු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.  අද කාලෙ වගේ නෙමේ. තනිකරම මිනිස් ශ්‍රමය විසින්ම තමා කුඹුරු කලේ.

මුලින්ම වේලි බඳිනව..කුඹුරු කපල කාලයක් වෙන නිසා මේ වෙනකොට ගමේ එළ හරක්,මී හරක් අරක් අරගෙන ඉන්නෙ.උන්ගෙ කුරවලට වේලි යන්තම් පස්ගොඩක් බවට පත්වෙලා ඉවරයි. දෙන්නෙකුට දවස් දෙකක වැඩ තියෙනව.අනික් කාරනය වේලි බැන්දම ඒවයෙ තියෙන තණකොල මැරෙනව. ඔය කුඹුරු කොටන කොට දෙපාරක් කොටන්නෙ ඒකනෙ. මුල් කෙ‍ටුමෙ තණකොල තියෙන පස් උදලු පාරට පේලියට පෙරලාගෙන යනව. ඊට පස්සෙ ලියදිවල වතුර බඳිනව.තියෙන තනකොල ඔක්කොම තැම්බෙනව.ඊලඟට දවස් හතකින් විතර අර තැම්ඹුන පිඩලි ටික නොපිට හරවනව..ඒක  දෙකෙ‍ටුම් කියල කියනව. ඉන්පස්සෙ තමා වපුරන්නෙ.

ඔය සිද්ධි දාමය දැන් වෙනස් වෙලා..මුලින් වස ගහනව. දවස් කිහිපයයි කෙලින්ම කොටල වපුරනව. අත්ටැක්ටරෙන් හාන එකත් ජයටම කෙරෙනව.මීහරක් දාල හාන එකනම් කෙරෙන්නෙම නැති තරම්.ඒත් සාර්ථකම ක්‍රමය ඒක කියලයි වැඩිහිටියො කියනව මට ඇහිල තියෙන්නෙ. 

මී හරකගෙ ඇඟ හරිම ඌශ්ණයි.උන් දවස තිස්සෙම මඩේ ලැගල ඉන්නෙ ඔය ඌශ්ණය අඩුවෙන්න කියලනෙ කියන්නෙ. උන්ට පෑගිලා ඇඹරිලා  මැඩවෙන පොලවෙ කාලයක් යනකන් වල්පැල වැවෙන්නෙ නැහැ. වෙන හේතුවක් තියේද මන්ද..?

වස ගැහැව්වමත් වෙන්නෙ ඔය සිද්දියම බරපතල විදියමටම තමා.ඒත් වස වලට පොලොවෙ ඉන්න ගොයම් ගහට හිතකර සත්තු ඉඳල ..වතුරෙ ඉන්න මාලුවා පවා මැරෙනව. අනතුරු දායකම වැඩේ  ඔය විස කාලයක් යනකන් ඉවත්වෙන්නෑ..කුඹුරට බහින ගොවියට විසක් බවට පත්වෙන්නෙත් ඕවම තමා.

අපේ තාත්ත කාලෙකට උඩදි කුඹුරු වැඩවලට සම්බන්දවීම අතහරින්නත් හේතු උනේ වස. වස ගහල කුඹුරු කොටන අයගෙ කකුල් වලට විවිධ ලෙඩ හැදෙනව.විස බිබිලි දානව,කහන්න අර ගන්නව,දැවිල්ල ගන්නව. අපේ තාත්තගෙ කකුලෙ සුව නොවන තුවාලයක් ඇති උනා වස වලට.

තාත්තගෙන් මට අක්කර බාගෙ කුඹුර අයිති උනත් මට ඔය කෙරුවාව කරගෙන යන්න අමාරුයි.එකසැරයක් හරි කුඹුරකට බැහැලම බලන්න ඕන රඟේ. දැන් කුඹුරුවැඩ වලට මිනිස්සු අඩුයි.හැබැයි ඉන්න මිනිස්සු ටික ඒ කාලයට අල්ලගන්නත් අමාරුයි. කොහොම උනත් දැන් දැන් කුඹුරු කරන අය අඩුයි.කොහොමත් ලාබයක් නම් නෑ...හිතේ සතුට විතරයි තියෙන්නෙ.


මට හිතුන කුඹුරු වැඩත් එක්ක ගෑවිච්ච..වචන, භාණ්ඩ ගැන දන්න විදියට ලියන්න. අඩුපාඩු තියේනම් කියමු.මට බැරිඋන ඔයාලට මතක් උන වචන තියේනම් ලියමු.
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
මඩවන්න ගත්තෙ මීහරක්,ගොයම් කපල පාගන්නත් මීහරක් හවුල් කරගත්ත. ඒත් අපේ පැත්තෙ නම් මම දැකල නෑ. අඹ යාලුවෝ ටෙලිනාට්‍යයේ තිබුනෙ. උන්ට කිව්වෙ "අම්බරුවෝ "
                                                                         (මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
වේලි වලින් වෙන් කරල ලියදි හදනව. 
ලියැද්දෙන් ලියැද්දට වතුර ගන්න පිටවානෙන් වක්කඩයක් බඳිනව. පිටවාන කියන්නෙ...මුලු කුඹුර වටා ජලය ගෙනියන ප්‍රධාන ඇලට. පිටවානෙ ඉවුර කපල හදන සිදුරට වක්කඩේ කියනව.
කුඹුර කොටල හෝ  සීසාල ...තරමක් පැලවුන වී ඇට ඉහිනවට කියන්නෙ...වපුරනව .

දිනෙන් දින ගතවෙලා ගොයමේ මල් පීදෙන..පිපෙන කාලයට 
හීන් බන්ඩි..ඊටපස්සෙ ගොයම් මල් ඇට බවට පත්වෙනකොට මහ බන්ඩි.
ගොයම් කපනකොට වී ඇට බිත්තර.
ගොයම් කපල ගොඩක් විදියට එකතු කරන තැන පාවර.
එකතුවන ගොයම් ගොඩ ගොයම් කොලේ.(ඉස්සර නඩුවකටත් ඈඳල කියන්නෙ..ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල)
ගොයම් පාගල ඇට එකතුවෙනකොට බැත කියනව.
ගොයම් කපල ගන්නකොට ගහේ මුල්හරිය ඉතුරු වෙද්දිනේ කපන්නෙ. ඒ ඉතිරිවන ටික ඉපනැල්ල.
පාගල ඇට වෙන්කරගෙන වීසිකරන ඉතිරිහරිය මැඩුවං(හරක්ට කන්න දෙන්නෙ.)
වී වේලන්න ගන්නෙ මාගල(දිග විශාල පැදුර)
වීවේලනකොට දුහුවිල්ලක් වගේ කොටසක් තියෙනව කා‍ටුව .

