Tuesday, March 26, 2013

පිදුරු හතු බැදුම



කුඹුරු ගැනයි,කමත් බාසාව ගැනයි කලින් පෝස්ට් දෙකක් ලිව්වත් මුලින්ම ලියන්න හැදුවෙ වෙනම දෙයක්. මේ දවස් වල කුඹුරු කැපිල තියෙන එකේ ඔය කුඹුරු වලින් සතපහකට වැඩැක් නෑ කියල ඉවතදමන "මැඩුවං"( පිදුරු) වලින් අපේ ගැමිය ගත්ත ප්‍රයෝජන එමටයි. ඉන් එකක් තමයි මේ.

පිදුරු හතු...!  ඕනම කුඹුරක ඉවත දමන දෙයක් උනත්  පිදුරු කියන්නෙ මහාර්ඝ  සම්පතක්. ගොවියාට බැත සපයාදීල ඉවත් උනාට පස්සෙ ඒ බැත ආහාරයට ගන්න ඉතා රසින් පිරි වෑන්ජනයක් සකස් කර ගන්න අමුද්‍රව්‍යත් සපයල දෙනව.

සාමාන්‍යයෙන් පිදුරු, ගොයම් පාගන පාවරෙන් ඉවත් කලාම ගොඩක් විදියට නැත්නම් පිලිවෙලක් නැතිව වීසිකරල දැමීමක් තමයි වෙන්නෙ. එහෙම උනාම මේ පිදුරු  අර ඉඳිආප්ප වැල් වක්කරනව වගේ තමයි ගොඩ ගැහෙන්නෙ. එතකොට ඔය අතරෙ යම් හිඩැසක් හිටිනව.  

පිදුරුවලට උරුම උනු යම් විශේෂත්වයක් තමා දැඩි ඌශ්නයක්,රස්නයක් ‍රැඳිල තියෙන එක. මේ රස්නය නිසා පිදුරු වැල් ඇතුලෙ යම්කිසි රසායනික ප්‍රතික්‍රියාවක් නිසා පරිසරයට විවෘත නොවුන ඇතුලට වෙන්න මේ පිදුරු හතු වල බීජ හටගන්න ගන්නව. සමහර විට මේ දිලීර විශේෂය පිදුරු ගහටම ආවේනික ලෙස තිබෙන්නට පුලුවන් .

ඒගැන යම් පර්යේෂණයක් කෙරිල තියෙනවද කියන්න නම් දන්නෙ නැහැ.
හොඳින් බැලුවොත් පෙනේවි කුඩා අංකුර විදියට මතුවෙන හතු.

පිදුරු ගොඩගහල දවස් හතරක්,පහක් යනකොට පිදුරු වලට ජලය,පින්න වැටෙන්න ගත්තම...ඇතුලෙ උශ්ණත්වය හොඳටම වැඩිවෙන්න ගත්තම මේ පිදුරු හතු අංකුර හැදෙන්න ගන්නව.ඇත්තටම මේ අංකුර හැටියට තමයි මේවා ආහාරයට ගන්නෙ.
දැනටත් අපේ කුඹුරු කපල මාසයකටත් වැඩියි ඒත් තවමත් හතු හැදෙනව.

අපේ  ගම්වල ස්වයංපෝශිත  ආහාර රටාවට වෙන උදාහරණ අවශ්‍ය නැතිතරම් මේ පිදුරු හතු ගැන අවදානයට ගත්තොත්. අපේ අම්මල නම් දිනපතාම ගොයම් කැපුවට පස්සෙ ආහාරයට එක්කර ගන්නෙ කිසිම වියදමක් නැතිව,ඉතා උසස් මාංශමය පෝෂණ  ගුනය තියෙන ආහාරයක් විදියට.පවුලක පස්දෙනෙක් හිටියත් මාසයක් දෙකක් පුරාවට පිලිවෙලට මේ අස්වැන්න නෙලාගත්තොත් ප්‍රමානවත් වෙනව.ඒ කියන්නෙ දිනපතාම අපිට ව්‍යංජනයකට ඇතිවෙන්න හතු ලැබෙනව.රසයෙනුත් ඉහලයි.

අපේ කුඹුරු දෙකෙන් එකක් ටිකක් ඈතට වෙන්න තියෙන්නෙ මිල්ලේදන්ඩ කුඹුරු යාය. ඒත් මගෙ මල්ලිගෙ ගෙදර තියෙන කුඹුර තියෙන්නෙ නිවසට යාබදවමයි. ඒ නිසා ඒ කුඹුරෙ මඩුවං වලින් උපරිම හතු අස්වැන්න නෙලාගන්නව විතරක් නෙවේ කොටසක් මටත් එවනව. 

ඒත් මිල්ලෙදන්ඩෙ කුඹුරුයායට  යාබදව නිවෙස්වල ඉන්න මිනිස්සු මේ හතු ආහාරයට ගන්නෙ නෑ..ඒත් ඒ යායෙ කුඹුරු හැම එකකම මැඩුවං තියෙනව.ඒ කියන්නෙ හතු අස්වැන්න ඕන තරම්.

ඒත් අපේ මිනිස්සු කිසිම ගුනයක් නැති ,මිලෙන් වැඩි බෝංචි පන්සීයක් අරන් ඇවිල්ල කෑවත් අර නිකන්ම පරවෙලායන පිදුරු හතු ආහාරයට ගන්නෙනෑ...ඉතිං කෑ ගහනව ජීවන වියදම ඉහලයි ජීවත් වෙන්න බෑ කියල.

කතා ඇති මෙන්න පිදුරු හතු වෑන්ජනය..!

ඊට ඉස්සෙල්ල මේ පින්තූර ටික බලලම ඉමු.


මේ තියෙන්නෙ පිදුරු හතු වෙනම ගත්තම.( පැහැදිලි ඡායාරූප නැතිවීම ගැන සමාව ඉල්ලනව මගේ දුරකතනයෙන් ගත්තෙ.)


මේ තියෙන්නෙ නෙලාගෙන අපද්‍රව්‍ය ඉවත් කරගත් පසු  අහුරු දෙකක් විතර  තුන්දෙනෙක් ඉන්න කෑම වේලකට ඉහටත් උඩින්.

වෑන්ජනේ හදන්න අවශ්‍ය අමුද්‍රව්‍ය.
මෙතැන ජාති කීපයක් අඩුයි..මගේ කලබලේට ඒව සූජානම් කරන්න කලින් පින්තූරෙ ගත්තෙ.

තරමක් හීනියට ලියාගත්තු රටලූණු හෝ රතුලූණු ටිකක්.
කපාගත් තක්කාලි ගෙඩියක්.
හීනියට ලියාගත් කරපිංචා  කොල කීපයක්.
හීනියට ලියාගත්ත සුදුළූණු බිකක්.
ලියාගත්ත අමු මිරිස් කරල් දෙකක්.
අවශ්‍ය තරමට උම්බලකඩ,ලුනු,කෑලි මිරිස් ටිකක්.

ඊට පස්සෙ කරන්න තියෙන්නෙ සාමාන්‍ය බැදුමක් හදන ආකාරයට බැදුම හදාගන්න ඒක තමා.

තාච්චියකට තෙල් චුට්ටක් දාල...කරපිංචා,ළූණු, සුදුළූණු,උම්බලකඩ,අමුමිරිස්,කෑලිමිරිස්  ආදිය දාල ගානට බැදිල එනකොට හතු ටික දාල ටිකක් තෙම්පරාදු කරල ගානට ලුනු කුඩු ටිකකුත් එකතු කරල  රන්වන් පාට වෙනකොට බාගන්නව.( ටිකක් තැම්බෙන්න අඩු ගින්දරේ පියනකින් වහල තියන්නත් ඕන.)


පුලුවන්නම් හොයාගෙන ආහාරයට එක්කරගන්න කියල හැමෝගෙන්ම ඉල්ලාහිටිනව.
සමහර වෙලාවට පාරෙ යන උදවිය  මැඩුවං තියෙනව දැකල වෙලට බැහැල පිදුරු ගොඩ ගොඩ අවුස්සල හතු කඩන් යනව මම දැකල තියෙනව.


ප/ලි..................              මේ දවස් වල හිතේ කිසි නිදහසක් නෑ...මගේ ප්ලොටර් එක ඒක සැරේටම ඔන් වෙන්නෙ නැතිව ගියා. පවර්සප්ලයි එකේ අවුලක් කියලයි මීට කලින් හදන්න ආපු එක්කෙනාට ඇමතුක් දුන්නාම කිව්වෙ. ඒත් මෑන්ව අල්ල ගන්න අමාරුයි .අද එනව..හෙට එනව කිය රවට්ටනව දැන් සතියකටත් වැඩී තාම ආවෙ නෑ. වැඩ ගොඩ ගැහිල ප්‍රින්ට් ගන්න බැරිව. දැන්නම් අලුත් එකක් ගන්න හිතිල තියෙන්නෙ. ඒත් මිල තමයි දරාගන්න බැරි.මේ පෝස්ට් එක පොරොන්දු උන ඉක්මනින් දාන්න බැරි උනේ ඒකයි...!










Monday, March 18, 2013

කුඹුරයි...කලවිටයි..!


පින්තූරය ගත්තෙ අන්තර්ජාලෙන් සිළුමින කියලයි තිබුනෙ.
කුඹුර හා කලවිට කියන්නෙ ගහයි පොත්තයි වගේ.ඔය කලවිටෙන් තියෙන ප්‍රයෝජන එමටයි. කුඹුරු කොටන කාලෙට ටිකක් විඩා නිවාගන්න...ගේන අඩුමකුඩුම ගහක එල්ලා තියන්න..තේවතුර ටිකක් බොන්න වතුර ටිකක් රත්කරගන්න. ඒ විතරක්ද..ගොයම් කැපුවම ගොයම්කොලේ හදන්නෙ කලවිටේ තමා. සමහර අය ගොවිතැන් නොකරන කාලෙට කලවිට බෙදාගෙන ..මිරිස් ,වම්බ‍ටු,බ‍ටු..වගේ ගොඩ එළවලු වගා කරනව. 

ඒ වගේමයි කලවිට වටේම තිබුනෙ පුලුන් ගස්...අපේ අම්මගෙ වැඩේ මට කියල ගහට  නග්ගල පුලුන් කඩවගන්න එක. වැඩිය උසත් නෑ හරි සාරෙට වැවිල.අනික කලවිටේ එලවලු වැව්වම පොහොර ඕන්නෑ...හරිම සාරෙට බෝග වැවෙන්නෙ..අදටත් මම දන්නෑ ඒ ඇයි කියල. දැන්නම් පුලුන් ගහක් දකින්නත් නෑ.

පොලවට වඩා තමරක් උසින් තමා කලවිට තිබුනෙ.
මේ වෙල මැද්දෙ ගහක් තියෙන්නෙ කලවිටක තමා.හැබැයි අපේ කලවිට මීට වඩා විශාලයි.ඔය වගේ ලොකු ගස් කීපයක් තිබුන. (පින්තූරය නම් අන්තර්ජාලයෙන් උපුටාගත්තෙ.)

අද වෙනකොට ට්‍රැක්ටර් වලින්  කුඹුරෙ ඉඳගෙනම කපපු විගසම ගොයම් ටික පෑගුවත් ,ඉස්සර  කපන දවසට පස්සෙන්ද තමා ගොයම් පාගන්නෙ ඒ නිසා කලවිටේ ගොයම් කොල කීපයක් දකින්න පුලුවන් එක විඩේට.

 කවුරුවත් ගොයම් හොරකන් කරන බවක් අපි අහල වත් තිබුනෙ නෑ.

අපේ මිල්ලේදන්ඩෙ... කාන්ඩෙ කීපයකගෙම කුඹුරු  තිබුන. එක යායට තියෙනකොට කාගෙ,කාගෙ ඒවද..කොයි ලියැදි ටිකද අපිට අයිති කියල හොයාගන්න බෑ...එක විදියෙයි නොවැ.අනික එකම වී වර්ගය වගා කරන පුරුද්දක් ඉස්සර තිබුන.

මම ඇටෙන් පොත්තෙන් එන කාලෙ දවසක .. අම්මත් එක්ක තව ගොයම් කපන ගෑණු අය කීප දෙනෙකුත්, එකතු කරන්න එක්කෙනෙකුත් එක්ක මාත් ගියා කුඹුරු කපන්න උදේම. 
දැන් අපේ ලියැදි ටික හොයා ගන්න බෑ..තාත්තත් විශේෂ වැඩකට දුරක ගිහින්..අම්මටත් ඒ හැටි නිච්චියක් නෑ කියනව. 
දීර්ඝ සාකච්ඡාවකින්  පස්සෙ ඕන්න වැඩේ පටන් ගත්ත. ඒ වෙනකොට කපන්න ඇවිල්ල හිටිය ඈයො කන් කෙදිරි ගගා හිටියෙ අව්ව වැඩිවෙන්න කලින් ඉක්මනට වැඩිහරියක් ඉවර කරන්න ඕන කියල.ඉක්මනටම .

