මේ යුගය ඩිජිටල් යුගයනෙ.හැමදෙයක්ම ඩිජිටල් වේගෙන යන ලෝකෙක...මලගෙවල්වල බැනර්,තොරණ් වැනිදේවලුත් ඩිජිටල් වෙලා අහවරයි.
ඒත් මීට දශකයකට කලින් නම් මීටවඩා බොහෝ වෙනස්. මේ දේවල් තනිකරම නිර්මාණය උනේ මිනිස් අතින් ඒක වෙනම සංස්කෘතික ලක්ෂණයක් වගේ.
ඒත් ඉතිං වානිජමය තත්වයේ ඉන්න දක්ෂම කලාකාරයො මේ සඳහා අල්ල ගන්න අමාරුයි..හේතු කීපයක් තිබුනත් ආසන්නම කාරනය වෙන්නෙ..ගොඩක් වෙලාවට මේ තැන්වල තොරණ් ඉදිවෙන්නෙ රාත්‍රී කාලටනෙ..ඒ වෙලාවට මේ අය නාගසලං වෙලානෙ ඉන්නෙ.
ඔය වෙලාවට පිහිටට ඉන්නෙ බාගෙ කලාකාරයො..ඒකියන්නෙ වෘත්තීයමය නොවන..සමාජසේවය ගැන "උනක්" තියෙන අය . මේ වගේ අය අපේ ගමෙත් දෙතුන් දෙනෙක්හිටිය...එක්කෙනෙක් උනේ වීය තමා. මාත් එක්ක සෙට් එකක් හිටිය මේ වගේ වැඩ වලට..පුතා,සනා,ජූඩි,රෝහන,පාලිත,වසූරියා....ඔය කීපදෙනෙක් තමා.
තොරණක් ඉදිකරනව කියන්නෙ සාමූහික වැඩක්.ඉටිකොල ගහල අකුරු අතින් ඇඳල නිමකරන තොරණක් නම් වැඩ අඩුයි.
රීප්ප පෙට්ටි ගහල රිජිෆෝම් වලින් බොක්ස් මොඩ්ල් එකට ඉදිකරන ඒවයෙ වැඩ වැඩියි වියදමත් වැඩියි.
එත් මේවා හරි තරඟකාරී දේවල්නෙ. ජීවත්ව ඉන්නකොට සොයානොබලපු දරුවන්, මලගෙදරට එන තමන්ගෙ සල්ලිකාර යාලුමිත්‍රයින්ට පේන්න මලගෙදර ඉතා ඉහලින් ගන්න නිසා තොරණත් ඉතා ඉහලින් අවශ්‍යවෙනව.
මුල්ම කාලෙ බොහෝ තැන්වල කලේ රීප්ප වට්‍ටුව ගහල ඒකෙ සුදු ඉටිකොල ගහල ලැකර් වලින් අකුරු ලියන එක. ගම්වල ඒකාලෙ වට්‍ටුව ගහන්න දක්ෂ අය හිටිය. බොහොම සරලයි වගේ පෙනුනට කෑලි තුනකට සෙට් වෙන නිසා එකිනෙක ගැලපීම අවශ්‍යයි. නිවැරදි මිනුම් වලට සිදුවිය යුතුයි. ඉටිකොල ගහන එකත් ඒවගේ එකරැල්ලක්වත් නොහිටින්න වැඩේ ඕන..මේකට දක්ෂයා වෙලා හිටියෙ සුදු මහින්ද.
ඊලඟට අකුරු අඳින එක...මේ වැඩේ තමා අමාරුම.අපි දක්ෂ චිත්‍රකලාකාරයො නොවේ. ඒනිසා පින්සලක් අරන් එක හුස්මට අකුරු අඳින්න බෑ. මුලින් පෑනකින් අකුරු ටික ඇදල උඩින් ලැකර්වලින් පාටකරන එක තමා කරන්නෙ. අපිගාව පින්සල් පවා තිබුනෙනෑ..නමුත් ඒකටත් අපි ක්‍රමයක් හොයාගෙන තිබුනෙ. සිගරට් වල ෆිල්ටර් එක. වටේ තියෙන කොලේ ගලවල පැන්සලකට තියල ගැටගහගත්තම පින්සල් පරාදයි. හැබැයි වැඩේ තියන්නෙ...එක අකුරකට එක ෆිල්ටර් එක ගානෙ උවමනා වෙන එකයි.පුලුන් වගේ නිසා නිකන්ම දියවෙලාවගෙ යනව.