අපේ ගෙවල් වලට වී පුරවල ගේන ගෝනි උඩ නගින එක අපේ ජොලිවැඩක් තාත්ත හරි අම්ම හරි දැක්කොත් ගුටියක් තමා..දරුවො කන බත් පතනේ..පව් සිද්දවෙනව.

ඉස්සෙල්ලම අලුත් හාලෙ බත් කන එකත් පූජාවක් වගේ.මාලුපිනි මොනව හරි එක්ක පපඩම් බැදල,කටට රහට කෑම හදල මුල්ම කොටස එලිමහනෙ රාත්‍රී 9න් පස්සෙ පූජාවක් තියනව.වතුරත් තියනව.අස්වැන්න සරු උනාට පිංදෙනවා.

අදවගේ මතකයි. එදාට තාත්ත වෙලාසන නාල පිරිසිදු වෙලා..ත‍ටුවක් හදනව...ගොට්ටක් වගේ අපේ ගෙදර තියෙන ගල උඩ තමා පූජාව තියන්නෙ.මැටිපහනකුත් පත්තුකරනව.

අලුත් හාලෙ තියෙන නැවුම් සුබුඩ්ඩ නිසා බත් පුදුම රහයි. දැන් සමහරු හාල් ඇටේ සුදු වෙනකන් පාහිනව.ඒත් අදටත් මම ආසම හොඳට රතුපාටට සුබුඩ්ඩ තියෙන හාල් වලට. කියන්න බැරි උනා අපි වගා කලේම රතු හාල් වී...........බෝඹුවල,හීනටි,සුවඳැල්,...තව ඒව මතක නැහැ. 
දැන්නම්...තනිකර අංක වලින් කියන වී වර්ග..අස්වැන්න හොඳයි කියනව...ඒත් ලෙඩ වැඩී.

ඒත් මගේ කුඹුර මම මල්ලිට දුන්න.

Wednesday, February 20, 2013

කන්ගැට්ටාගේ ඇටසැකිල්ල..!



පොසොන් මාසය කියන්නෙ කොලුවයසෙ හිටිය අපිට සැනකෙලි සමයක් කිව්වොත් අතිශයෝක්තියක් නොවේ.මීට අවුරුදු 10කට15කට පෙර, තරුණ තරුණියන්ට විනෝදවීමට තිබුන උත්කර්ශවත් කාල සමයක් තමා..වෙසක්,පොසොන්,ඇසල කියන ප්‍රධාන පොහොයවල් පිහිටල තිබුන මාසයන්.

විවිධ පලාත්වලට ආවේනික ලෙස මේ මාසයන් තුල විවිධ උත්සවසිරියක් ගන්නව. සමහර පැතිවල වෙසක් පෝයට තොරණ,කතුරු ඔන්චිල්ලා , වලේ බයිසිකල් , මැරිගෝරවුම් යනාදී විවිද දේවල් ඉදිවෙනව.අපේ ගම්පලාතේ තොරණ ඉදිවෙන්නෙ පොසොන් පෝය ආශ්‍රිතවයි.ඒක කාලයක් තිස්සෙ පැවත ආපු දෙයක්.

මේ කියන පොසොන් පොහොය ආශ්‍රිතව අපේ ගම්පලාතෙ ටවුන් එකේ  තොරණක් ඉදිවෙලා තිබුන.අඩි60ක් විතර උසට ඉදිවෙලා තිබුනත් ,පටන්ගන්න කලින්ම අහස උසට ඉන්දල තිබුන පුවක් ගස් වලින් තොරණෙ ප්‍රමාණය කියන්න අහැකි.  

ටවුන් එකේ ඉඳල අපේ ගෙවල් හරියට වංගු දෙකයි ,නැත්නම් හෝල්ට් දෙකයි. ඒ නිසා රාත්‍රියට තොරණ් බලන්න හැමෝම යන්න ඕන අපේ ප්‍රදේශය පහුකරල.යන්තම් රෑ වෙනකොට....ත්‍රීවීල් වල,ලෑන්ඩ්මාස්ටර් වල බයිසිකල් වල යන පවුල් පිටින් උදවිය අතරේ අහැට කනට පේන ගෑණුලමයි දිහා බෙල්ල උලුක් වෙනකන් බලන් ඉන්නවා ඇරෙන්න ..අපිනෙවෙයි තොරණ පැත්තෙවත් යන්නෙ.

තොරණ ඉදිවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ කොලු නඩේ හිටිය කන්ගැට්ටට අමුතුම අදහසක් පහලවෙලා තිබ්බ.

 කන්ගැට්ටා කිව්වට ඌට වෙන හොඳපිරිසිදු නමක් තිබුන ඒත් මේ නම පට බැ‍ඳෙන්න හේතුව වෙන එකක්.එක කනක කන්පෙත්තෙ පිටිපස්සෙ   දොඹගෙඩියක් තරම් ලොකු ගෙඩියක් තිබුන නිසා කන්ගැට්ටා වෙල පස්සෙ නිකන්ම ගැට්ටා උනා..මේ නම කිව්වම අහල ගං හතක් උනත් ඌව අඳුනනව.හැබැයි ඉන්න තැන ඒ නම කියන්නෙ නැහැ ...ඇහුනොත් අසූහාරදහසට තද වෙනව.

මීට කලින් වෙසක් පෝයට කොහේ හරි තැනක දැක්ක නිසා . කියන්න යන මේ අදහස පහල උනා කියල තමා ගැට්ට කිව්වෙ.  සම්පූර්ණ මිනිහෙකුගෙ තරමට මිනිස් ඇටසැකිල්ලක් නිර්මාණය කරල , රූකඩ වගේ නූල් දාල නටවමු කියලයි කිව්වෙ.

දැන් වැඩේ මේ ඇටසැකිල්ල හදන්නෙ මොනවයින්ද කියන එක...කවුරුවත් දන්නෙ නැහැ.  දීර්ඝ කතාබහකින් පස්සෙ තීරණය උනා අඟලෙ ඝනකම රිජිෆෝම් වලින් හදමු කියල.

