Tuesday, June 5, 2012

ගොරක ගහකින් පත බෑවුනෙමි...!

පිලිගැන්වීමේ ලිපිය දාල ටික දවසක් උනා...ගොඩක් අය ඇවිත් තිබුන... ,ගොඩක් ස්තුතියි...!ආපු හැමෝටම..
හිත ඇතුලෙ කතා ගොඩක්  තෙරපුනත් පලවෙනියට දාන කතාව පෙලගස්සවගන්න ලොකු වෙහෙසක් ගන්න උනා. හැමෝම තියපු විශ්වාසය ‍රැක ගන්නත් එපැයි...!


මේ  කතාව වෙලා දැන් අවුරුදු බරගානක් වෙනව.එතකොට මට ඕන්නම් අවුරුදු15ක් වෙනව ඇති.මාත් එක්කම මේකට තව මගේ සහොදරයො දෙන්නකුත් සම්භන්දයි.සහෝදරයො කිව්වට මගේ බාප්ප කෙනෙකුගේ පුතෙක් වුන රෝහිතත්, නැන්දගෙ පුතෙක් වුන බිංදු කියන අය.


මුං දෙන්න මට වැඩිය අවුරුදු තුනක් විතර බාල උනාට මගේ අතීසාර මිත්‍රයො තමයි ඒ දවස් වල . කොයිදේටත් උන්ට මමත්, මට උනුත් නැතිව බැහැ.මේ සෙට් එකේ තව උන් හිටියට මේ කතාවට උන් සම්භන්ද නැහැ. අපි නෑදෑයො ඔක්කොම කිට්‍ටුව පාත ඉන්න නිසා  සෙල්ලම් කරන්න එකතු උනේ ආච්චිලගෙ ගෙදරට.
අපේ ගෙදර තිබුනෙ.., කන්දක් උඩ තිබුන ආච්චිලගෙ ගෙදරට ,පහලින් තිබුන ඉඩමට පහල ඉඩමෙ නිසා අපේ තාත්ත ගෙදර නැති උනොත් අනිවාරෙන්ම උන් අපේ ගෙදරත් එනව.


මෙහෙම තමයි ගොරක ගහේ තියෙන්නෙ.මේදවසවල අවාරෙ..ඒකයි අඩු..


දකුණු පලාතෙ කිව්වට මම ඉන්න හරිය අයිතිවෙන්නෙ...තෙත් කලාපයට  ඉතින් මේපැත්තෙ බොහොම සරුවට හැදෙන සුලුඅපනයන බෝගයක් තියෙනව "ගොරක",කවුරුත් දන්නව ඇති මම හිතන්නෙ.බික්..බික්..ගොඩක් තියෙන්නෙ..කවුරුත් දන්නෙ ව්‍යංජන ඇඹුල් කරන රස කාරකයක් කියලනෙ.
ඒත් අපට නම් මේක රසවත් පලතුරක්........, දැන් කට්ටිය බලයි ඒ කොහොමද කියල,දන්නා ඈයො පොඩ්ඩක් බලා ඉන්න මම කියන්නෙ වෙන කතාවක්.
ඔය ගොරක ගෙඩිය සාමන්‍යයෙන් ලෙදර් බෝලයක් විතර ප්‍රමානයේ වෙනවා. ඕක සාමාන්‍යයෙන් බාගෙට  ඉදීගෙන එනකොට ගොරක ගෙඩිය අතින් තද කරල තලල පලාගන්න පුලුවනි.මේන් ඊට පස්සෙ බැබලි..බැබලි මදය තියෙයි..හරියටම කිව්වොත්,  මැංගුස් කාල ඇතිනෙ ඕන කෙනෙක්, අන්න ඒ මදය වගේ.හැබැයි පාට වෙනස් මැංගුස් මදය සුදුපාටයි.. මදය තමයි කන්නෙ.. හරිම රසයි..මැංගුස් වගේ හැබැයි ඇඹුලයි..!
ගොරකා මෙහේ නම් වර්ග තුනක් තියේ. එකක් "පොල් ගොරකා" ඒව පොල් ගෙඩියක් විතර ඇති,අනෙක "කහ ගොරක" ඒව කහ පාට මං කලින්ම කිව්ව තරමේ ඒව. අනික්වා ඒ තරමේම "රතු ගොරක".මේවායෙ මදය ලා රතු පාටයි, අනික්වා ජාති සියල්ල..කහ පාටයි. ඉතිං ඕව කන්නනම් ගහට නැගලම කඩන්න ඕන. මොකද..බිමට වැටෙනකන් හිටියොත් ඉදිල වැඩී,අනික පනුවො ඉන්න සම්බාවිතාවත් වැඩී බිමට වැ‍ටුනම.


මෙන්න කතාව....  ඉතිං දවසක් ඉස්කෝලෙ ගිහිල්ල ඇවිල්ල ,බත් පිඟානකට එහෙම වග කියල ඉස්මුරුත්තාවෙන් වගේ , මම නින්දත් නොනින්දත් අතර ඉන්න කොට...


"වී අයියේ...වී අයියේ...


අපේ ගෙදර පඩිපෙල පාමුල මේං අරුන් දෙන්නා..බිංදුයි,රෝහිතයි..


"ඇයි..? බං....මම සරම පපුව හරියෙන්ම ඇඳගෙන යනගමන් ඇහුව.සරම පහලින් අඳින්න බැහැනෙ. දන්නෝ දනිති.., ඉතිං ඇයි කාපු ගමන් සරමට බඩ තදවෙන තරම..


"මේ අයියේ බොලාගෙ ගොරක ගහේ ආං ගොරක පිරිල..ලැයිට් දාල වගේ ආච්චිලහට පේනව..!