ලියැදි දෙකක් කපනකොට තාත්ත ඈත ඉඳන් මොනවද කිය කිය එනව අත් දික්කර කර....අපිත් කට ඇරන් බලා හිටිය වැඩේ නවත්තල..තාත්තත් ඉතිං ගිනිපුක් කාරය නෙවැ..තද වෙලා වෙන්න ඇති කියල මොකකට හරි.

ඇයි බොලව් ඕච්චර කාලයක් කුඹුරට  එන බොලාට අපේ ලියැදි ටික මතක නැද්ද...? ඔය කපලා තියෙන්නෙ කඩේ ගාමිණිගෙ කෑල්ල නේ...!!

මල හත්තිලව්වයි තව ටිකයි කිව්වලු..! අපිට දෙලෝ රත් උනා ඇයි දෙයියනේ ඒ වෙනකොට ලියැදි දෙකක් කපල තිබුනෙ. 
තාත්ත මුකුත් කිව්වෙ නෑ..තව "පාවර"ක් හදපල්ල කිව්ව.

 එකතු කරමින් හිටපු "ගොයම් කොලේ" එහෙම්ම ඉටිකොලේකින් නොතෙමෙන්න ආවරනය කරල..අපි වෙනම මෙහායින් පාවරක් අලුතින් හැදුව.

ආයිත් මුල ඉඳලම ගොයම් කපන්න ගත්ත..අත්තමට ආපු අය "හුම්"...කිව්වෙ නෑ ගොඩක් වෙලා යනකං ඇයි..උන්ට කේන්තිනේ..

අන්තිමට තාත්ත ගොයම් පාගල ඉවර උන පස්සෙන්දම අත්තමේ සල්ලි වලට අමතරව වී කුරුනි පහ ගානේදුන්න.

තාත්ත තකහනියක් ගිහිල්ල කඩේ ගාමිනිට විස්තරෙ කියල ආව. ඒ අයනම් සතු‍ටුවෙයි  ඇයි අත්තමක් විතර අඩුවෙන්නෙ යන්නෙ ඒ ගොල්ලට කුඹුරු කපන්න.

ගොවිතැන් කරන අය අතර තිබුනු විනය,සංවර කම ගැන මතක් වෙනකොට පුදුමයි. කවදාවත් තව කෙනෙකුගෙ අබ ඇටයක දෙයක්වත් ගන්නෙ නෑ...හිතරිදවන්නෙ නැහැ.

අනිත් එක තමයි එකිනෙක අසල තියෙන,කුඹුරු දෙකක්නම් එකක වැඩ වේලාසනින් ඉවර උනා කියල ඒ අය පිටත් වෙලා යන්නෙ නෑ. අර අනිත් පරක්කු වෙන අයගෙ ගොයම් ටිකත් කපල දීල දෙගොල්ලොම එකට ඇඟපත හෝදගෙන තමයි කුඹුරෙන් යන්නෙ.

පස්සෙ පස්සෙ ඔය චාරිත්‍ර නැතිවුනා..දැනටත් යන්තමට ඉතිරියි අපේ තාත්තල වගේ පිරිස නිසා. 

වතුවල ඉන්න දෙමල අය කම්කරු හිඟයට පිලියමක් ලෙස සමහරු උපයෝගී කර ගත්ත. ඒ නිසා මේව පරිහානිය ඉක්මන් උනා.

මට අදවගේ මතකයි. පොඩිකාලෙ ගොයම් පාගන වෙලාවෙ කා‍ටුව නිසා බැත එකතුවෙන පාවරට සෙරෙප්පු දෙක දාගෙන ගිහිල්ල කලවිටෙන් එලියට යනකන් කනේ පාරවල් කීපයක් කෑව..තාත්තගෙන්...!

************************************************************
ප/ලි.        ....... ලියන්න ගත්තෙ වෙන එකක් අන්තිමට මතක ගබඩාව අවදි උනා.ඒ නිසයි මේ ටික ලිය උනේ. පිදුරු හතු දන්නෙ නෑ කියල සමනලී කියල තිබුන හින්ද පිදුරු හතු ටිකක් උයන හැටි ගැන දාන්නයි හිතුවෙ පස්සෙ දාන්නම් පොටෝ ටික තීනවනෙ.




Thursday, March 14, 2013

ඉපනැල්ලෙ...ගොයම් කොලේ


ඉර ගිණිබෝලයක් වගේ ඈතට පෙනුනට දැන් හවස හයත් පහුවෙලා.ඒත් ගිනිකූටක අව්ව තාමත් එහෙම්ම තියෙනව.ඈත වෙල ඉස්මත්තෙ කලවිට අද්දර හිස් බිමේ වගේම තවත් ලියැදි කීපයකම මිනිස්සු කඩිගුල වගේ වැඩ. වෙලාවකට හිතෙනව මේ ලංකාවෙ මිනිස්සුමද ...කියල. ඔව් අපේ මිනිස්සුම තමා.

මේ දවස්වල පහතරට තෙත්කලාපයේ වෙච්ච අපේ ගම්වල කුඹුරු කපන කාලෙ.එහෙම නැත්නම් ගොයම් කපන කාලෙ. 

අපේ ගම් වල වෘත්තීයමය ගොවියො දැන් ඇත්තේම නැහැ. ඉස්සරත් හිටියෙ නැති තරම්.රජරට,ඌව,දකුණෙ ඈතට වෙන්න වගේ විශාල කුඹුරු ඉඩම් මෙහේ ඇත්තේම නැති තරම්.කුඩා කුඩා ලියැදි වලින් පිරිච්ච වී කුරුනි 6ක් හෝ 12ක් වගේ තමයි ගොඩක් අයට තිබුනෙ. ඊට වඩා වැඩිපුර තිබුන අයත් හිටිය ඒත් අඩුයි. මහනුවර පැත්තෙ වගේ හෙල්මලු ක්‍රමේ නම් ඇත්තේම නැහැ.

අහස් දියෙන් වගාකරන නිසා කාලවකවානු වලට නියමිත පරිදි කුඹුරු වගා කිරීම  සිදු උනා. ඒ නිසාම ගොයම් කපන්නෙත් එක කාලයට. හැමෝම එකා වගේ මහන්සි වෙනව. පාරෙ යනකොට නාස්පුඩුවලට දැනෙන නැවුම් ඉපනැල්ලෙ සුවඳ...අපේ ලේ නහර වල,ජානවල තැම්පත්වෙලා තියෙන බතබුලතක හැඟීම වචනයෙන් විස්තර කරන්න බැරි තරම්.


මේ දවස් වල උදේ හවා කාර්‍යාලයට යනෙන මට කුඹුරු ඉසව්වෙදි නැහැයට දැනෙන මේ පඬු ඉපනැල්ලෙ මිහිරි සුවඳත් ඒක්ක හිත අතීතයට යන්නෙ නොදැනුවත්වම.
මේ තියෙන්නෙ මිල්ලේදන්ඩ  කුඹුරු යාය.දැන් ගොයම් කපල ඉපනැල්ල විතරයි. හරක් තමයි දැන් අයිතිකාරයො.
අපේ තාත්තටත් කුඹුරත් තිබුන. එක යායකට තිබුන ඒ වෙල් ඉසව්වට කිව්වෙ.."මිල්ලේදන්ඬ " කියල. සින්නක්කර ඔප්පුවල සඳහන් වෙන්නෙ එහෙමයි.අක්කර බාගයයි,නැත්නම් වීකුරුනි 6යි.මගේ තාත්ත පෙදරේරුවෙක් උනාට කුඹුරු කරන්න පුදුම ආසාවක් තිබුනෙ.  අද කාලෙ වගේ නෙමේ. තනිකරම මිනිස් ශ්‍රමය විසින්ම තමා කුඹුරු කලේ.

මුලින්ම වේලි බඳිනව..කුඹුරු කපල කාලයක් වෙන නිසා මේ වෙනකොට ගමේ එළ හරක්,මී හරක් අරක් අරගෙන ඉන්නෙ.උන්ගෙ කුරවලට වේලි යන්තම් පස්ගොඩක් බවට පත්වෙලා ඉවරයි. දෙන්නෙකුට දවස් දෙකක වැඩ තියෙනව.අනික් කාරනය වේලි බැන්දම ඒවයෙ තියෙන තණකොල මැරෙනව. ඔය කුඹුරු කොටන කොට දෙපාරක් කොටන්නෙ ඒකනෙ. මුල් කෙ‍ටුමෙ තණකොල තියෙන පස් උදලු පාරට පේලියට පෙරලාගෙන යනව. ඊට පස්සෙ ලියදිවල වතුර බඳිනව.තියෙන තනකොල ඔක්කොම තැම්බෙනව.ඊලඟට දවස් හතකින් විතර අර තැම්ඹුන පිඩලි ටික නොපිට හරවනව..ඒක  දෙකෙ‍ටුම් කියල කියනව. ඉන්පස්සෙ තමා වපුරන්නෙ.

ඔය සිද්ධි දාමය දැන් වෙනස් වෙලා..මුලින් වස ගහනව. දවස් කිහිපයයි කෙලින්ම කොටල වපුරනව. අත්ටැක්ටරෙන් හාන එකත් ජයටම කෙරෙනව.මීහරක් දාල හාන එකනම් කෙරෙන්නෙම නැති තරම්.ඒත් සාර්ථකම ක්‍රමය ඒක කියලයි වැඩිහිටියො කියනව මට ඇහිල තියෙන්නෙ. 

මී හරකගෙ ඇඟ හරිම ඌශ්ණයි.උන් දවස තිස්සෙම මඩේ ලැගල ඉන්නෙ ඔය ඌශ්ණය අඩුවෙන්න කියලනෙ කියන්නෙ. උන්ට පෑගිලා ඇඹරිලා  මැඩවෙන පොලවෙ කාලයක් යනකන් වල්පැල වැවෙන්නෙ නැහැ. වෙන හේතුවක් තියේද මන්ද..?

වස ගැහැව්වමත් වෙන්නෙ ඔය සිද්දියම බරපතල විදියමටම තමා.ඒත් වස වලට පොලොවෙ ඉන්න ගොයම් ගහට හිතකර සත්තු ඉඳල ..වතුරෙ ඉන්න මාලුවා පවා මැරෙනව. අනතුරු දායකම වැඩේ  ඔය විස කාලයක් යනකන් ඉවත්වෙන්නෑ..කුඹුරට බහින ගොවියට විසක් බවට පත්වෙන්නෙත් ඕවම තමා.

අපේ තාත්ත කාලෙකට උඩදි කුඹුරු වැඩවලට සම්බන්දවීම අතහරින්නත් හේතු උනේ වස. වස ගහල කුඹුරු කොටන අයගෙ කකුල් වලට විවිධ ලෙඩ හැදෙනව.විස බිබිලි දානව,කහන්න අර ගන්නව,දැවිල්ල ගන්නව. අපේ තාත්තගෙ කකුලෙ සුව නොවන තුවාලයක් ඇති උනා වස වලට.

තාත්තගෙන් මට අක්කර බාගෙ කුඹුර අයිති උනත් මට ඔය කෙරුවාව කරගෙන යන්න අමාරුයි.එකසැරයක් හරි කුඹුරකට බැහැලම බලන්න ඕන රඟේ. දැන් කුඹුරුවැඩ වලට මිනිස්සු අඩුයි.හැබැයි ඉන්න මිනිස්සු ටික ඒ කාලයට අල්ලගන්නත් අමාරුයි. කොහොම උනත් දැන් දැන් කුඹුරු කරන අය අඩුයි.කොහොමත් ලාබයක් නම් නෑ...හිතේ සතුට විතරයි තියෙන්නෙ.


මට හිතුන කුඹුරු වැඩත් එක්ක ගෑවිච්ච..වචන, භාණ්ඩ ගැන දන්න විදියට ලියන්න. අඩුපාඩු තියේනම් කියමු.මට බැරිඋන ඔයාලට මතක් උන වචන තියේනම් ලියමු.
(මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
මඩවන්න ගත්තෙ මීහරක්,ගොයම් කපල පාගන්නත් මීහරක් හවුල් කරගත්ත. ඒත් අපේ පැත්තෙ නම් මම දැකල නෑ. අඹ යාලුවෝ ටෙලිනාට්‍යයේ තිබුනෙ. උන්ට කිව්වෙ "අම්බරුවෝ "
                                                                         (මෙය අන්තර්ජාලයෙන් උපුටාගත් පින්තූරයකි)
වේලි වලින් වෙන් කරල ලියදි හදනව. 
ලියැද්දෙන් ලියැද්දට වතුර ගන්න පිටවානෙන් වක්කඩයක් බඳිනව. පිටවාන කියන්නෙ...මුලු කුඹුර වටා ජලය ගෙනියන ප්‍රධාන ඇලට. පිටවානෙ ඉවුර කපල හදන සිදුරට වක්කඩේ කියනව.
කුඹුර කොටල හෝ  සීසාල ...තරමක් පැලවුන වී ඇට ඉහිනවට කියන්නෙ...වපුරනව .