ඔන්න වැඩේ මට බාර උනා. මිනිස් ඇටසැකිල්ලක නියම ස්වරූපය,ප්‍රමාණය හොයාගත්තෙ විද්‍යාපොතකින් . පොතේ නම නම් දැන් මතක නෑ.


හැමෝගෙම පුදුම උනන්දුවක් තිබුනෙ. රිජිෆෝම් ශීට් එකේ මුලින් හැඩය ඇඳල කපාගන්නව ඊටපස්සෙ නෝට් එකේ වැලිකඩදාසි වලින් මැදල ගානට රවුම් කරල හැඩය ගන්නව. ඉල ඇට, ඇඟිලි,උකුලේ ඇට,කකුල් අත් වල ඇට මේ සියල්ල හදන්න පුදුම කට්ටක් කෑවෙ..දිවා රෑ මහන්සි උනා. ඒවගේම වැරදුනා...බරගානක් ශීට් අහක ගියා.

ගොඩක් අය මේ වැඩේට සහාය දුන්න.මූනෙ රෙදි කෑලි ගැටගහගෙන බොහොම සංයමයෙන් තමා කරන්න ඕන. කොහෙද අපේ වසවර්තියො නඩේට එක විදියකට ඉන්න පුලුවන්ය පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් දඟලල රිජිෆෝම් වලින් ගහ ගන්නව...ඉතිං කැඩෙනව. ගැට්ටට මල...!කුනුහරප ඉවරයි.

මේ වැඩේ කලේ අපේම යාලුවෙක්ගෙ ගෙදර වැඩ ඉවරනොවුනු කඩකාමරයක් ඇතුලෙ.දිවා රෑ 10ක්12ක් නිතරම එහේ පිරිල.අන්තිමට ගෙදර කට්ටියට ගැට්ටට වැඩිය වියදම් ගිහිල්ල තිබුන මුන්ට කන්න දීලම.ඒමිනිස්සුන්ට ගොය්තැන් බත් තියෙන හින්ද හොඳයි.


ශරීර කූඩුවෙ තිබ්බ ඇට කොටස් සියල්ලම වගේ දැන් හරි. හයිකරලත් බැලුව. වැඩේ ගොඩ...! අත්දෙකට , කකුල්දෙකට නූල් දාල නටවලත් බැලුව. උකුලටත් නුල් දාල තිබුනෙ නැවෙන්න පුලුවන් වෙන්න.
ප්‍රශ්ණෙ ආවෙ ඊලඟට..?

ඔලුකට්ට හදන්නෙ කොහොමද...කිසිකෙනෙකුට අදහසක් නෑ.
" හරි අපි සොහොනක් හාරල ඔලු කට්ටක් ගම්මු." අදහසක් ආව.
අදහස නම් හොඳයි ඒත් ඒක කරන්නෙ කොහොම්ද ලොකු බැරෑරුම් කමක්. අනික මේක ප්‍රදර්ශණය කරන්න තිබුනෙ නානුගලයගෙ ගෙදර.පාරෙ ඉඳන් අඩි 4ක් 5ක් උසනිසා ඒතැන ගැලපුනේ. ඒත් ඒ මිනිස්සුන්ගෙ ගෙදර මිදුලෙ මිනී ඕලුකට්ටක් නටවතෑකිද..? නානුගලයගෙ ගෑණි අපිට ගහල එලවයි.

අන්තිමට කතාකරල තීරණයකට ආව. අපේ පලාතෙ දක්ෂ ආටිස් කෙනෙක් හිටිය ඈපානන්ද කියල.මුන්නැහේගෙ ගෙදර ඒ කාලෙ වෙස්මුහුණු හදනව.

ඒකත් හරි ජොලි වැඩේ. දැන්කාලෙ වගේ ප්ලාස්ටික්, ඉටි මූනු නොවේ තනිකර පත්තර කොල.මුහුණට කිසි හානියක් නෑ.
කලින් නිර්මාණය කරගත්තු සිමෙන්ති අච්චුවකට..පාප්ප ගගා..පත්තර කොල හීනියට ඉරල අලවනව.ඊට පස්සෙ ගලවනව. වෙලුනාට පස්සෙ ලැකර් ගාල ලස්සන කරනව.  ලස්සන ඒව තිබුන..ලොකුවට තනිකර මූනම හදන ඒවට ඔලුබක්කො කියල කිව්ව. ඔය හැම එකක්ම කල එලියට බහින්නෙ වෙසක් කාලෙට තමා.

ඔන්න අපි ගියා ආටිස් හමුවෙන්න. ආටක නාටක ඔක්කොම දාල මෑන්ට අපේ වැඩේ කිව්වම  මිනිහ වැඩේ බාර ගත්ත. ඒ වගේම ටිප් ටොප් එකට කරල දුන්න..පොදු වැඩේනෙ කියල සතපහක්වත් ගත්තෙ නැහැ..අපිට මාර සතු‍ටුයි. ආයි නෑ ඇත්ත එකක් වගේම තිබුන.

දැන් සියල්ල හරි . පුවක් කණු කීපයක් හිටෝල වහලට පොල් අතු හෙවිල්ලල , වටේට කලු ඉටිකොල ඇදල හදාගත්ත මඩුව. දැන් ඇට සැකිල්ල වහලෙ ලීයක නූල් වලින් එල්ලල තියෙන්නෙ. පිටිපස්සෙන් කලු ඉටිකොලයක් ඇදල ඊටත් පිටිපස්සෙ පොඩි මේසයක් තියල ඒක උඩ නැගල තමයි නූල් අල්ලන් ඇටසැකිල්ල නටවන්නෙ. නටවන කෙනා පේන්න නැතිවෙන්න ඇටසැකිල්ලෙ උඩින් තව ඉටිකොලයක් ඇදල තියෙන්නෙ.

කීපසැරයක් අත්හදාබලල අඩුපාඩු හදාගෙන පොසොන් දවසෙ රෑ 7 විතර වෙනකොට විවෘත කෙරුන. ඕකටත් කාටද ආරාධනා කරල තිබුන මට මතක නැහැ. නානුගලගෙ ගෙදරින් වයර් ඇදල එක බල්බ් ඒකක් මඩුවට දාල තිබ්බ.ඒත් අඩාඳුරෙ තමා තිබුනෙ.එතකොටනෙ කට්ටිය බයවෙන්නෙ.