"ඈ.. ඇත්තෙයි බං යමුද.. කඩන්ට..!මගේ කටට කාපු ගමන් උනත් කෙල උනන්නගත්ත..
අපේ ගෙයට උඩට වෙන්න ලොකු ගලක් තියෙනවා. (ඕකෙ ලොකු ගල්ගේකුත් තියෙනවා..ඉවසල ඉන්න ආයුබොවං පස්සෙ එලකිරිවගේ ඔව්වගේ පෝස්ට් දෙන්නම්..!) ඊටත් උඩින් පොඩි පස් තියෙන ගොඩැල්ලක් ගාවට උඩින් තව ගලක් උඩ තමයි මේ කියන ගොරක ගහ තියෙන්නෙ.පින්තූරය ටිකක් බලල  ඉන්නකො..




මෙන්න මෙතන තැන..ඔය තියෙන්නෙ ගලයි..ගහයි..දෙකම.


දැන් තුන්දෙනත් එක්ක වටෙන් ඔතනට ගියා.උදේ වරුවෙ ටිකක් විතර පොදයක් ගිහිල්ල ගස් කොලන් අලුතින් පොලිශ් කරල වගේ බැබලි බැබලි..තිබුනෙ.


"ඒ බිංදු උඹ නගිනවැයි..? මම ඇහැව්ව..


"රොහිතේ... උඹ නැගපංකො මගේ අත රිදෙනවා..!වෙනද හැමදාම නගින ඌ කියනව..


"සික්... අනේ බං.. 


කියන ගමන් කොට කලිසම කකුල් වලින් උස්සගන්න ගමන් ඌ ගහ යටට ගියා.
ඒ පාර මේං මේකා ගහ බදා ගෙන ඉන්නව විතරයි.. නගින්න බැහැ, කොහොමත් මේ ගහට අතු තිබිච්ච තැන් වල ගැටවලට අඩිය තියල නැතිව නගින්න අමාරුයි..! ඕව ඉතිං දන්නො දනිති තමයි...!
තාම මේකා එහෙමමයි..


"කෝ එහාට වෙයන් .."


දැන් මම වැඩ්ඩාවගේ පෙන්නන්න ලෑස්තිය ගස් නගින හැටි.ඇත්තටම මට පුලුවනි හොඳට ඒදවස් වල ,ඒත් ඉතිං මේජර් වගේ ඉදන් උන්ගෙන් වැඩකරවගත්ත මම.


"මේං බලාගනින් ගස් නගින හැටි..".


මමත් ඒපාර සරම රොල්කරල..අරගෙන කකුල් දෙක අස්සෙන් අරන් අමුඩයක් කාරිය ගහල...එක ගැටේකට අඩිය තියල අනිත් එකට අඩිය තිබ්බ..විතරයි...


"බෘස්.....හම්මේ.......#$%* ##


මගේ අත අතහැරෙනවා විතරයි මට මතක...
මාව බරාස් ගාල..  ගහෙනුත්  වැටිල ගලදිගේ ලෙස්සල ගිහින් පහලටම වැටිල....
මේ ගල දිගේ පහලටම වැ‍ටුන...!


"හම්මේ....මම හිතුව දැන් මාව මැරුනා තමයි..!
උතුර දකුණ  මාරුවෙලා දැන් මට..හිතාගන්න බැහැ මොකක්ද උනේ කියල...


"ඒයි කෝ බං... #$%* ## ...බිංදුවෝ....?


මේං මුන් දෙන්නා කැලේ පොඩිකරගෙන.. දුවනවා..පන එපා කියලා..!


"මල කෙලියයි..දැන් මට නැගිටින්නත් බයයි...කරටියම කැඩිල ඇති කියල..."


කමක් නැහැ. කොයිකටත් කියල.. බැලුවා ඔලුව උස්සල ගහ දිහා... ගත්ත දහිරිය හිතට..
"ඈ...ඔය නැගිට්‍ටුනේ.. කොයිකටත් කියල...ඔලුව,අත් , කකුල් අතගාල බැලුව කිසි ප්‍රශ්ණයක් නැහැ..
ඔය තියෙන්නෙ අපූරුවට අම්ම තාත්ත දුන්න විදියටම...ඒත් ටික වෙලාවක් යනකොට මට පිට පැත්ත අමුත්තක් වගේ දැනුන. මලා..පිටේ පදාසයක්ම හීරිල...දාඩිය දානකොට හොඳටම  විස ගහනවා ඉන්න බැහැ...අරුන් දෙන්න පලාතක නැහැ..මට ඉතිං මල එකේ හොඳම එක. ඒ මදිවට ගහේ සහ ගලේ බැඳිල තිබුන සෙවෙල් ඔක්කොම මගේ ඇඟේයි...සරමෙයි..ගස් ගඳේ බෑ....මොනව කරන්නද..ෂේප් එකේ අම්මට බොරුවක් කියල...බෙහෙත්තෙල් ටිකකුත්  ගාගෙන හවස අරුන් දෙන්න හොයාගෙන ගිහිල්ල..අමුතිත්ත කුනුහරුප දෙකකුත් කියල..හිත සනසගෙන ගෙදර ආව. ඒ ටිකේම නිදිය ගත්තෙත් එකම පැත්තට.සතියක් ඉස්කෝලෙත් ගියේ නැහැ.කමීසයක් අඳින්න බැහැනෙ.



ඒ ගොරක ගහ තාම තියෙනව...පින්තූරයක් දාන්නෙ ඒකනෙ.


කතාව ඉවරයි ..!


බත බුලතින් සරුවේවා...!!