දිනෙන් දින ගතවෙලා ගොයමේ මල් පීදෙන..පිපෙන කාලයට 
හීන් බන්ඩි..ඊටපස්සෙ ගොයම් මල් ඇට බවට පත්වෙනකොට මහ බන්ඩි.
ගොයම් කපනකොට වී ඇට බිත්තර.
ගොයම් කපල ගොඩක් විදියට එකතු කරන තැන පාවර.
එකතුවන ගොයම් ගොඩ ගොයම් කොලේ.(ඉස්සර නඩුවකටත් ඈඳල කියන්නෙ..ගොයම් කොලේට මුවාවෙලා වෙඩි තිබ්බ කියල)
ගොයම් පාගල ඇට එකතුවෙනකොට බැත කියනව.
ගොයම් කපල ගන්නකොට ගහේ මුල්හරිය ඉතුරු වෙද්දිනේ කපන්නෙ. ඒ ඉතිරිවන ටික ඉපනැල්ල.
පාගල ඇට වෙන්කරගෙන වීසිකරන ඉතිරිහරිය මැඩුවං(හරක්ට කන්න දෙන්නෙ.)
වී වේලන්න ගන්නෙ මාගල(දිග විශාල පැදුර)
වීවේලනකොට දුහුවිල්ලක් වගේ කොටසක් තියෙනව කා‍ටුව .

අපේ ගෙවල් වලට වී පුරවල ගේන ගෝනි උඩ නගින එක අපේ ජොලිවැඩක් තාත්ත හරි අම්ම හරි දැක්කොත් ගුටියක් තමා..දරුවො කන බත් පතනේ..පව් සිද්දවෙනව.

ඉස්සෙල්ලම අලුත් හාලෙ බත් කන එකත් පූජාවක් වගේ.මාලුපිනි මොනව හරි එක්ක පපඩම් බැදල,කටට රහට කෑම හදල මුල්ම කොටස එලිමහනෙ රාත්‍රී 9න් පස්සෙ පූජාවක් තියනව.වතුරත් තියනව.අස්වැන්න සරු උනාට පිංදෙනවා.

අදවගේ මතකයි. එදාට තාත්ත වෙලාසන නාල පිරිසිදු වෙලා..ත‍ටුවක් හදනව...ගොට්ටක් වගේ අපේ ගෙදර තියෙන ගල උඩ තමා පූජාව තියන්නෙ.මැටිපහනකුත් පත්තුකරනව.

අලුත් හාලෙ තියෙන නැවුම් සුබුඩ්ඩ නිසා බත් පුදුම රහයි. දැන් සමහරු හාල් ඇටේ සුදු වෙනකන් පාහිනව.ඒත් අදටත් මම ආසම හොඳට රතුපාටට සුබුඩ්ඩ තියෙන හාල් වලට. කියන්න බැරි උනා අපි වගා කලේම රතු හාල් වී...........බෝඹුවල,හීනටි,සුවඳැල්,...තව ඒව මතක නැහැ. 
දැන්නම්...තනිකර අංක වලින් කියන වී වර්ග..අස්වැන්න හොඳයි කියනව...ඒත් ලෙඩ වැඩී.

ඒත් මගේ කුඹුර මම මල්ලිට දුන්න.

Wednesday, February 20, 2013

කන්ගැට්ටාගේ ඇටසැකිල්ල..!



පොසොන් මාසය කියන්නෙ කොලුවයසෙ හිටිය අපිට සැනකෙලි සමයක් කිව්වොත් අතිශයෝක්තියක් නොවේ.මීට අවුරුදු 10කට15කට පෙර, තරුණ තරුණියන්ට විනෝදවීමට තිබුන උත්කර්ශවත් කාල සමයක් තමා..වෙසක්,පොසොන්,ඇසල කියන ප්‍රධාන පොහොයවල් පිහිටල තිබුන මාසයන්.

විවිධ පලාත්වලට ආවේනික ලෙස මේ මාසයන් තුල විවිධ උත්සවසිරියක් ගන්නව. සමහර පැතිවල වෙසක් පෝයට තොරණ,කතුරු ඔන්චිල්ලා , වලේ බයිසිකල් , මැරිගෝරවුම් යනාදී විවිද දේවල් ඉදිවෙනව.අපේ ගම්පලාතේ තොරණ ඉදිවෙන්නෙ පොසොන් පෝය ආශ්‍රිතවයි.ඒක කාලයක් තිස්සෙ පැවත ආපු දෙයක්.

මේ කියන පොසොන් පොහොය ආශ්‍රිතව අපේ ගම්පලාතෙ ටවුන් එකේ  තොරණක් ඉදිවෙලා තිබුන.අඩි60ක් විතර උසට ඉදිවෙලා තිබුනත් ,පටන්ගන්න කලින්ම අහස උසට ඉන්දල තිබුන පුවක් ගස් වලින් තොරණෙ ප්‍රමාණය කියන්න අහැකි.  

ටවුන් එකේ ඉඳල අපේ ගෙවල් හරියට වංගු දෙකයි ,නැත්නම් හෝල්ට් දෙකයි. ඒ නිසා රාත්‍රියට තොරණ් බලන්න හැමෝම යන්න ඕන අපේ ප්‍රදේශය පහුකරල.යන්තම් රෑ වෙනකොට....ත්‍රීවීල් වල,ලෑන්ඩ්මාස්ටර් වල බයිසිකල් වල යන පවුල් පිටින් උදවිය අතරේ අහැට කනට පේන ගෑණුලමයි දිහා බෙල්ල උලුක් වෙනකන් බලන් ඉන්නවා ඇරෙන්න ..අපිනෙවෙයි තොරණ පැත්තෙවත් යන්නෙ.

තොරණ ඉදිවෙන්න ඔන්න මෙන්න කියල තියෙද්දි අපේ කොලු නඩේ හිටිය කන්ගැට්ටට අමුතුම අදහසක් පහලවෙලා තිබ්බ.

 කන්ගැට්ටා කිව්වට ඌට වෙන හොඳපිරිසිදු නමක් තිබුන ඒත් මේ නම පට බැ‍ඳෙන්න හේතුව වෙන එකක්.එක කනක කන්පෙත්තෙ පිටිපස්සෙ   දොඹගෙඩියක් තරම් ලොකු ගෙඩියක් තිබුන නිසා කන්ගැට්ටා වෙල පස්සෙ නිකන්ම ගැට්ටා උනා..මේ නම කිව්වම අහල ගං හතක් උනත් ඌව අඳුනනව.හැබැයි ඉන්න තැන ඒ නම කියන්නෙ නැහැ ...ඇහුනොත් අසූහාරදහසට තද වෙනව.

මීට කලින් වෙසක් පෝයට කොහේ හරි තැනක දැක්ක නිසා . කියන්න යන මේ අදහස පහල උනා කියල තමා ගැට්ට කිව්වෙ.  සම්පූර්ණ මිනිහෙකුගෙ තරමට මිනිස් ඇටසැකිල්ලක් නිර්මාණය කරල , රූකඩ වගේ නූල් දාල නටවමු කියලයි කිව්වෙ.

දැන් වැඩේ මේ ඇටසැකිල්ල හදන්නෙ මොනවයින්ද කියන එක...කවුරුවත් දන්නෙ නැහැ.  දීර්ඝ කතාබහකින් පස්සෙ තීරණය උනා අඟලෙ ඝනකම රිජිෆෝම් වලින් හදමු කියල.

ඔන්න වැඩේ මට බාර උනා. මිනිස් ඇටසැකිල්ලක නියම ස්වරූපය,ප්‍රමාණය හොයාගත්තෙ විද්‍යාපොතකින් . පොතේ නම නම් දැන් මතක නෑ.


හැමෝගෙම පුදුම උනන්දුවක් තිබුනෙ. රිජිෆෝම් ශීට් එකේ මුලින් හැඩය ඇඳල කපාගන්නව ඊටපස්සෙ නෝට් එකේ වැලිකඩදාසි වලින් මැදල ගානට රවුම් කරල හැඩය ගන්නව. ඉල ඇට, ඇඟිලි,උකුලේ ඇට,කකුල් අත් වල ඇට මේ සියල්ල හදන්න පුදුම කට්ටක් කෑවෙ..දිවා රෑ මහන්සි උනා. ඒවගේම වැරදුනා...බරගානක් ශීට් අහක ගියා.

ගොඩක් අය මේ වැඩේට සහාය දුන්න.මූනෙ රෙදි කෑලි ගැටගහගෙන බොහොම සංයමයෙන් තමා කරන්න ඕන. කොහෙද අපේ වසවර්තියො නඩේට එක විදියකට ඉන්න පුලුවන්ය පොඩ්ඩක් එහා මෙහා වෙච්ච ගමන් දඟලල රිජිෆෝම් වලින් ගහ ගන්නව...ඉතිං කැඩෙනව. ගැට්ටට මල...!කුනුහරප ඉවරයි.

මේ වැඩේ කලේ අපේම යාලුවෙක්ගෙ ගෙදර වැඩ ඉවරනොවුනු කඩකාමරයක් ඇතුලෙ.දිවා රෑ 10ක්12ක් නිතරම එහේ පිරිල.අන්තිමට ගෙදර කට්ටියට ගැට්ටට වැඩිය වියදම් ගිහිල්ල තිබුන මුන්ට කන්න දීලම.ඒමිනිස්සුන්ට ගොය්තැන් බත් තියෙන හින්ද හොඳයි.


ශරීර කූඩුවෙ තිබ්බ ඇට කොටස් සියල්ලම වගේ දැන් හරි. හයිකරලත් බැලුව. වැඩේ ගොඩ...! අත්දෙකට , කකුල්දෙකට නූල් දාල නටවලත් බැලුව. උකුලටත් නුල් දාල තිබුනෙ නැවෙන්න පුලුවන් වෙන්න.
ප්‍රශ්ණෙ ආවෙ ඊලඟට..?

ඔලුකට්ට හදන්නෙ කොහොමද...කිසිකෙනෙකුට අදහසක් නෑ.
" හරි අපි සොහොනක් හාරල ඔලු කට්ටක් ගම්මු." අදහසක් ආව.
අදහස නම් හොඳයි ඒත් ඒක කරන්නෙ කොහොම්ද ලොකු බැරෑරුම් කමක්. අනික මේක ප්‍රදර්ශණය කරන්න තිබුනෙ නානුගලයගෙ ගෙදර.පාරෙ ඉඳන් අඩි 4ක් 5ක් උසනිසා ඒතැන ගැලපුනේ. ඒත් ඒ මිනිස්සුන්ගෙ ගෙදර මිදුලෙ මිනී ඕලුකට්ටක් නටවතෑකිද..? නානුගලයගෙ ගෑණි අපිට ගහල එලවයි.

අන්තිමට කතාකරල තීරණයකට ආව. අපේ පලාතෙ දක්ෂ ආටිස් කෙනෙක් හිටිය ඈපානන්ද කියල.මුන්නැහේගෙ ගෙදර ඒ කාලෙ වෙස්මුහුණු හදනව.

ඒකත් හරි ජොලි වැඩේ. දැන්කාලෙ වගේ ප්ලාස්ටික්, ඉටි මූනු නොවේ තනිකර පත්තර කොල.මුහුණට කිසි හානියක් නෑ.
කලින් නිර්මාණය කරගත්තු සිමෙන්ති අච්චුවකට..පාප්ප ගගා..පත්තර කොල හීනියට ඉරල අලවනව.ඊට පස්සෙ ගලවනව. වෙලුනාට පස්සෙ ලැකර් ගාල ලස්සන කරනව.  ලස්සන ඒව තිබුන..ලොකුවට තනිකර මූනම හදන ඒවට ඔලුබක්කො කියල කිව්ව. ඔය හැම එකක්ම කල එලියට බහින්නෙ වෙසක් කාලෙට තමා.

ඔන්න අපි ගියා ආටිස් හමුවෙන්න. ආටක නාටක ඔක්කොම දාල මෑන්ට අපේ වැඩේ කිව්වම  මිනිහ වැඩේ බාර ගත්ත. ඒ වගේම ටිප් ටොප් එකට කරල දුන්න..පොදු වැඩේනෙ කියල සතපහක්වත් ගත්තෙ නැහැ..අපිට මාර සතු‍ටුයි. ආයි නෑ ඇත්ත එකක් වගේම තිබුන.

දැන් සියල්ල හරි . පුවක් කණු කීපයක් හිටෝල වහලට පොල් අතු හෙවිල්ලල , වටේට කලු ඉටිකොල ඇදල හදාගත්ත මඩුව. දැන් ඇට සැකිල්ල වහලෙ ලීයක නූල් වලින් එල්ලල තියෙන්නෙ. පිටිපස්සෙන් කලු ඉටිකොලයක් ඇදල ඊටත් පිටිපස්සෙ පොඩි මේසයක් තියල ඒක උඩ නැගල තමයි නූල් අල්ලන් ඇටසැකිල්ල නටවන්නෙ. නටවන කෙනා පේන්න නැතිවෙන්න ඇටසැකිල්ලෙ උඩින් තව ඉටිකොලයක් ඇදල තියෙන්නෙ.