දැන් වැඩේ නැගල යනව පාරෙ යන අයත් ටිකකට හරි නැවතිලා ඔලුව දාල බලනව මේ මොකක්ද කියල. ඒ මදිවට  ඇටසැකිල්ල නටවන්න කට්ටිය පොරකනව. හරි අමාරු වැඩක් පොඩ්ඩ එහා මෙහා උනොත් නූල් පැටලෙනව. සමහරුන්ගෙ අතින් වේගය වැඩි වෙනව..ඒතකොටම ගැට්ට දුවගෙන එනව...!කෑ ගහනව වේගෙ වැඩී කියල.

පොඩි සංවිධායක මන්ඩලේකුත් හැදුන.සෙනග වැඩිවෙනකොට කැට හොල්ලන්න පිරිසක් දැම්ම.සරුයි වැඩේ.කවුරු හරි කට්ටියක් පාරෙ නැවතුන ගමන් කැට අරගෙන යන්න කට්ටිය පොරකනව. ආධාරත් හම්බ උනා..රුපියල , දෙක, වැඩිම උනොත් රුපියල් 5යි.ඒකත් ලොකු ගානක් ඒකාලෙ.

රෑවෙනකොට සෙනඟ පිරෙන්න ගත්ත.තොරණ බලන්න යන හැමෝම මෙතැන නැවතිලා විනාඩි 10,15ක් ඉඳල යන්න උනා. ඒත් පලවෙනි දවසෙ නිසා ගොඩක් අඩුපාඩු තිබුන.


සමහර වෙලාවට මඩුව පිටිපස්සෙ කට්ටිය එහාට මෙහාට යනකොට ඇදල තිබ්බ වයර් එක හෙල්ලිලා බල්බ් එක නිවෙනව.. තිත්ත කරුවල මදිවට එක හූවයි...සමහර වෙලාවට අපේ එවුනුත් හූ කියනව ආතල් එකට.

අනික මේ පොඩි කොලු කුරුට්ටන්ගෙන් තිබුනු කරදරේ..උන්ට ඕන නැති එකක් නෑ...ලදරම වගේ තිබ්බ මඩුව අස්සෙ පොරකකා ඇවිත්...මේක නටන්නෙ කොහොමද.., ඇත්ත එකක්ද..රටේ නැති ඒව හොයනව.

අනික ආධාර එකතුකරන එකත් කිසි සැලැස්මක් තිබුනෙ නෑ..සමහර පොඩි එවුන් මාටිය ගැහැව්ව.ඒ මදිවට ටොපි,රටකජු වෙලෙන්දො එකා දෙන්න පිරෙන්න ගත්ත. පාරෙ වාහන තදබදයකුත් ඇති උනා  වෙලාවකට.

පලවෙනි දවසෙ වෙච්ච අමතක නොවෙනම දේ තමයි නැගල හිටිය මේසෙ පෙරලගෙන ඇටසැකිල්ල නටවපු ගැට්ටව දඩ බඩෝං...කියල බිම පතබෑවුන එක.


ඇට සැකිල්ල පිටිපස්සෙ මේසයක් තියල ඒක උඩ පු‍ටුවක් තියල වාඩිවෙලා තමයි  නූල්ටික කරකෝල නැටෙව්වෙ.මෙතන වෙන දේවල් ඔක්කොම ගැට්ටගෙ ඔලුවෙ තිබ්බ නිසා බැරිවීමකින් මොකකට හරි කලබල වෙලා පු‍ටුවත් පෙරලගෙන බිමවැ‍ටුනුපාර පිටිපස්සෙතිබුනු ඉටිරෙද්දත් බිම.මූ වැ‍ටුනු හැටියට ආපු මිනිස්සු හූ කිව්ව විතරක් නොවේ අපිටත් හිනා.
ඇටසැකිල්ල හුලං ගිය බැලුමක් වගේ උනා. 
එදා රෑ වැඩේ එහෙම්ම නැවැත්තුව.

පස්සෙන්ද ලොකු සැලැස්මකට වැඩේ කලා. ආධාර කැට සීල් කලා.
පුන්චි ඈයො ඇවිල්ල වැඩේ දෙල් කරන නිසා වටේට වැටක් ගැහැව්ව.පාරටත් ලයිට් ඒකක් හයි කරා. මේසය වැටෙන්නෙ නැතිවෙන්න ලී හිටවල ගැට ගැහැව්ව. ප්‍රධාන දේ නටවන්න ආසාවෙන් හිටිය අයට නියම විදිය කියල දුන්න.කලින් දවසෙ නූල් පැටලැවිල මහ ගිනිවිජ්ජුම්බරයක් උනා.


අනික තමා ඩෝප් කාරයින්ගෙන් බේරගන්න එක. උන් ඇවිල්ල ලොරි ටෝක් දෙන්නෙ.
"ඕවත් වැඩද..අපි නොදන්න ඇට සැකිලි...යකෝ ඕව සොහොන්වල තියෙන්න ඕන දේවල්..අපහාස කරන්න එපා බොලව්"
අපිට හිනා ඉතිං..!

පස්සෙ දවසක වෙච්ච හොඳම වැඩේ කියන්නෙ අපේ ගමේම අපි හොඳට දන්න ඇටමැස්ස නිසා වෙච්ච වැඩේ.
ටවුන් එකේ කඩයක් කරපු මිනිහ හවහට කනපැලෙන්න බීල තව දෙන්නෙක් එක්ක ඇවිල්ල දැන්..ඇටසැකිල්ල නටවනව බලා ඉන්නව.

"අඩෝ...! අපි දන්නව යකෝ ඕව හදන හැටි....තනිකර රිජිෆොම් තියෙන්නෙ ඩෝ..!!"
  එකේකේව කියනව මහ හයියෙන්. බලන්න ඇවිල්ල හිටිය අයට මේක මහ හිසරදයක් උනා. මිනිස්සු කීයට වත් හිතුවෙ නැහැමේක රිජිෆොම් එකක් කියල.