එක පාරක් හරි සිද්දියක් උනා අකුරු අඳින්න ගිහිල්ල. සාමාන්‍යයෙන් එදාට ප්‍රධානත්වය ලැබෙන්නෙ මේ වැඩේට නිසා , නා නා ප්‍රකාර අය මෙතැනට එනව.
සමහරු උපදෙස් දෙන්න එනව.
වෙන වචනයක් ලීව නම්.... , අකුරු තව ලොකු උනානම් හොඳයි....ඔය වගේ.
මේකට හේතුව උනේ පිරිස ඉස්සරහ "පොරක්" වෙන්න දඟලන නිසයි.
හැබැයි ඉතිං රසසාගර වගේ පොරවලුත් සමහර වෙලාවට සෙට් වෙනව. හිනාකාල ඉවරයක් නෑ කියන කතාවලට.අපේ උනුත් කරන්නෙ කරන වැඩේ පැත්තකින් තියල ආතල් ගන්න එක තමා.
ඒ වගේම දුරපලාත් වලින් ඇවිල්ල ඉන්න නෑදෑ පිරිවර අතරෙ ඉන්න ඇහැට කනට පේන ලමිස්සියො ඉන්නව නම්..ඒදාට උදව් කරන්න ඕනතරම් කට්ටිය ඉන්නව.
තොරණ ඉදිකරන එක විශේෂ කාරියක් නිසා අපි ඉන්න තැනට නිවැසියන්ගෙ විශේෂ අවධානය , සැලකිලි එමටයි. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින දිහා බලන් ඉන්න සිරිතක් අපේ තියෙන නිසාද මන්ද කට්ටිය වටවෙනව සුටුස් ගාල. ඔය අතරෙ ගෑණුලමයි ඉන්නව නම් අපේ උනන්දුව තෙගුන වෙනව.
අනිත් එක දැන් ඉන්න ගැහැණු ලමයි වගේ නොවේ ඒකාලෙ..වැඩකරන අයට ,නිදිවරන අයට තේ ,කෑමජාති හදනව...අනික ගමේ ඉන්න තරුණ තරුණියො භේදයක් නැතිව උදව් පදව් වෙනව.ඉතිං කොල්ලොත් පැණි ඇඹලයො වගේ වටේ කැරකෙනව.
මේ කියන දවසෙත් ලමයි කීපදෙනෙක් වටවෙලා හිටිය නිසා ඒ අයත් එක්ක පුන්චි කතාබහක් කරන ගමන් තමයි මාත් අකුරු අඳින එක කලේ...අපේ අනිත් එවුන් නම් මල් කඩනව මෙලෝ සිහියක් නැතිව මට ඉරිසියාත් එක්ක.
ටික වෙලාවක් යනකොට නංගිලා කිහිප දෙනෙක් කසුකුසු ගගා...හිකි..හිකි..සිරික්කිය දානව.
දැන් මට ප්‍රහේලිකාවක් ඇයි මේ කියල..එක්කෙනෙක් තොරනට අත දික්කරාපි,
අයියෙ..මේ බලන්න මෙතන මොකක් හරි අවුලක් නේද..?
"පියානිනි ඔබට නිවන්....." ඈ...මලා..!!!
මැදැයි කොලා.... අකුරු ඇඳගෙන යනකොට යම් වෙනසක් තිබුනොත් එවලෙම භූමිතෙල් ගාල හදන්න පුලුවනි. ඒ ලැකර් වේලෙන්න කලින්..දැන් ඒ අකුරු වල තීන්ත වේලිලා. මොනව කරන්නද... අනික් එවුන්ගෙන් කුනු බැනුම් අහන ගමන් ඉටිකොලේ ගලවල අලුත් ඉටිකොලයක් ගහල අකුරු ටික ලියල තොරන ගහනකොට එලිවෙලා උදේ 6 විතර උනා.
අන්තිමට වැඩේ ඉවර කරන්න ඉතුරු උනේ මමයි..ජූඩියි,පුතයි විතරයි..ඒ වෙනකොට පාන්කියාගන්න බැරි තරමට උනත් වැඩක් බාරගත්තම ඒක නිසියාකාරව ඉටුකිරීමේ ජන්මාන්තර පුරුද්දක් තියෙන නිසා නිදිවරාගෙන වැඩේ ඉවර කලා.
කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඒකාලෙ කරපුව මතක් වෙනකොට අපරාදෙ ඒ ගෙවුන කාලේ කියල නම් හිතෙන්නෑ ජීවන පාසලෙන් ලබපු අත්දැකීම් එමටයි.
ඉවරයි..!
*************************************
ඉවරයි කිව්වට ඉවරම නෑ...තව කොටසක් එන්ට නියමිතයි...!!