කීපසැරයක් අත්හදාබලල අඩුපාඩු හදාගෙන පොසොන් දවසෙ රෑ 7 විතර වෙනකොට විවෘත කෙරුන. ඕකටත් කාටද ආරාධනා කරල තිබුන මට මතක නැහැ. නානුගලගෙ ගෙදරින් වයර් ඇදල එක බල්බ් ඒකක් මඩුවට දාල තිබ්බ.ඒත් අඩාඳුරෙ තමා තිබුනෙ.එතකොටනෙ කට්ටිය බයවෙන්නෙ.

දැන් වැඩේ නැගල යනව පාරෙ යන අයත් ටිකකට හරි නැවතිලා ඔලුව දාල බලනව මේ මොකක්ද කියල. ඒ මදිවට  ඇටසැකිල්ල නටවන්න කට්ටිය පොරකනව. හරි අමාරු වැඩක් පොඩ්ඩ එහා මෙහා උනොත් නූල් පැටලෙනව. සමහරුන්ගෙ අතින් වේගය වැඩි වෙනව..ඒතකොටම ගැට්ට දුවගෙන එනව...!කෑ ගහනව වේගෙ වැඩී කියල.

පොඩි සංවිධායක මන්ඩලේකුත් හැදුන.සෙනග වැඩිවෙනකොට කැට හොල්ලන්න පිරිසක් දැම්ම.සරුයි වැඩේ.කවුරු හරි කට්ටියක් පාරෙ නැවතුන ගමන් කැට අරගෙන යන්න කට්ටිය පොරකනව. ආධාරත් හම්බ උනා..රුපියල , දෙක, වැඩිම උනොත් රුපියල් 5යි.ඒකත් ලොකු ගානක් ඒකාලෙ.

රෑවෙනකොට සෙනඟ පිරෙන්න ගත්ත.තොරණ බලන්න යන හැමෝම මෙතැන නැවතිලා විනාඩි 10,15ක් ඉඳල යන්න උනා. ඒත් පලවෙනි දවසෙ නිසා ගොඩක් අඩුපාඩු තිබුන.


සමහර වෙලාවට මඩුව පිටිපස්සෙ කට්ටිය එහාට මෙහාට යනකොට ඇදල තිබ්බ වයර් එක හෙල්ලිලා බල්බ් එක නිවෙනව.. තිත්ත කරුවල මදිවට එක හූවයි...සමහර වෙලාවට අපේ එවුනුත් හූ කියනව ආතල් එකට.

අනික මේ පොඩි කොලු කුරුට්ටන්ගෙන් තිබුනු කරදරේ..උන්ට ඕන නැති එකක් නෑ...ලදරම වගේ තිබ්බ මඩුව අස්සෙ පොරකකා ඇවිත්...මේක නටන්නෙ කොහොමද.., ඇත්ත එකක්ද..රටේ නැති ඒව හොයනව.

අනික ආධාර එකතුකරන එකත් කිසි සැලැස්මක් තිබුනෙ නෑ..සමහර පොඩි එවුන් මාටිය ගැහැව්ව.ඒ මදිවට ටොපි,රටකජු වෙලෙන්දො එකා දෙන්න පිරෙන්න ගත්ත. පාරෙ වාහන තදබදයකුත් ඇති උනා  වෙලාවකට.

පලවෙනි දවසෙ වෙච්ච අමතක නොවෙනම දේ තමයි නැගල හිටිය මේසෙ පෙරලගෙන ඇටසැකිල්ල නටවපු ගැට්ටව දඩ බඩෝං...කියල බිම පතබෑවුන එක.


ඇට සැකිල්ල පිටිපස්සෙ මේසයක් තියල ඒක උඩ පු‍ටුවක් තියල වාඩිවෙලා තමයි  නූල්ටික කරකෝල නැටෙව්වෙ.මෙතන වෙන දේවල් ඔක්කොම ගැට්ටගෙ ඔලුවෙ තිබ්බ නිසා බැරිවීමකින් මොකකට හරි කලබල වෙලා පු‍ටුවත් පෙරලගෙන බිමවැ‍ටුනුපාර පිටිපස්සෙතිබුනු ඉටිරෙද්දත් බිම.මූ වැ‍ටුනු හැටියට ආපු මිනිස්සු හූ කිව්ව විතරක් නොවේ අපිටත් හිනා.
ඇටසැකිල්ල හුලං ගිය බැලුමක් වගේ උනා. 
එදා රෑ වැඩේ එහෙම්ම නැවැත්තුව.

පස්සෙන්ද ලොකු සැලැස්මකට වැඩේ කලා. ආධාර කැට සීල් කලා.
පුන්චි ඈයො ඇවිල්ල වැඩේ දෙල් කරන නිසා වටේට වැටක් ගැහැව්ව.පාරටත් ලයිට් ඒකක් හයි කරා. මේසය වැටෙන්නෙ නැතිවෙන්න ලී හිටවල ගැට ගැහැව්ව. ප්‍රධාන දේ නටවන්න ආසාවෙන් හිටිය අයට නියම විදිය කියල දුන්න.කලින් දවසෙ නූල් පැටලැවිල මහ ගිනිවිජ්ජුම්බරයක් උනා.


අනික තමා ඩෝප් කාරයින්ගෙන් බේරගන්න එක. උන් ඇවිල්ල ලොරි ටෝක් දෙන්නෙ.
"ඕවත් වැඩද..අපි නොදන්න ඇට සැකිලි...යකෝ ඕව සොහොන්වල තියෙන්න ඕන දේවල්..අපහාස කරන්න එපා බොලව්"
අපිට හිනා ඉතිං..!

පස්සෙ දවසක වෙච්ච හොඳම වැඩේ කියන්නෙ අපේ ගමේම අපි හොඳට දන්න ඇටමැස්ස නිසා වෙච්ච වැඩේ.
ටවුන් එකේ කඩයක් කරපු මිනිහ හවහට කනපැලෙන්න බීල තව දෙන්නෙක් එක්ක ඇවිල්ල දැන්..ඇටසැකිල්ල නටවනව බලා ඉන්නව.

"අඩෝ...! අපි දන්නව යකෝ ඕව හදන හැටි....තනිකර රිජිෆොම් තියෙන්නෙ ඩෝ..!!"
  එකේකේව කියනව මහ හයියෙන්. බලන්න ඇවිල්ල හිටිය අයට මේක මහ හිසරදයක් උනා. මිනිස්සු කීයට වත් හිතුවෙ නැහැමේක රිජිෆොම් එකක් කියල.

අනිත් එක දෙවනි දවසෙ ඉඳල ලොකු බෆල් දෙකකුත් හයිකරල, නිවේදකයකුත් එක්කම තමයි වැඩේ උනේ. නිවෙදකයා උනේ අපේ ගමේම එකෙක් ඌත් වැඩේ මවල දෙන්නෙ.
"බලන්න පිංවතුනි.....මේ මිනිස් සරීරේ තියෙන සුබාවික ඇටසැකිලි.....බලන්න..මේ  හිස්කබල...හරි බයයි නේද..? අත්,පපුවෙ හැටි බලන්න නේද..." මූ මවල කියනව.
ඒ අස්සෙ ආච්චිල සාදුකාරත් දෙනව..!
"ඔන්න බලන්න පිංවතුනි...ජීවිතේ හැටි...! ඔයගොල්ලන්ටත් ඔහොම තමයි මැරුනම ...ලස්සනට තියෙන මස්ටික දියවෙලා ගියාම ඔච්චරයි ඉතුරු වෙන්නෙ..!"

ඔහොම නිවෙදකය කියනකොට...අර බීපු ගැන් එක අනං මනං කියනව.
"පල යකෝ යන්න..රෙද්දෙ ඇට සැකිලි තමයි"
" තොපි බොරු යකෝ කියන්නෙ."

දැන්නම් සීමාව ඉක්මවා යනව..අන්තිමට හතර පස්දෙනෙක් ගිහිල්ල බෝතලයක් ගහමු කියල අඬගහගෙන වෙල දිහාවට එක්ක ගිහින් හොඳට සලකල තිබුන..ඊටපස්සෙ දැක්කෙත් නෑ.!

හැමදාම...නන්ස්ටොප් සිංදු දාල තිබුනෙ.
"යමලොව ඉපදුන හොඳ..හොඳ වැඩ දෙන...." මේ වගේ සින්දු.

හරියටම සතියක් තිබුන.අන්තිම දවස් වෙනකොට එච්චර සෙනඟ හිටියෙ නෑ බලන්න. හැබැයි හොඳගානක් එකෙතුවෙලා තිබ්බ.

අන්තිම දවසෙ රෑ බෝතල් කීපයක් ගෙනල්ල කට්ටිය සප්පායම් වෙලා තිබුන. අපි ඉස්කෝලෙ යන උන් නිසා එතකොට අමද්‍යප තමා ඉතිං.ඒ නිසා රෑ12ට විතර ගෙදර ඇවිල්ල නිදාගත්ත.
උදේ ලැබුනෙ එච්චර හොඳ ආරන්චියක් නොවේ.

කට්ටිය හොඳටම බීල නානුගලයටත් බෝතලක් අරන් දීල යම් මුදලකුත් දීල ආපසු ආවලු.

ඒත් උදේ පාන්දර 5ට විතර නානුගලයගෙ පවුල ඉස්සරහ දොර අරින කොටම අර ඇටසැකිල්ල ඇඟට කඩා වැටිල. ගෑණි මරල‍තෝනියක් දීල තුන්මුනින් දාල වැටිල. සිහියක් කටක් නෑලු.

කව්ද නසරානියෙක් ඇටසැකිල්ල දොරට හේත්තුකරල වෙරිමරගාතෙ ගිහිල්ල. උදේ පාන්දර ගෑනිගෙ ඇඟට වැටිල තියෙන්නෙ එහෙමයි.

අන්තිමට තෙල් මතුරල පිරිත් එහෙම කියලයි ගෑනිට සිහියක් කටක් ගත්තෙ.

ඔය වැඩවලට  අපිට එකතු උන මුදලින් සෑහෙනගානක් වියදම් උනා. අපි නිසානෙ එහෙම උනේ.

කොහොම උනත් නානුගලයට හොඳටම තදවෙලා..ඇට සැකිල්ල ලිපේ දාල පුච්චල තිබුන. ඊලඟ සැරේ වෙනතැනක මීට වඩා හොඳට ප්‍රදර්ශනය කරන්න කට්ටිය කතාවෙලා තිබුනෙ.
මට සෑහෙන්න ඉල්ලිම් කලා ආයිත් එකක් හදමු කියල..ඒත් මම උසස්පෙල ලියන වර්ශය නිසා මම ඕවට හවුල්වෙනවට ගෙදර අය එච්චර කැමති උනේ නැහැ.

අන්තිමට මේව මතකයේ පමනක් ‍රැඳුනු දේවල් පමනක් උනා.








Thursday, January 10, 2013

ඉස්කෝලයගෙ කුන්දිරා ගහ




 ටවුමෙ ඉඳල අපේ පන්සලට ඕන්නම් හැතැක්ම බාගයක් ඇති.වංගු දෙක තුනක් පහුකල ගමන් ඈතට පේන්න වම් අත පැත්තෙ කන්ද උඩ  තියෙන්නෙ. 
පන්සලට අල්ලපු වත්ත ඉස්කෝලයගෙ වත්ත.

නැති තැන එහෙම කිව්වට මූණට නම් එහෙම කියන්නෙ නැහැ.පලාතෙ ප්‍රසිද්ධ ඉස්කෝලෙක වයිස් ප්‍රින්සිපල් කෙනෙක් උන එතුමා ගමේ ප්‍රභූ කෙනෙක් විදියටයි සැලකුවෙ. තල එලළු හීන්දෑරි මුන්නැහේ කොහේදෝ දුර පලාතකින් ඇවිත් බින්න බැහැලයි කියල තමා ගමේ අය කියන්නෙ. ලමයි නැතිව හිටියත්  බොහෝම ලෝභ කෙනෙක් විදියට තමා සැලකුනේ. ගමේ කොල්ලො එකතුවෙලා කරන මොනයම් හෝ කටයුත්තකට කීයක් හෝ ලබාගන්නවාය කියන්නෙ...ඉබ්බගෙන්  පිහා‍ටු ගන්නව වගේ තමා.මේ නිසා අපේ කොල්ලො සෙට් එකට මුන්නැහේ වහ කදුරු වගේ තමා.

ඉස්කෝලයගෙ ගෙදරට ගෙවල් දෙකක් විතර උඩින් අපි දන්න කියන තැනක මලගෙයක් තිබුන. තොරණ ගහමුයි කියල සුදු මහින්දය අපට කලින්ම දැනුම් දීල තිබ්බ නිසා අපිත් රාත්‍රී ආහාර කිසත් අරගෙනම ඒ පැත්තට ගෑ‍ටුවේ අවශ්‍ය කියන  උපකරන කීපයකුත් අරගෙනමයි.