අනිත් එක දෙවනි දවසෙ ඉඳල ලොකු බෆල් දෙකකුත් හයිකරල, නිවේදකයකුත් එක්කම තමයි වැඩේ උනේ. නිවෙදකයා උනේ අපේ ගමේම එකෙක් ඌත් වැඩේ මවල දෙන්නෙ.
"බලන්න පිංවතුනි.....මේ මිනිස් සරීරේ තියෙන සුබාවික ඇටසැකිලි.....බලන්න..මේ  හිස්කබල...හරි බයයි නේද..? අත්,පපුවෙ හැටි බලන්න නේද..." මූ මවල කියනව.
ඒ අස්සෙ ආච්චිල සාදුකාරත් දෙනව..!
"ඔන්න බලන්න පිංවතුනි...ජීවිතේ හැටි...! ඔයගොල්ලන්ටත් ඔහොම තමයි මැරුනම ...ලස්සනට තියෙන මස්ටික දියවෙලා ගියාම ඔච්චරයි ඉතුරු වෙන්නෙ..!"

ඔහොම නිවෙදකය කියනකොට...අර බීපු ගැන් එක අනං මනං කියනව.
"පල යකෝ යන්න..රෙද්දෙ ඇට සැකිලි තමයි"
" තොපි බොරු යකෝ කියන්නෙ."

දැන්නම් සීමාව ඉක්මවා යනව..අන්තිමට හතර පස්දෙනෙක් ගිහිල්ල බෝතලයක් ගහමු කියල අඬගහගෙන වෙල දිහාවට එක්ක ගිහින් හොඳට සලකල තිබුන..ඊටපස්සෙ දැක්කෙත් නෑ.!

හැමදාම...නන්ස්ටොප් සිංදු දාල තිබුනෙ.
"යමලොව ඉපදුන හොඳ..හොඳ වැඩ දෙන...." මේ වගේ සින්දු.

හරියටම සතියක් තිබුන.අන්තිම දවස් වෙනකොට එච්චර සෙනඟ හිටියෙ නෑ බලන්න. හැබැයි හොඳගානක් එකෙතුවෙලා තිබ්බ.

අන්තිම දවසෙ රෑ බෝතල් කීපයක් ගෙනල්ල කට්ටිය සප්පායම් වෙලා තිබුන. අපි ඉස්කෝලෙ යන උන් නිසා එතකොට අමද්‍යප තමා ඉතිං.ඒ නිසා රෑ12ට විතර ගෙදර ඇවිල්ල නිදාගත්ත.
උදේ ලැබුනෙ එච්චර හොඳ ආරන්චියක් නොවේ.

කට්ටිය හොඳටම බීල නානුගලයටත් බෝතලක් අරන් දීල යම් මුදලකුත් දීල ආපසු ආවලු.

ඒත් උදේ පාන්දර 5ට විතර නානුගලයගෙ පවුල ඉස්සරහ දොර අරින කොටම අර ඇටසැකිල්ල ඇඟට කඩා වැටිල. ගෑණි මරල‍තෝනියක් දීල තුන්මුනින් දාල වැටිල. සිහියක් කටක් නෑලු.

කව්ද නසරානියෙක් ඇටසැකිල්ල දොරට හේත්තුකරල වෙරිමරගාතෙ ගිහිල්ල. උදේ පාන්දර ගෑනිගෙ ඇඟට වැටිල තියෙන්නෙ එහෙමයි.

අන්තිමට තෙල් මතුරල පිරිත් එහෙම කියලයි ගෑනිට සිහියක් කටක් ගත්තෙ.

ඔය වැඩවලට  අපිට එකතු උන මුදලින් සෑහෙනගානක් වියදම් උනා. අපි නිසානෙ එහෙම උනේ.

කොහොම උනත් නානුගලයට හොඳටම තදවෙලා..ඇට සැකිල්ල ලිපේ දාල පුච්චල තිබුන. ඊලඟ සැරේ වෙනතැනක මීට වඩා හොඳට ප්‍රදර්ශනය කරන්න කට්ටිය කතාවෙලා තිබුනෙ.
මට සෑහෙන්න ඉල්ලිම් කලා ආයිත් එකක් හදමු කියල..ඒත් මම උසස්පෙල ලියන වර්ශය නිසා මම ඕවට හවුල්වෙනවට ගෙදර අය එච්චර කැමති උනේ නැහැ.

අන්තිමට මේව මතකයේ පමනක් ‍රැඳුනු දේවල් පමනක් උනා.








Thursday, January 10, 2013

ඉස්කෝලයගෙ කුන්දිරා ගහ




 ටවුමෙ ඉඳල අපේ පන්සලට ඕන්නම් හැතැක්ම බාගයක් ඇති.වංගු දෙක තුනක් පහුකල ගමන් ඈතට පේන්න වම් අත පැත්තෙ කන්ද උඩ  තියෙන්නෙ. 
පන්සලට අල්ලපු වත්ත ඉස්කෝලයගෙ වත්ත.

නැති තැන එහෙම කිව්වට මූණට නම් එහෙම කියන්නෙ නැහැ.පලාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක වයිස් ප්‍රින්සිපල් කෙනෙක් උන එතුමා ගමේ ප්‍රභූ කෙනෙක් විදියටයි සැලකුවෙ. තල එලළු හීන්දෑරි මුන්නැහේ කොහේදෝ දුර පලාතකින් ඇවිත් බින්න බැහැලයි කියල තමා ගමේ අය කියන්නෙ. ලමයි නැතිව හිටියත්  බොහෝම ලෝභ කෙනෙක් විදියට තමා සැලකුනේ. ගමේ කොල්ලො එකතුවෙලා කරන මොනයම් හෝ කටයුත්තකට කීයක් හෝ ලබාගන්නවාය කියන්නෙ...ඉබ්බගෙන්  පිහා‍ටු ගන්නව වගේ තමා.මේ නිසා අපේ කොල්ලො සෙට් එකට මුන්නැහේ වහ කදුරු වගේ තමා.

ඉස්කෝලයගෙ ගෙදරට ගෙවල් දෙකක් විතර උඩින් අපි දන්න කියන තැනක මලගෙයක් තිබුන. තොරණ ගහමුයි කියල සුදු මහින්දය අපට කලින්ම දැනුම් දීල තිබ්බ නිසා අපිත් රාත්‍රී ආහාර කිසත් අරගෙනම ඒ පැත්තට ගෑ‍ටුවේ අවශ්‍ය කියන  උපකරන කීපයකුත් අරගෙනමයි.

සාමාන්‍යයෙන් මලගෙදරක රිජිෆොම් වලින් තොරනක් ගහනවා කියන්නෙ අමාරු රාජකාරියක්.ඔක්කොටම වඩා අමාරු අකුරු කපන එක තමා.ඉංග්‍රීසි අකුරු වගේ නෙවේනෙ සිංහල අකුරු රවුම් ගතිය වැඩියි. ඒ නිසා හොඳට කැපෙන පිහි උවමනා වෙනව මේ කාරියට. අපි සා.පෙ ලියන කාලෙ නිසා අපිට දැන්තියෙන නානා ප්‍රකාර පිහි තිබ්බෙත් නෑ.

මේකටත් අපි උපක්‍රමයක් හොයාගෙන තිබුන. යකඩ කපන කියත් තලයක් අරගෙන ඉන් බාගෙට කඩල ලියවන පට්ටලයකට දීල එක් කොනක් උලක් වෙන්නත්, හොඳින් මුවහත් වෙන්නත් ලියවාගන්නව.මේ කාරියට යකඩ කපන කියත්තලයක්ම යොදාගන්නෙ..අනෙක් හැම පිහියක්ම රිජිෆෝම් කපනකොට ඉක්මනින්ම හං වෙන නිසා .
පිහිදෙකකුත් අරන්ගියේ තවත් කෙනෙක්ගෙ සහයෝගය මට ලැබෙන නිසා.

ටිකක් රෑවෙන්න ඇරල අපේ වැඩේ අපි පටන් ගත්ත. වේලාසනින් පටන් ගන්නබැරි පලාතෙම ඉන්න පොඩිඈයො ටික වටේට පිරුනාම කිසිම දෙයක් කර ගන්න බැරි නිසයි.

වටේට ඉන්න මල්වට්ටි දිහාත් බලන ගමන් , ටොම්පචකාරයින්ගෙ ඉල ඇදෙන කතා අහන ගමන් වැඩේ කරගෙන යනව. රෑ 12 පහු උනා විතරයි අපේ ඉන්න වසූරියය්..කෝඳුරුවයි..එහාට ඇඹරෙනව , මෙහාට ඇඹරෙනව. 
ඔහොම මෙහෙම තවත් හෝරාවක් ගෙවුන.

"මෙහෙම ඉන්න බෑ බං...බඩ පපුව දනව..මේ ප්ලේන්ටිම බීල..!"

"ඉතිං..!"

"මරුවැඩක් තියෙනව." වසූරිය කියනව.

අපි කර කර හිටිය  වැඩේ නවත්තල ඒ පැත්ත බැලුව.වැඩේ බාරගත්ත සුදුමහින්දය..පු‍ටුවක් උඩ කකුල්දෙක තියාන තවත් පු‍ටුවකට බරවෙලා සරම ඔලුවෙ ඉඳල පෙරෝගෙන නිදි. කොහොම ඉන්නද අපේ බිලට දාල මූ කරේ තව දෙතුන් දෙනෙක් එක්ක ගල් බෝතල් කීපයකට වගකියපු එකනෙ.
අපේ ගැන් එකේ එකෙක්වත් ඒකාලෙ අරක්කු බිව්වෙ නැති උනාට,කොච්චර ගමේ කම තිබ්බත් අරක්කු මූඩියක්වත් දෙන්නැතිව මලගෙවල් වල සමහර වැඩ කරවගන්න අමාරුයි.

"මේ... ඉස්කෝලයගෙ දොරකඩ තියෙන කුන්දිරා ගහේ වලු බිමට පාත්වෙලා..ඉනිත් ගහල තියෙන්නෙ බං.."

කට්ටියගෙම මූනෙ ගිය හිනාව හරියට තමන්ගෙ ගෑණුලමය මූනට මුලිච්චි උනාම නැගෙන හිනාව වගේ..!

"වැඩක් නෑ බං ඕක කුනානෙ අහැරගෙන ඇති දැනටමත්.."

"නෑ බං අන්න ආරි බාප්පත් එක්ක ඕමියකට සෙට් වෙලා..දැන් ඉතිං තව පැය තුනකටවත් නැගිට්ටා බොරු."

  මම අර පිහිදෙකත් අතට අර ගත්ත..තොරණ පාලුවට තියල අපි හැමෝම පල්ලම් බැස්ස කාටවත් නොදැනි.

මමත් පුතාත් මහපාරෙ ඉස්කෝලයගෙ ගේට්‍ටුව ගාව ඔත්තු බලද්දි..සනා,කෝඳුරුව,වසූරිය,ජූඩි...තාප්පෙන් පැනල වත්තට ඇතුලු උනා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියල කිසිම දෙයක් පේන්නෙත් නෑ..ඇහෙන්නෙත් නෑ..

 විනාඩි 10ක් යන්නැති..ඈතින් වාහනයක් ආවත් අපි ඒතරම් ගනන් ගත්තෙ නැති උනත්..ලඟටම එනකොටයි දැක්කෙ....
පොලීසියෙ පැට්‍රෝල් යන ජීප් එක..අපි ටිකක් විතර ඩිම් උනා.

"බ්‍රාස්........" ඒකසැරේට බ්‍රෙක් ගැහැව්ව,නැවැත්තුව.
"එකෙක් දුවන්නෑ..".ජීප් එකේ දොරක් ඇරෙන ගමන් බැස්ස රාලහාමි කෙනෙක් කියාගෙන අපිගාවට ආව.

චූ යන්නත් වගේ...!හයියෝ...!

"මොකද තොපි මෙතැන කරන්නෙ.."

"අ..අපි මලගෙදර ආව..,හපෝ මුගේ තිබ්බ මරුමුස් පාට ඒ මදිවට බීලද කොහේද..!

"මෙහේට වර..."

අපිව ජීප් එකේ ලයිට් එලිය ගාවට ගත්ත.
"මලගෙයක් කොයේද බොල මෙතැන.."

"අර උඩහ... "පුතා දිග අරින්න බැරුව වගේ අත බාගෙට දිග්ගස්සලා පෙන්නුව.

"බොරුනේද බොල කියන්නෙ..පෙන්නාපියව් සාක්කු..."

විනාසයි..මුලින් පුතා පෙන්නුව. ඊලඟට මම...