සාමාන්‍යයෙන් මලගෙදරක රිජිෆොම් වලින් තොරනක් ගහනවා කියන්නෙ අමාරු රාජකාරියක්.ඔක්කොටම වඩා අමාරු අකුරු කපන එක තමා.ඉංග්‍රීසි අකුරු වගේ නෙවේනෙ සිංහල අකුරු රවුම් ගතිය වැඩියි. ඒ නිසා හොඳට කැපෙන පිහි උවමනා වෙනව මේ කාරියට. අපි සා.පෙ ලියන කාලෙ නිසා අපිට දැන්තියෙන නානා ප්‍රකාර පිහි තිබ්බෙත් නෑ.

මේකටත් අපි උපක්‍රමයක් හොයාගෙන තිබුන. යකඩ කපන කියත් තලයක් අරගෙන ඉන් බාගෙට කඩල ලියවන පට්ටලයකට දීල එක් කොනක් උලක් වෙන්නත්, හොඳින් මුවහත් වෙන්නත් ලියවාගන්නව.මේ කාරියට යකඩ කපන කියත්තලයක්ම යොදාගන්නෙ..අනෙක් හැම පිහියක්ම රිජිෆෝම් කපනකොට ඉක්මනින්ම හං වෙන නිසා .
පිහිදෙකකුත් අරන්ගියේ තවත් කෙනෙක්ගෙ සහයෝගය මට ලැබෙන නිසා.

ටිකක් රෑවෙන්න ඇරල අපේ වැඩේ අපි පටන් ගත්ත. වේලාසනින් පටන් ගන්නබැරි පලාතෙම ඉන්න පොඩිඈයො ටික වටේට පිරුනාම කිසිම දෙයක් කර ගන්න බැරි නිසයි.

වටේට ඉන්න මල්වට්ටි දිහාත් බලන ගමන් , ටොම්පචකාරයින්ගෙ ඉල ඇදෙන කතා අහන ගමන් වැඩේ කරගෙන යනව. රෑ 12 පහු උනා විතරයි අපේ ඉන්න වසූරියය්..කෝඳුරුවයි..එහාට ඇඹරෙනව , මෙහාට ඇඹරෙනව. 
ඔහොම මෙහෙම තවත් හෝරාවක් ගෙවුන.

"මෙහෙම ඉන්න බෑ බං...බඩ පපුව දනව..මේ ප්ලේන්ටිම බීල..!"

"ඉතිං..!"

"මරුවැඩක් තියෙනව." වසූරිය කියනව.

අපි කර කර හිටිය  වැඩේ නවත්තල ඒ පැත්ත බැලුව.වැඩේ බාරගත්ත සුදුමහින්දය..පු‍ටුවක් උඩ කකුල්දෙක තියාන තවත් පු‍ටුවකට බරවෙලා සරම ඔලුවෙ ඉඳල පෙරෝගෙන නිදි. කොහොම ඉන්නද අපේ බිලට දාල මූ කරේ තව දෙතුන් දෙනෙක් එක්ක ගල් බෝතල් කීපයකට වගකියපු එකනෙ.
අපේ ගැන් එකේ එකෙක්වත් ඒකාලෙ අරක්කු බිව්වෙ නැති උනාට,කොච්චර ගමේ කම තිබ්බත් අරක්කු මූඩියක්වත් දෙන්නැතිව මලගෙවල් වල සමහර වැඩ කරවගන්න අමාරුයි.

"මේ... ඉස්කෝලයගෙ දොරකඩ තියෙන කුන්දිරා ගහේ වලු බිමට පාත්වෙලා..ඉනිත් ගහල තියෙන්නෙ බං.."

කට්ටියගෙම මූනෙ ගිය හිනාව හරියට තමන්ගෙ ගෑණුලමය මූනට මුලිච්චි උනාම නැගෙන හිනාව වගේ..!

"වැඩක් නෑ බං ඕක කුනානෙ අහැරගෙන ඇති දැනටමත්.."

"නෑ බං අන්න ආරි බාප්පත් එක්ක ඕමියකට සෙට් වෙලා..දැන් ඉතිං තව පැය තුනකටවත් නැගිට්ටා බොරු."

  මම අර පිහිදෙකත් අතට අර ගත්ත..තොරණ පාලුවට තියල අපි හැමෝම පල්ලම් බැස්ස කාටවත් නොදැනි.

මමත් පුතාත් මහපාරෙ ඉස්කෝලයගෙ ගේට්‍ටුව ගාව ඔත්තු බලද්දි..සනා,කෝඳුරුව,වසූරිය,ජූඩි...තාප්පෙන් පැනල වත්තට ඇතුලු උනා. ඇතුලෙ මොනවද වෙන්නෙ කියල කිසිම දෙයක් පේන්නෙත් නෑ..ඇහෙන්නෙත් නෑ..

 විනාඩි 10ක් යන්නැති..ඈතින් වාහනයක් ආවත් අපි ඒතරම් ගනන් ගත්තෙ නැති උනත්..ලඟටම එනකොටයි දැක්කෙ....
පොලීසියෙ පැට්‍රෝල් යන ජීප් එක..අපි ටිකක් විතර ඩිම් උනා.

"බ්‍රාස්........" ඒකසැරේට බ්‍රෙක් ගැහැව්ව,නැවැත්තුව.
"එකෙක් දුවන්නෑ..".ජීප් එකේ දොරක් ඇරෙන ගමන් බැස්ස රාලහාමි කෙනෙක් කියාගෙන අපිගාවට ආව.

චූ යන්නත් වගේ...!හයියෝ...!

"මොකද තොපි මෙතැන කරන්නෙ.."

"අ..අපි මලගෙදර ආව..,හපෝ මුගේ තිබ්බ මරුමුස් පාට ඒ මදිවට බීලද කොහේද..!

"මෙහේට වර..."

අපිව ජීප් එකේ ලයිට් එලිය ගාවට ගත්ත.
"මලගෙයක් කොයේද බොල මෙතැන.."

"අර උඩහ... "පුතා දිග අරින්න බැරුව වගේ අත බාගෙට දිග්ගස්සලා පෙන්නුව.

"බොරුනේද බොල කියන්නෙ..පෙන්නාපියව් සාක්කු..."

විනාසයි..මුලින් පුතා පෙන්නුව. ඊලඟට මම...

"ආ..මේ තියෙන්නෙ බඩු...පිහිදෙකක් නේද...තොපි මංකොල්ල කනව නේද..!"
මගේ කලිසමෙන් අල්ලන ගමන් අහපි..

"නෑ..නෑ මේ මලගෙදර..තොරණ ගහන්නෙ අපි..ඒකයි මේ පිහි දෙක."

"පිහි මොකටද බොල තොරන් ගහන්න.."

දැන්නම් මේ වෙලාවට නැති කට කොස් කන්නයැ.
"ස්..සර්..මේ පිහි වලින් තමා රිජිෆෝම් කපන්නෙ."

"හා..ඔය කියන්නෙ..එතකොට තොපි මෙතැන මොකද කරන්නෙ.."

"නිදිමත යන්න කියල ටිකක් ඇවිදින්න ආව.". මම කිව්ව. 

ඔන්න එතකොටම වගේ ..මහ ඝෝෂාවක් ඇහුනම අපි හැමෝම ඒ පැත්ත බැලුව.
මලගෙදර ඉන්න මහ සෙනඟම ටෝච් ගහගෙන ,හුලු අතු දල්වාගෙන පාරට එනව. බැලින්නම් තාප්පෙන් පැන්න උන් ටික මලගෙදරට ගිහින් විස්තරය කියල හැමෝම එක්කරගෙන ඇවිල්ල අපිව බේරාගන්න.
ජීප් එක ඇතුලෙ ඉඳල තව ලොකුමහත්තැන් කෙනෙකුත් බැහැල ආව එතකොටම. හැමෝටම කතාකරල වැරදීමක් උනේ කියල යන්න ගියා. 
හැබැයි එහෙම උනේ නැත්තං උන් අපිව බයිට් එකට අරන් කූඩුකරනව.

ඒකෙන් බේරුනා කියමුකො..මිට වඩා හොඳයි කූඩුවෙ ලැග්ගනම් කියල හිතුනෙ...මලගෙදර ඉන්න,,ආච්චිල,සීයල ගෙ පටන් අපේ කට්ටිය පැණිපෙරපු ගෑල්ලමයි දක්වාම විස්තරය අහනකොට කියල ඉවරයක් නැති උනාමයි.

කොහොම කොහොම හරි කට්ටිය එහා මෙහා වෙනකං ඉඳල...කෝඳුරුව කියපි,

"දැන්වත් යමුද අර ටිකට මොනව හරිකරල එන්න."

"මොකක්..?" මම හිතුවෙ මුන් ආයිත් වැඩේට යමු කියනව කියලයි.

මොන  මලගෙදරට ටිකක් දුරින් තිබ්බ කුරුඳුගස් ගොඩක් අස්සෙ..මේන් කුන්දිරා වලු දෙකක් බැබලි බැබලි..හඳ එලියට දිලිසෙනව..හැක්..හැක්...හැක්...හිනාගිය පාරට මට ඉස්මොල්ලෙත් යනව තව පොඩ්ඩෙන්.
අපි අරහෙ පොලීසියත් එක්ක ඔට්‍ටු වෙන අතරෙ මුන්ටික ගේම දීල...

ඒවටත් වග කියල...තොරණත් ගහල දෙයියනේ කියල එලිවෙන ජාමෙ ගෙදර ආව.

Tuesday, January 8, 2013

මලගෙදරක තොරණ් ගහපු හැටි..!




මේ යුගය ඩිජිටල් යුගයනෙ.හැමදෙයක්ම ඩිජිටල් වේගෙන යන ලෝකෙක...මලගෙවල්වල බැනර්,තොරණ් වැනිදේවලුත් ඩිජිටල් වෙලා අහවරයි.

ඒත් මීට දශකයකට කලින් නම් මීටවඩා බොහෝ වෙනස්. මේ දේවල් තනිකරම නිර්මාණය උනේ මිනිස් අතින් ඒක වෙනම සංස්කෘතික ලක්ෂණයක් වගේ.
ඒත් ඉතිං වානිජමය තත්වයේ ඉන්න දක්ෂම කලාකාරයො මේ සඳහා අල්ල ගන්න අමාරුයි..හේතු කීපයක් තිබුනත් ආසන්නම කාරනය වෙන්නෙ..ගොඩක් වෙලාවට මේ තැන්වල තොරණ් ඉදිවෙන්නෙ රාත්‍රී කාලටනෙ..ඒ වෙලාවට මේ අය නාගසලං වෙලානෙ ඉන්නෙ.

ඔය වෙලාවට පිහිටට ඉන්නෙ බාගෙ කලාකාරයො..ඒකියන්නෙ වෘත්තීයමය නොවන..සමාජසේවය ගැන "උනක්" තියෙන අය . මේ වගේ අය අපේ ගමෙත් දෙතුන් දෙනෙක්හිටිය...එක්කෙනෙක් උනේ වීය තමා. මාත් එක්ක සෙට් එකක් හිටිය මේ වගේ වැඩ වලට..පුතා,සනා,ජූඩි,රෝහන,පාලිත,වසූරියා....ඔය කීපදෙනෙක් තමා. 

තොරණක් ඉදිකරනව කියන්නෙ සාමූහික වැඩක්.ඉටිකොල ගහල අකුරු අතින් ඇඳල නිමකරන තොරණක් නම් වැඩ අඩුයි.
රීප්ප පෙට්ටි ගහල රිජිෆෝම් වලින් බොක්ස් මොඩ්ල් එකට ඉදිකරන ඒවයෙ වැඩ වැඩියි වියදමත් වැඩියි.
එත් මේවා හරි තරඟකාරී දේවල්නෙ. ජීවත්ව ඉන්නකොට සොයානොබලපු දරුවන්, මලගෙදරට එන තමන්ගෙ සල්ලිකාර යාලුමිත්‍රයින්ට පේන්න මලගෙදර ඉතා ඉහලින් ගන්න නිසා තොරණත් ඉතා ඉහලින් අවශ්‍යවෙනව.

මුල්ම කාලෙ බොහෝ තැන්වල කලේ රීප්ප වට්‍ටුව ගහල ඒකෙ සුදු ඉටිකොල ගහල ලැකර් වලින් අකුරු ලියන එක. ගම්වල ඒකාලෙ  වට්‍ටුව ගහන්න දක්ෂ අය හිටිය.  බොහොම සරලයි වගේ පෙනුනට කෑලි තුනකට සෙට් වෙන නිසා එකිනෙක ගැලපීම අවශ්‍යයි. නිවැරදි මිනුම් වලට සිදුවිය යුතුයි. ඉටිකොල ගහන එකත් ඒවගේ එක‍රැල්ලක්වත් නොහිටින්න වැඩේ ඕන..මේකට දක්ෂයා වෙලා හිටියෙ සුදු මහින්ද.

ඊලඟට අකුරු අඳින එක...මේ වැඩේ තමා අමාරුම.අපි දක්ෂ චිත්‍රකලාකාරයො නොවේ. ඒනිසා පින්සලක් අරන් එක හුස්මට අකුරු අඳින්න බෑ. මුලින් පෑනකින් අකුරු ටික ඇදල උඩින් ලැකර්වලින් පාටකරන එක තමා කරන්නෙ. අපිගාව පින්සල් පවා තිබුනෙනෑ..නමුත් ඒකටත් අපි ක්‍රමයක් හොයාගෙන තිබුනෙ. සිගරට් වල ‍ෆිල්ටර් එක. වටේ තියෙන කොලේ ගලවල පැන්සලකට තියල ගැටගහගත්තම පින්සල් පරාදයි. හැබැයි වැඩේ තියන්නෙ...එක අකුරකට එක ‍ෆිල්ටර් එක ගානෙ උවමනා වෙන එකයි.පුලුන් වගේ නිසා නිකන්ම දියවෙලාවගෙ යනව.

 එක පාරක් හරි සිද්දියක් උනා අකුරු අඳින්න ගිහිල්ල. සාමාන්‍යයෙන් එදාට ප්‍රධානත්වය ලැබෙන්නෙ මේ වැඩේට නිසා , නා නා ප්‍රකාර අය මෙතැනට එනව.
 සමහරු උපදෙස් දෙන්න එනව. 
වෙන වචනයක් ලීව නම්.... , අකුරු තව ලොකු උනානම් හොඳයි....ඔය වගේ. 
මේකට හේතුව උනේ පිරිස ඉස්සරහ "පොරක්" වෙන්න දඟලන නිසයි.

 හැබැයි ඉතිං රසසාගර වගේ පොරවලුත් සමහර වෙලාවට සෙට් වෙනව. හිනාකාල ඉවරයක් නෑ කියන කතාවලට.අපේ උනුත් කරන්නෙ කරන වැඩේ පැත්තකින් තියල  ආතල් ගන්න එක තමා.

ඒ වගේම  දුරපලාත් වලින් ඇවිල්ල ඉන්න නෑදෑ පිරිවර අතරෙ ඉන්න ඇහැට කනට පේන ලමිස්සියො ඉන්නව නම්..ඒදාට උදව් කරන්න ඕනතරම් කට්ටිය ඉන්නව.

තොරණ ඉදිකරන එක විශේෂ කාරියක් නිසා අපි ඉන්න තැනට නිවැසියන්ගෙ විශේෂ අවධානය , සැලකිලි එමටයි. සාමාන්‍යයෙන් චිත්‍ර අඳින දිහා බලන් ඉන්න සිරිතක් අපේ තියෙන නිසාද මන්ද කට්ටිය වටවෙනව සු‍ටුස් ගාල. ඔය අතරෙ ගෑණුලමයි ඉන්නව නම් අපේ උනන්දුව තෙගුන වෙනව.

අනිත් එක දැන් ඉන්න ගැහැණු ලමයි වගේ නොවේ ඒකාලෙ..වැඩකරන අයට ,නිදිවරන අයට තේ ,කෑමජාති හදනව...අනික ගමේ ඉන්න තරුණ තරුණියො භේදයක් නැතිව උදව් පදව් වෙනව.ඉතිං කොල්ලොත් පැණි ඇඹලයො වගේ වටේ කැරකෙනව.

මේ කියන දවසෙත් ලමයි කීපදෙනෙක් වටවෙලා හිටිය නිසා ඒ අයත් එක්ක  පුන්චි කතාබහක් කරන ගමන් තමයි මාත් අකුරු අඳින එක කලේ...අපේ අනිත් එවුන් නම් මල් කඩනව මෙලෝ සිහියක් නැතිව මට ඉරිසියාත් එක්ක.
ටික වෙලාවක් යනකොට නංගිලා කිහිප දෙනෙක් කසුකුසු ගගා...හිකි..හිකි..සිරික්කිය දානව.

දැන් මට ප්‍රහේලිකාවක් ඇයි මේ කියල..එක්කෙනෙක් තොරනට අත දික්කරාපි,

අයියෙ..මේ බලන්න මෙතන මොකක් හරි අවුලක් නේද..?

"පියානිනි ඔබට නිවන්....." ඈ...මලා..!!!

මැදැයි කොලා.... අකුරු ඇඳගෙන යනකොට යම් වෙනසක් තිබුනොත් එවලෙම භූමිතෙල් ගාල හදන්න පුලුවනි. ඒ ලැකර් වේලෙන්න කලින්..දැන් ඒ අකුරු වල තීන්ත වේලිලා. මොනව කරන්නද... අනික් එවුන්ගෙන් කුනු බැනුම් අහන ගමන් ඉටිකොලේ ගලවල අලුත් ඉටිකොලයක් ගහල අකුරු ටික ලියල තොරන ගහනකොට එලිවෙලා උදේ 6 විතර උනා. 

අන්තිමට වැඩේ ඉවර කරන්න ඉතුරු උනේ මමයි..ජූඩියි,පුතයි විතරයි..ඒ වෙනකොට පාන්කියාගන්න බැරි තරමට උනත් වැඩක් බාරගත්තම ඒක නිසියාකාරව ඉ‍ටුකිරීමේ ජන්මාන්තර පුරුද්දක් තියෙන නිසා නිදිවරාගෙන වැඩේ ඉවර කලා.

කිසිම ලාබ ප්‍රයෝජනයක් නැතිව ඒකාලෙ කරපුව මතක් වෙනකොට අපරාදෙ ඒ ගෙවුන කාලේ කියල නම් හිතෙන්නෑ ජීවන පාසලෙන් ලබපු අත්දැකීම් එමටයි.

ඉවරයි..!
*************************************
ඉවරයි කිව්වට ඉවරම නෑ...තව කොටසක් එන්ට නියමිතයි...!!

Monday, December 31, 2012

ඔය මැදෑ දෙය්යනේ වැස්සා...!



උදේ පාන්දරින් අවදිවෙනව කියන්නෙ...මේ දවස් වලනම් ..අන්තිම අමාරු කාරියක්. රෑ තිස්සෙම එක විදියට අනෝරා වැස්ස..ඒ මදිවට කාලතුවක්කු උන්ඩ පතිත වෙනව වගේ අකුණු. හවස 2ක පහුවෙනවත් එක්කම අහස පුරාම වැහි බීරම. ඊටපස්සෙ පහුවදා එලිවෙනකන්ම එකදිගට වැස්ස.  පහුගිය දවස් ටිකේම මේ විදිය තමයි.

 වැරදිලාවත් උදෙන් අවදි උනොත්...පචෝස්...පචෝස්...කිවිසුම් ගිහිල්ලම බඩ කොරවෙනව..පරම්පරාවෙ ආරයක්ද මන්දා..පීනස කියන්නෙ නම් කරදරකාරී ලෙඩක්. ඒහින්දම මේ දවස්වල ටිකක් දවල්වෙනකන් නිදාගන්නව..ඒත් දැන් ඉස්කෝලෙ පටන් ගත්ත ගමන් ඒ කෙරුවාවත් ඉවරයි. ඇයි ඉතිං අපේ ලොක්කිව එක්කරන් ඉස්කෝලෙට දුවන්න එපායැ උදැහැනැක්කෙම.

ඒ මදිවට ගංවතුර. අපේ ගමට නම් ගංවතුරෙන් හානියක් නෑ...ඒත් අපිට හැතැක්ම 3ක්,4ක් ගිය ගමන්...හැමදාම ගංවතුර.  අපේ ගම්වලට ටිකක් දුර උනාට..නෙළුව,හිනිදුම කියන්නෙ ගිංඟඟේ දඟකාරකම් හැමදාම බලන්න වෙන ගම්මාන...! මීට අවුරුදු කීපයකට කලින් රත්නපුර,දෙනියාය පැත්තට හොඳටම වැහැල ගංවතුර ගලල..හොඳටම හානිවෙලා තිබුන. එහේ ගං වතුර ඔක්කොම දිනකීපයක් යද්දි , නෙළුව,තවලම පැත්තට ඇවිත්  ඒ ගම්මාන යට උනා. තවත් දින කීපයක් යද්දි අපේ පැත්තෙ ගම්මාන යට උනා...ඒ වතුර තමා ගිංතොටින් මුහුදට යන්නෙ.

http://www.silumina.lk/2012/01/15/_art.asp?fn=au1201151


පුංචි කාලෙ නම් ඉතිං වහිනවා කියන එක තරම් ජොලියක් තවත් නෑ..!
වැස්සත් එක්ක කන්දෙන් කඩා හැලෙන පුන්චි දිය ඇලි , ගලාබහින වතුර හරස් කරල හදන ජලාශවේලි...ඒවායේ පාකරන කඩදාසි ඔරු...පුන්චි ලෝකය පිරිල තිබුන. 

වහලේ පීල්ලෙන් එක සීරාවට වැටෙන වැහි වතුරෙන් නාල හෙඹිරිස්සාව හදාගත්තත්...ආයිත් වැස්සොත් කරන්නෙම ඒක..අම්මට අහු උනොත් මදීනොකියන්න කෝ‍ටු පාර කන්නෙත් ඒකට තමා.

අඩි 10කට වැඩි උස කන්ඩියෙන් මතුවෙන උල්පත් වලට...අන්නාසි කොල අරගෙන පීල්ලවගේ හිටින්න ගහල එක සීරාවට වතුර වැටෙන කොට නැගෙන සද්දෙට කොච්චර ආසා කලාද අපි..ස්භාවධර්මයේ නිර්මාන අපේ කරගත් හැටි. ආයිත් ඒ කාලෙට යන්න ඇතනම් කියල හිතෙනව.


මේ සැරේ එච්චර දරුනුවට මේ පැත්තට ගං වතුර ගැලුවෙ නැතත් වැස්ස කරදර කරන එක නතර කලේ නැහැ. තාමත් වහිනව.

අපේ ගෙවල් වල තාම පාවිච්චි කරන්නෙ දරලිප් තමා උයන්න පිහන්න. ඉඩම් ලොකුවට තියෙන නිසාත් , දර නො අඩුව මේ ගෙවත්තෙ තියෙන නිසාත් ,අපේ ගෙදර උන්දෑ  කිසිම විස්සෝපයක් නැතිව රාජකාරිය කරන නිසාත් ගෑස් හෝ විදුලි ලිප් පාවිච්චියට අපි තාම හිතලවත් නෑ. අනිත් එක අපේ මහගෙදරින් කුරුඳු දරත් ,කුරුඳු කපන මුරේට ලැබෙන නිසා දරවලින් නම් අඩුවක් නෑ.

නමුත් ප්‍රශ්ණේ තියෙන්නේ මේ වැස්සත් එක්ක තමා. දර මඩුවෙ  දර ඉවර වෙනකම් පාවිච්චි කරල තිබුනොත් ඉතිං අබසරනයි. 
අපේ ගෙදර තියෙන දර මඩුවෙ දරත් මේ ටිකට ඉවර වෙලා..දර කොට කීපයක් තිබුනත් ඕව පලන්න තියෙන කම්මැලි කමට මන්න පිහියයි,පොහොර බෑග් එකකුයි අරන් කන්දට ගෑ‍ටුවේ හොදින් වේලිච්ච දර නැතත් , වේලිලා ගස්වලින් වැ‍ටුනු අතු හොඳට  වේලිලා තියෙන්න පුලුවන් නිසයි. ඊයෙ ඉර හොඳට දහවලේ පායලා තිබුන නිසා කඩන් ඇවිල්ල අපේ ගෙදර තියෙන ගල්පොත්ත උඩින් දැම්ම. නම් පටස් ගාල වේලෙනව. 

අපේ ඉඩමට උඩ ඉඩම අපේ තාත්තලගෙ මහගෙදර..ඒකත් අක්කරයක ලොකු ඉඩමක්...ගස්කොලන් එමටයි..මහගෙදර කඩල එතනම පොඩිගෙයක් හදාගෙන පදිංචිවෙලා ඉන්නෙ නැන්දකෙනෙක්. ඒ මාම  සුලු ‍රැකියාවක් කරන්නෙ...ඒ උනාට උයන්නෙ ගෑස් වලින් . හරිම ආඩම්බරේට කියන්නෙ...

"අපිනම් උයන්නෙ ගෑස් වලින් ...දැලිගෑවෙන්නෙත් නෑනෙ."

ලොකු මහත්වෙච්ච ඉස්කෝලෙ යන දැරවියක් තමා ඉන්නෙ , ඇය තමා එහෙම කියන්නෙ. 

අනේ මන්දා දැලි ටිකක් ගෑවෙන එක ලැජ්ජාවට කාරනයක්ද..?

මටනම්  එහෙම හිතෙන්නෑනෙ...නාගරිකව ඉන්න,උදේ පාන්දර නැගිටල උයල පිහල ‍රැකියාවට යන කාන්තාවන්ට ඒක පහසුවක් වෙන එක සාධාරනයි.ඒත් මේ ගහකොල හොඳට තියෙන අර්ධ නාගරිකව ඉන්න අපිට මොටද ඕව.