"ආ..මේ තියෙන්නෙ බඩු...පිහිදෙකක් නේද...තොපි මංකොල්ල කනව නේද..!"
මගේ කලිසමෙන් අල්ලන ගමන් අහපි..

"නෑ..නෑ මේ මලගෙදර..තොරණ ගහන්නෙ අපි..ඒකයි මේ පිහි දෙක."

"පිහි මොකටද බොල තොරන් ගහන්න.."

දැන්නම් මේ වෙලාවට නැති කට කොස් කන්නයැ.
"ස්..සර්..මේ පිහි වලින් තමා රිජිෆෝම් කපන්නෙ."

"හා..ඔය කියන්නෙ..එතකොට තොපි මෙතැන මොකද කරන්නෙ.."

"නිදිමත යන්න කියල ටිකක් ඇවිදින්න ආව.". මම කිව්ව. 

ඔන්න එතකොටම වගේ ..මහ ඝෝෂාවක් ඇහුනම අපි හැමෝම ඒ පැත්ත බැලුව.
මලගෙදර ඉන්න මහ සෙනඟම ටෝච් ගහගෙන ,හුලු අතු දල්වාගෙන පාරට එනව. බැලින්නම් තාප්පෙන් පැන්න උන් ටික මලගෙදරට ගිහින් විස්තරය කියල හැමෝම එක්කරගෙන ඇවිල්ල අපිව බේරාගන්න.
ජීප් එක ඇතුලෙ ඉඳල තව ලොකුමහත්තැන් කෙනෙකුත් බැහැල ආව එතකොටම. හැමෝටම කතාකරල වැරදීමක් උනේ කියල යන්න ගියා. 
හැබැයි එහෙම උනේ නැත්තං උන් අපිව බයිට් එකට අරන් කූඩුකරනව.

ඒකෙන් බේරුනා කියමුකො..මිට වඩා හොඳයි කූඩුවෙ ලැග්ගනම් කියල හිතුනෙ...මලගෙදර ඉන්න,,ආච්චිල,සීයල ගෙ පටන් අපේ කට්ටිය පැණිපෙරපු ගෑල්ලමයි දක්වාම විස්තරය අහනකොට කියල ඉවරයක් නැති උනාමයි.

කොහොම කොහොම හරි කට්ටිය එහා මෙහා වෙනකං ඉඳල...කෝඳුරුව කියපි,

"දැන්වත් යමුද අර ටිකට මොනව හරිකරල එන්න."

"මොකක්..?" මම හිතුවෙ මුන් ආයිත් වැඩේට යමු කියනව කියලයි.

මොන  මලගෙදරට ටිකක් දුරින් තිබ්බ කුරුඳුගස් ගොඩක් අස්සෙ..මේන් කුන්දිරා වලු දෙකක් බැබලි බැබලි..හඳ එලියට දිලිසෙනව..හැක්..හැක්...හැක්...හිනාගිය පාරට මට ඉස්මොල්ලෙත් යනව තව පොඩ්ඩෙන්.
අපි අරහෙ පොලීසියත් එක්ක ඔට්‍ටු වෙන අතරෙ මුන්ටික ගේම දීල...

ඒවටත් වග කියල...තොරණත් ගහල දෙයියනේ කියල එලිවෙන ජාමෙ ගෙදර ආව.

Tuesday, January 8, 2013

මලගෙදරක තොරණ් ගහපු හැටි..!




මේ යුගය ඩිජිටල් යුගයනෙ.හැමදෙයක්ම ඩිජිටල් වේගෙන යන ලෝකෙක...මලගෙවල්වල බැනර්,තොරණ් වැනිදේවලුත් ඩිජිටල් වෙලා අහවරයි.

ඒත් මීට දශකයකට කලින් නම් මීටවඩා බොහෝ වෙනස්. මේ දේවල් තනිකරම නිර්මාණය උනේ මිනිස් අතින් ඒක වෙනම සංස්කෘතික ලක්ෂණයක් වගේ.
ඒත් ඉතිං වානිජමය තත්වයේ ඉන්න දක්ෂම කලාකාරයො මේ සඳහා අල්ල ගන්න අමාරුයි..හේතු කීපයක් තිබුනත් ආසන්නම කාරනය වෙන්නෙ..ගොඩක් වෙලාවට මේ තැන්වල තොරණ් ඉදිවෙන්නෙ රාත්‍රී කාලටනෙ..ඒ වෙලාවට මේ අය නාගසලං වෙලානෙ ඉන්නෙ.

ඔය වෙලාවට පිහිටට ඉන්නෙ බාගෙ කලාකාරයො..ඒකියන්නෙ වෘත්තීයමය නොවන..සමාජසේවය ගැන "උනක්" තියෙන අය . මේ වගේ අය අපේ ගමෙත් දෙතුන් දෙනෙක්හිටිය...එක්කෙනෙක් උනේ වීය තමා. මාත් එක්ක සෙට් එකක් හිටිය මේ වගේ වැඩ වලට..පුතා,සනා,ජූඩි,රෝහන,පාලිත,වසූරියා....ඔය කීපදෙනෙක් තමා. 

තොරණක් ඉදිකරනව කියන්නෙ සාමූහික වැඩක්.ඉටිකොල ගහල අකුරු අතින් ඇඳල නිමකරන තොරණක් නම් වැඩ අඩුයි.
රීප්ප පෙට්ටි ගහල රිජිෆෝම් වලින් බොක්ස් මොඩ්ල් එකට ඉදිකරන ඒවයෙ වැඩ වැඩියි වියදමත් වැඩියි.
එත් මේවා හරි තරඟකාරී දේවල්නෙ. ජීවත්ව ඉන්නකොට සොයානොබලපු දරුවන්, මලගෙදරට එන තමන්ගෙ සල්ලිකාර යාලුමිත්‍රයින්ට පේන්න මලගෙදර ඉතා ඉහලින් ගන්න නිසා තොරණත් ඉතා ඉහලින් අවශ්‍යවෙනව.

මුල්ම කාලෙ බොහෝ තැන්වල කලේ රීප්ප වට්‍ටුව ගහල ඒකෙ සුදු ඉටිකොල ගහල ලැකර් වලින් අකුරු ලියන එක. ගම්වල ඒකාලෙ  වට්‍ටුව ගහන්න දක්ෂ අය හිටිය.  බොහොම සරලයි වගේ පෙනුනට කෑලි තුනකට සෙට් වෙන නිසා එකිනෙක ගැලපීම අවශ්‍යයි. නිවැරදි මිනුම් වලට සිදුවිය යුතුයි. ඉටිකොල ගහන එකත් ඒවගේ එක‍රැල්ලක්වත් නොහිටින්න වැඩේ ඕන..මේකට දක්ෂයා වෙලා හිටියෙ සුදු මහින්ද.

ඊලඟට අකුරු අඳින එක...මේ වැඩේ තමා අමාරුම.අපි දක්ෂ චිත්‍රකලාකාරයො නොවේ. ඒනිසා පින්සලක් අරන් එක හුස්මට අකුරු අඳින්න බෑ. මුලින් පෑනකින් අකුරු ටික ඇදල උඩින් ලැකර්වලින් පාටකරන එක තමා කරන්නෙ. අපිගාව පින්සල් පවා තිබුනෙනෑ..නමුත් ඒකටත් අපි ක්‍රමයක් හොයාගෙන තිබුනෙ. සිගරට් වල ‍ෆිල්ටර් එක. වටේ තියෙන කොලේ ගලවල පැන්සලකට තියල ගැටගහගත්තම පින්සල් පරාදයි. හැබැයි වැඩේ තියන්නෙ...එක අකුරකට එක ‍ෆිල්ටර් එක ගානෙ උවමනා වෙන එකයි.පුලුන් වගේ නිසා නිකන්ම දියවෙලාවගෙ යනව.

 එක පාරක් හරි සිද්දියක් උනා අකුරු අඳින්න ගිහිල්ල. සාමාන්‍යයෙන් එදාට ප්‍රධානත්වය ලැබෙන්නෙ මේ වැඩේට නිසා , නා නා ප්‍රකාර අය මෙතැනට එනව.
 සමහරු උපදෙස් දෙන්න එනව. 
වෙන වචනයක් ලීව නම්.... , අකුරු තව ලොකු උනානම් හොඳයි....ඔය වගේ. 
මේකට හේතුව උනේ පිරිස ඉස්සරහ "පොරක්" වෙන්න දඟලන නිසයි.

 හැබැයි ඉතිං රසසාගර වගේ පොරවලුත් සමහර වෙලාවට සෙට් වෙනව. හිනාකාල ඉවරයක් නෑ කියන කතාවලට.අපේ උනුත් කරන්නෙ කරන වැඩේ පැත්තකින් තියල  ආතල් ගන්න එක තමා.

ඒ වගේම  දුරපලාත් වලින් ඇවිල්ල ඉන්න නෑදෑ පිරිවර අතරෙ ඉන්න ඇහැට කනට පේන ලමිස්සියො ඉන්නව නම්..ඒදාට උදව් කරන්න ඕනතරම් කට්ටිය ඉන්නව.

තොරණ ඉදිකරන එක විශේෂ කාරියක් නිසා අපි ඉන්න තැනට නිවැසියන්ගෙ විශේෂ අවධානය , සැලකිලි එමටයි. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින දිහා බලන් ඉන්න සිරිතක් අපේ තියෙන නිසාද මන්ද කට්ටිය වටවෙනව සු‍ටුස් ගාල. ඔය අතරෙ ගෑණුලමයි ඉන්නව නම් අපේ උනන්දුව තෙගුන වෙනව.

අනිත් එක දැන් ඉන්න ගැහැණු ලමයි වගේ නොවේ ඒකාලෙ..වැඩකරන අයට ,නිදිවරන අයට තේ ,කෑමජාති හදනව...අනික ගමේ ඉන්න තරුණ තරුණියො භේදයක් නැතිව උදව් පදව් වෙනව.ඉතිං කොල්ලොත් පැණි ඇඹලයො වගේ වටේ කැරකෙනව.

මේ කියන දවසෙත් ලමයි කීපදෙනෙක් වටවෙලා හිටිය නිසා ඒ අයත් එක්ක  පුන්චි කතාබහක් කරන ගමන් තමයි මාත් අකුරු අඳින එක කලේ...අපේ අනිත් එවුන් නම් මල් කඩනව මෙලෝ සිහියක් නැතිව මට ඉරිසියාත් එක්ක.
ටික වෙලාවක් යනකොට නංගිලා කිහිප දෙනෙක් කසුකුසු ගගා...හිකි..හිකි..සිරික්කිය දානව.

දැන් මට ප්‍රහේලිකාවක් ඇයි මේ කියල..එක්කෙනෙක් තොරනට අත දික්කරාපි,

අයියෙ..මේ බලන්න මෙතන මොකක් හරි අවුලක් නේද..?

"පියානිනි ඔබට නිවන්....." ඈ...මලා..!!!

මැදැයි කොලා.... අකුරු ඇඳගෙන යනකොට යම් වෙනසක් තිබුනොත් එවලෙම භූමිතෙල් ගාල හදන්න පුලුවනි. ඒ ලැකර් වේලෙන්න කලින්..දැන් ඒ අකුරු වල තීන්ත වේලිලා. මොනව කරන්නද... අනික් එවුන්ගෙන් කුනු බැනුම් අහන ගමන් ඉටිකොලේ ගලවල අලුත් ඉටිකොලයක් ගහල අකුරු ටික ලියල තොරන ගහනකොට එලිවෙලා උදේ 6 විතර උනා. 

අන්තිමට වැඩේ ඉවර කරන්න ඉතුරු උනේ මමයි..ජූඩියි,පුතයි විතරයි..ඒ වෙනකොට පාන්කියාගන්න බැරි තරමට උනත් වැඩක් බාරගත්තම ඒක නිසියාකාරව ඉ‍ටුකිරීමේ ජන්මාන්තර පුරුද්දක් තියෙන නිසා නිදිවරාගෙන වැඩේ ඉවර කලා.

කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඒකාලෙ කරපුව මතක් වෙනකොට අපරාදෙ ඒ ගෙවුන කාලේ කියල නම් හිතෙන්නෑ ජීවන පාසලෙන් ලබපු අත්දැකීම් එමටයි.

ඉවරයි..!
*************************************
ඉවරයි කිව්වට ඉවරම නෑ...තව කොටසක් එන්ට නියමිතයි...!!