අපේ ගෙදර  උන්දෑ මේ දවස්වල ඉන්නෙ අසනීපයෙන් ඒ නිසාම නිවාඩු දවසෙ ගෙදර රාජකාරිය මම ගත්ත. දර කැඩුව,පැලුව...ඉතිරි වෙලාතිබුන වලංටික හෝදල දැම්ම...(වීපොකුරි ඇහැ දාගෙන උන්නෙ වලං කීයක් බිඳිනවද කියල..හිකිස්..!) රෙදිනම් ඉතිං මැෂිමකට බාරදීලනෙ . පොඩි උන් දෙන්න නෑව්ව...ලොක්කි නම් අවුලක් නෑ...අප්පොච්චියේ පොඩ්ඩි නාවනවා කියන්නෙ නම් අමාරු ගේමක් තමා..නාන්ඩ හරිම බයයි ඇහේ වතුර යනවලු,කනේ වතුර යනවලු..රටේ නැති හේතු...මාත් එක්ක කොහේද ඒව... වර...අල්ලල නෑව්ව...
හැබැයි ඇඟ හෝදන්න ගියාම වතුර ටැප් එක ගාවින් ගන්න බෑ.

වැස්සක් හින්ද ඔන්න ඔහොමයි ජීවිතේ ගලායන්නෙ. දැන් ටිකකට කලින් තමා හවස වැහැපු වැස්ස පෑව්වෙ..අකුනු ගහන නිසා කාර්‍යාලයේ වැඩ කරන්නත් බෑ...අන්තර්ජාලෙට යන්නත් බෑ... සිග්නල් අඩුයි.
ඒ මදිවට පාරවල් ජලාශ බවට පත්වෙලා...උතුරු වයඹ...හා දකුනේ පහලම ජනතාව තාම අනාථ වෙලා...! 

ඉතිං ඇති දෙය්යනේමේ......... කැලැන්ඩර ක්‍රමේට උනත් අලුත් අවුරුද්දක් ලබන දවස් ටිකේ වත් සහනයක් ඇතිව මිනිස්සුන්ට ඉන්න දෙන්න.
.......................................................................................


2012 ඉවර වෙලා ලබන 2013 අවුරුද්දට හැමෝම සුභ පතනව. ඒ නිසා මගේ සුභ පැතුමත් මේ විදියට පිරිනමන්න ඕන කියල හිතුව.

ලබන්නා වූ 2013 අවුරුද්ද ජය  සතුට පිරි සිතුම් පැතුම් සඵලවන ප්‍රීතිමත් අවුරුද්දක් වේවා..!  බ්ලොග් අවකාශයේ කිසි දිනක දැක නැතත් ලෙන්ගතුවූ ඔබ සැමට හදපිරි භක්ත්‍යාදරයෙන් පිරිනමමි..!  




Sunday, December 16, 2012

ළමයින්ගේ සිතුම්,පැතුම් නිසිපරිදි අපි අවබෝධ කරගෙන තිබේද..?



අවුරුද්දෙ අන්තිම දින කීපය ගෙවීගෙන යන මේ දවස්වල අපේ  ජීවිතත් හරියට මහලුවියට එලඹුන මිනිසුන් වගේ අලස විදියට ගෙවෙන බවකුයි දැනෙන්නෙ. සමහර දිනවලට ආකාසෙ කළුවර වෙලා හරිම මූසල ගතියක් දවස පුරාම පැතිරිලා. එදාට ඉර හොයන්න විදුලිපන්දමක් අල්ලන්න ඕන.
වෙනද මේ වෙනකොට "සේල්" පොලවල් වැහි වැහැල..රෙදි,විදුලි උපකරණ,ගෘහ උපකරණ ආදී මෙකී,නොකී බොහෝ දේවල් වැහිවැහැල. මිනිස්සු ලෝක විනාසෙට බය වෙලාද මන්දා..?

පාසැල් වල අවසාන වාරය නිසා පොඩි ඈයොත් හිටියෙ හරිම සතුටින් ඇයි ඊලඟට නිවාඩු කාලෙනෙ. කොහොම උනත් නිවාඩුවට කලින් හැමෝටම වාර අවසාන විභාගෙ තිබුන. මේ අවුරුද්දෙ ඉස්කෝලෙට ඇතුල්කලත්,මුල්වසරෙ උනත් අපේ "ලොක්කිලටත්" විෂයන් හතරක් සඳහා විභාග ප්‍රශ්ණපත්‍ර දෙන්න නියමිතවෙලා තිබුන. ඊට හේතු විදියට පාසැලෙන් කිව්වෙ...විභාගය කියන්නෙ මෙහෙම දෙයක්ය..ඒකට උත්තර ලියන්නෙ මෙහෙමය..දෙන කාලවේලාව මෙහෙමය..යනුවෙන් අත්දැකීමක් ලබන්නට මේ ලෙස ප්‍රශ්ණපත්‍ර දෙනබවයි.

කොහොම උනත් විභාගය තරඟකාරීදෙයක්නෙ. ඒනිසා අපේ ලොක්කිට අපි කලේ විභාගයට හොඳින්ම ලකුණු ගත්තොත් චිත්‍ර අඳින්න ඉල්ලමින් සිටි ටියුබ් කලර්ස් පෙට්ටියක්  අරන්දෙන බවත්..හොඳින් පාඩම් කර ලිවිය යුතු බවත්ය.

ඇත්තෙන්ම මේ වයසේ දරුවන් සෙල්ලමටමයි හිත.  පොත්පත්  ආසාවෙන් බැලුවත්,පාඩම් කිරීම නම් දුශ්කර දෙයකි..එක්කෝ..

"අම්මෙ මට නිදි මතයි"

"කාපු ගමන්නේ...බඩත් රිදෙනව.."

"මට පත්තරේ කියවන්න තියෙනව පස්සෙ ..! "
ඔන්න හේතු. ඒ නිසාවෙන්ම අපි කලේ ඇය ආසාකරන දෙයක් අරන් දෙන්නට නම්...විභාගය හොඳට කලයුතුය යන්නයි.

 දින දෙකක් තුල පැවැත්වුනු විභාගය ප්‍රශ්ණපත්‍ර 4කින් සමන්විත උනා..ඉතා ලෙහෙසි වුනත් විශයන් දෙකකට  ලකුනු කීපයක් අඩුවී තිබුනේ ඇය කලබලෙන් කියවා තිබුනු නිසයි..!

දැන් නිවසේ වට මේස සාකච්ඡාවක්...

"බලන්න..ඔයා කලබලේ හරියට කියවලා නැහැනෙ පුතේ"

"ඒකයි..ඔයාට උත්තරේ ‍තෝරගන්න බැරිවෙලා තියෙන්නෙ...ඔයා උත්තරය දන්නවනෙ."
ඇය නිහඬවම සියල්ල අසා සිටියාය. 
නිවාඩුව පටන් ගත්පසු බොහෝ පොඩි උන්ගෙ ආසාව ආච්චිලගෙ ගෙවල් වලට දුවන්නනෙ. ඔන්න අපේ චතුනි දුවත් ආච්චිලගෙ ගෙදර ගියා..!

දින කීපයක් ගෙවීගිය එක් දිනෙක...
"ඒයි... මේ  එන්නකො වැඩක් පෙන්නන්න." අපේ උන්දැ..ඇස් ගෙඩි දෙකට කඳුලු පුරෝගෙන... 
මට කිසිවක් අව්බෝධ නොහී. ඇය බිත්තියක් දෙසට ඇඟිල්ල පෑවාය.
විශාලණය කර බලන්න..මෙලෙස ලියා ඇත.  මම චතුනි මම විබාගෙන් පරාද උනා.

මට සිටිතැන් අමතක විය...අපි දුවන මේ හැල්මේ අපේ දරුවන්ගේ ලෝකයට එබීබලන විදිය කෙතරම් ආත්මාර්ථ කාමීද..? අපදුර දිගනොබලා පවසන යම්දේ තුලින් පුංචි හිත්වලට කෙතරම් විපතක් කරනවාද...?
හිතාගන්න බෑ මොනවා කරන්නද කියල..අපි දෙන්නාම...නොසෑහෙන්න දුක් වූයෙමු රාත්‍රිය පුරාම නින්දක් නැත..!
උදෙන්ම අවදි වී ගොස් පොත් කඩයේ තිබූ ඉස්තරම්ම ටියුබ් කලර්ස් පෙට්ටියක් ‍රැගෙන ගොස් දුනිමි.
එහෙත් ඇය අපට ජීවිතයට අමතක නොවන පාඩමක් උගැන්වීය. අපේ සිංහල බ්ලොග්  ලෝකයේ සංවේදී මිනිසුන්ට උගැන්මට ලොකු දෙයක් මෙහි ඇති නිසා මෙලෙස අකුරු කෙරුවෙමි.



ප.ලි.  :-
පහුවුන දවස් ටිකේම බොහෝම කාර්‍යබහුල වෙලා හිටි නිසා අලුත් පෝස්ට් එකක් ලියන්නත් බැරිවුනා. මේගැන කීප දෙනෙක්ම විමසා තිබුන .ස්තුතියි සියලුදෙනාටම.

මගේ සැලසුම් ශිල්පී කාර්‍යාලය  වෙනත් තැනකට ගෙනියන්නයි සූදානම..අතුරු පාරක ගෙදර තියෙන නිසා පුන්චි අවහිරයක් තියෙනව  ඒ නිසාකාමරයක් කුලියට අරන් ප්‍රධාන පාර අද්දරට යන්න හදන්නෙ. අනිත් දේවල් සූදානම් කරන නිසා හිතේ විවෙකය මදි. ඒකයි ලියන්න බැරි උනේ. අද උදේ සෙන්නා ලියූ ලිපිය දැකල  ටික දවසක් තිස්සෙ හිතාහිටිය කාරනය ලියන්න මූඩ් එකක් ආව.

Monday, November 5, 2012

ඇලේ පැනල...හොර කුරුම්බ බීල..!



අපේ ගෙදර ඉඳල තාර පාරට මීටර්200ක් ඇති උපරිමේට. නැත්නම් වංගු දෙකයි.10වසරෙ ඉන්න අපිට ඔයටික ඇහිපිල්ලමක් ගහන ටිකට දුවල යන්න ඇහැකි.
තාත්ත ගෙදර නැති වෙලාවක් බලල අම්මට..පුංචි බෝලයක් බස්සල...ගෙදරින් පිටවෙන්නෙ හරියට මිටින් හැරි කුරුල්ලෙක් වගේ. කොහොමත් ගෙදරට හිරවෙලා ඉන්න මේ වයසෙ...මේ කාලෙ කොල්ලෙකුට පුලුවන්ද..?
මේ වගේ වැඩ කරන්න බොහෝම කපටි නරි නුවණක් උවමණායි. ගෙවත්තෙ කන්ද උඩට බඩගාල....ලපටි කිතුල්ගහකින් මෝරපු පිත්තක් කපල..හරහට.ඉර‍ටු තුනක් එකට තියල අඹරල..එකට ගැටගහල හදාගත්තු සරුංගලේ තමා අපිට පිහිට වෙන්නෙ. එත් ඉතිං සරුංගලේ අලවන්න සව්කඩදාසි මිලට ගන්න සල්ලි ඉල්ලගන්න අම්මට නොවඳිනා වැඳුම් වඳින්න එපායැ. සමහර  දවස්වලට ඒක හරියන්නෙ නැහැ. ඒකටත් විකල්පයක් මේ සූටි කපටිමොලේට තියෙනව.

වෙසක් එකට සාමාන්‍යයෙන් කූඩු 8ක් වත් අපේ ගෙදර හැදෙනව. මල්ලියි , නංගියි පුන්චි නිසා උන්ගේ ආසාවනෙ කියල මම හදන තරමක් වෙසක් කූඩු අලවන්න අම්ම සැදී පැහැදී ඉන්නව.මමත් ඉතින් රබර් වත්තෙන් හොරෙන් ගලවගෙන උහුලන්න බැරි ගඳගගහ ගෙදර ගෙනාපු ඔට්ටපාලු ටික ඉවර වෙනකන් අටපට්ටම් හදනව...

ඉඳල හිටල අලුත් නිර්මාණ කියල ජාතියකුත් හදනව...ඒත් ඒකෙ නම මොකක්ද..කියල හදන මමවත්..බලන්න එන අයවත් , ගෙදර කවුරුවක්කත් දන්නෙ නැහැ. අමුතුම නිර්මාණයක්ම තමා. ඉතිං ඔයාකාරෙන් හදාපු කූඩුවල පසු ප්‍රයොජනය තමා ප්‍රවේසමෙන් ඉරල අරගෙන සරුංගල් රාජයාව අලෝන එක..!

සරුංගලෙත් අරන් පිම්මෙ දුවන්නෙ තාරපාර අද්දර ගේ තියෙන හිච්චි බප්පලාගෙ දිහාට. පාර අද්දරම තියෙන ගේ එක්කම පිටිපස්සෙ තියෙන්නෙ බොහෝම පුංචි ඉඩක් ..එහෙම නැත්නම් පිලිකන්න කියන්නෙ අන්න ඒක.ඊලඟට" පිටවාන". පිටවාන කියන්නෙ වතුර ගලායන කානුවක් වගේ ඒත් පොඩි වෙනසක් තියෙනව .

කුඹුරු කරන කාලෙට ඔය පිටවාන හරස් කරල වැටියක් ගහනව...ඒකට කියන්නෙ "වක්කඩේ " කියල. අර ප්‍රස්තාපිරුළකුත් තියෙන්නෙ..." වක්කඩේ හකුරු හැංගුවා වගේ" කියල. ගලායන වතුර පාර නවත්වන්න තමයි වක්කඩේ ගහන්නෙ.
ඒකත් හරි අපූරුයි.., උස අඩි5ක්,6ක් විතර වෙන සවිමත් කෝ‍ටු පේලියක්  ලඟින් ,ලඟින් මුලින්ම හිටෝනව. ඊට පස්සෙ තව අඩියක් විතර දුරින් ඒ වගේම තවත් පේලියක් , පිටවාන හරස්වෙන්න හිටෝනව.
ඔය පේළි දෙක දැන් සමාන්තරයි, ඔය අතරට ලියැද්දින් කපාගත්තු තණකොලත් එක්කම පස් පිඩලි වලින් පුරෝගන්නව. ඒඅතරේ හිටවපු ලී ශක්තිමත් වෙන්න ඒව එකින් එක යාවෙන්න හරහටත් ලී හෝ පොල්පිති තියල ගැට ගහනව. හරියටම පුන්චි වේල්ලක් බැන්ඳවගේ. මේ නිසා වතුර පල්ලෙහාට බහින එක නවතිනව.වක්කඩේ ගානට වතුර පිරුනම ඒතනින් තමයි..ලියැද්දට වතුර ගන්නෙ.

පිටවාන එක්කම වෙල ආරම්භවෙනව..ලියැදි එකින් එක...!
 පිටවාන එකසැරේ පනින්න අමාරුයි. ඒදණ්ඩක් දාල තියෙන්නෙ ඒකට තමා. ඒත් අපේ ප්‍රධාන විනෝදාංශය ඔය පිටවාන එගොඩත්,මෙගොඩත් පනින එක තමා.මේකටම හරියන්න...බප්පලාගෙ ගෙදර මල්ලිලා දෙන්නෙක් හිටිය.ලොකු එක්කෙනා "උකුං" අනෙකා..රෝහිත..නැත්නම් මලේ...මලේ කිව්වට ..මලපහ කියල තමයි නැතිතැන කියන්නේ හැබැයි ඌට ඒකට මල පනිනව...ඕක කෙටිකරල..මලේ කිව්වම ගානක් නෑ.

උන්දෙන්නට නං ගෙදරින් කිසි බරබරයක් නෑ...හොයන්නෙත් නෑ...මහ එවුන්ට ගානකුත් නෑ..! මම එන සුනංගුවට උන් දෙන්නා පැනල එන්නෙ. උන්දෙන්නට සරුංගල් හදන්න බැරි එකතමා ප්‍රධාන හේතුව.සරුංගල් ඕන එහෙකුට හදන්න ඇහැකිනෙ. ඒත් වැඩේ කියන්නෙ, කූරිය ගහන්නෙ නැතිව උඩයන සරුංගල් හදන්න හැමෝටම බෑ...!
මටත් ඉස්සර බැහැ. හදන , හදන සරුංගලේ කූරිය ගහනව..මොන වෙනස්කම කලත් හරිගියේ නැහැ.

අවුරුදු නිවාඩුවට අම්මලාගෙ ගමේ ගිය වෙලාවක පොඩිමාම තමයි ටක්කෙටම මිනුම් අරන් ආයෙ කූරිය ගහන්නෙ නැතිව උඩම යන සරුංගල් රාජයො හදන හැටි කියල දුන්නෙ.


සරුංගලේඅරන් පිටවාන පැනල ගේ හරියට නොපෙනෙන මානයට ගියාම හම්බවෙනව "ඇල".මේක තමයි ප්‍රධාන ඇල. වැහිකාලෙට පිටාර ගැලුවත්..ටිකදවසක් පායනකොට වතුර ටිකපැහැදිලි වෙන්න ගන්නව. පුංචි අපිට ආසාවෙ බෑ..හැබැයි හැමතැනම නාන්න බැහැ.සමහර තැන් ගැඹුරුයි.තවත් තැන් අපහැදිලියි..!

සමහර කොල්ලො නම් ඉන්නව උන්ගෙ ..පෙකණිවැල ඇලේ තියල කපල වගේ...අපි පොලවෙ ඇවිදිනවට වඩා පහසුවෙන්..වතුරත් එක්කඔට්‍ටුවෙන්න්නෙ. අපිටනම් ඕව ඔට්‍ටු නෑ..අඩුම තරමේ ටික දුරක් පිහිනන්නවත් බැහැ.ඒක නිසා ගෑණු ලමයි..නාන ,මංකඩක තමයි අපි නාන්නෙ. මලයල දෙන්නට නම් පිහිනන්න පුලුවනි.

ඔය මොනව කලත් මේ සියල්ල...කලහැකිවන්නේ කුඹුරු කපපු කාලයට විතරයි. අනිත්කාලයට පිටවානෙන් පැනල ලියදි දිගේ යන්නවත් කොලු අපිට කුඹුරු අයිතිකාර සීයල ඉඩ දෙන්නෙ නැහැ.ඔවුන්ගේ ගෙවල් කුඹුරු වටේට පිහිටල තියෙන නිසා...කාක්කෙත් වැහුවත් ඔවුන්ට පේනව. ගොයම් පිදෙන කාලයට කොහොමත් ගොවියො කුඹුරට ඇහැ ගහගෙනම තමා ඉන්නෙ.

සමහර වතුර අඩුකාලෙට අපි ඇලදිගේ උඩහට යනව...අපේ කොලු නඩේට තවත් කීපදෙනෙක්ම හිටිය. ඇලදිගේ තැනින් තැන...පිටවානවල් එකතුවෙන තැන් තියෙනව..මේ තැන්වල මාලු පිරිල. කොහොමත් සරුංගල් අරින්න එනකොට යටට ඉස්කොලෙ අඳින කොටකලිසම ඇඳල උඩින් සරම ඇඳල තමයි එන්නෙ.ටික වෙලාවක් අතින් මාලු අල්ලල හති වැටෙනව.ඊටපස්සෙ සරම අරන් දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලල පිටවාන දිගේ අරගෙන ගියාම මාලු අල්ලන්න පුලුවනි. පිටවානෙ ගොඩක්ම ඉන්නෙ "උඩ්ඩො" තමයි.සමහර ඈයො හඳයො කියලත් කියනව.උන් නිතරම ඉන්නෙ වතුරෙ උඩමයි.හරියටම ඔලුවෙ උඩට වෙන්න..පොඩි ලපයක් තියෙනව ඒක වතුරට හඳවගේ දිලිසෙනව ඒකයි හඳය කියන්නෙ. ඊලඟට "දන්ඬි"...උන්නම් වර්ග කීපයක් ඉන්නව..."ලේදන්ඬි"...උන් රතුපාටයි."හැලදන්ඬි" බොරපාටයි...තව "තිත්තයො...මේව මට වැඩිය දන්නෙ.උකුං තමයි...උන් ඉතින් නිතරම ඔය පිටවානෙම තමයි.

කොහොමහරි අන්තිමට යවපු සරුංගලයක් නම් නෑ..මලපහ නම් සරුංගලෙත් ඒක්ක ටිකක්වෙලා ඔට්‍ටු වෙනව . ඒත් සරුංගල් යවන එකත් ලේසිනැහැ...!

සමහර දහම්පාසල් දවස්වලට තමයි අපේ නියම ජොලිය තියෙන්නෙ.කොල්ලො කට්ටිය කතාවෙලා දහම්පාසල් ඉවර උන ගමන් ඇලේ පනිනව . එදාට නම් ඇල බොරවෙනකම් නානව දියබුං ගහනව...එක විකාරයයි. ගොඩක් එවුන් නාන්නෙ හෙලුවෙන් තමයි..ඇයි දහම්පාසල් ගිහිල්ල එන ගමන්නෙ. 
ඒක නිසා කට්ටිය නාන්නෙ ගැහැණු උදවිය  නාන තැනට උඩින්...ඒ හරියට අයිතිකාරයෙක් ඉන්නවා.
ඒ තමයි "වෙදා"...! අපි කියන්නෙ නම් එහෙම..!
වෙදා කරන වෙදකමක් නම් අපි කවදාකවත් අහල දැකල තිබුනේ නැහැ. තට්ටෙ පෑදිල සුදු උන කෙස්ටික උඩට පීරල හිටියෙ. උඩි ‍රැවුල තඩි පොල්ලෙල්ලක් වගේ ඒතරම් ලොකුයි.
දැක්කම ටිකක් බයත් හිතෙන තරම්.වෙදාගෙ ගේ තියෙන්නෙ තාර පාර අද්දරම. ඒනිසා මේ ඉඩමට එන්න නම් වෙල දිගේ එන්නම වෙනව.අපි ඔය ඉඩමට කිව්වෙ "වෙදාගේ කලවිට" කියල. කලවිට කියන්නෙ කුඹුරුවල ට එක් එක් උවමනාවලට ඉතුරු කරපු කුඹුරු වලින් වට උනු ගොඩ ඉඩමකට.ඒත් මේ ඉඩම කොහොම හරි අයිතිකරගන්න වෙදා සමත්වෙලා තිබුන.ගමට පිටින් ඇවිත් පදිංචි වෙලාතිබුනත් යම් ප්‍රභූ පරම්පරාවක වූ නිසාම යම් බලයක් ඔවුන්ට තිබුන.අනිත් කාරනය වෙදහාමිනේ...අපිනම් කියන්නේ වෙදගෑනි කියල...ගෙදරටත් සාරිය ඇඳල..සාරිපොට නිතරම ඉනේ ගසාගෙන හිටියෙ.අපේ ගමේ ගෙදරට සාරියක් ඇන්දෙ මේ ගෙදර කාන්තාව විතරමයි.

මේ වෙදාගෙ කලවිටේ පොල්ගස් 4ක්,5ක් විතර තියෙනව...පොල් පිරිල ..එවුන්ට පොල්වලට කරන්න දෙයක් නැහැ නිකං ගෙදර ගොඩ ගහගෙන ඉන්නෙ. හැබැයි අපිටනම් ඕක මල්මසුරං..!!

දහම් පාසලෙන් පැනල ඇවිල්ල ඇල උඩහ වෙදාගෙ කලවිට ලඟ නාන කොට අර පොල්ගස් පේන කොල්ලන් ටික නලියනව...කුරුම්බා කන්න. සාමාන්‍යයෙන් එකගහක් ලයිට් කණුවක් තරම් උස ඇති ඕක එකහුස්මට නගින්න පුලුවන් කොල්ලො කීපදෙනෙක්ම අපේ කල්ලියෙ හිටිය. එකම ප්‍රශ්නෙ වෙදාට නොදැනෙන්න කොහොමද කුරුම්බා කඩන්නෙ කියන එක.
ඒක සාමූහිකයි එකෙක් වෙලේ ඈත බලාගෙන ඉන්නව වෙදා එනවද බලන්න. අනිත් උන් ගහ මුල ගෙඩි ගහේ ඉඳන් දානකොට අල්ලන්න. ඇයි බිමට දැම්මොත් සද්දෙ ඇහෙනවනෙ. එතකොට තප්පරේට වෙදා මෙතන.
කොහොමහරි ඔන්න එදත් සුපුරුදු පරිදි වැඩේට බැස්සා...මම ඇරෙන්න තව එකයි කලිසන් ඇඳන් හිටියේ..අනිත් උන් ඔක්කොම හෙලුවෙන්..නානව...! ඔන්න එකෙකුට ආව අදහස කඩමු කුරුම්බ.


එකෙක් ගහට නගින්න කැමති උනා. මමත් තව තුන්දෙනෙක් උඩ ඉඳන් දාන කුරුම්බා අල්ලන කල්ලිය.තව එකෙකුට තමයි බැරෑරුම්ම කාරිය....ඇලට ගලා බසින පිටවාන ඇතුලට බැහැල ඔලුව විතරක් උස්සල වෙදා එනවද බලන කාරිය. අන්තිම එකාට කඩන කුරුම්බා හංගන රාජකාරිය. කඩන කුරුම්බා අනිවාර්‍යයෙන්ම හංගන්න ඕන.ලොකු කොල්ලො ටිකට අපි කුරුම්බා කඩනව කියල ඉව වැ‍ටුනොත් උන් ටික අපිට ගහල ඇලට තල්ලුකරදාල...කුරුම්බ ටික උන්ගෙ වගේ අරන් බීල දානව...අපිට ඉතිං හෙලුවෙන් අඩන්න තමා වෙන්නෙ.
ඒත් එව්ව කොහේද අපිත් ඒක්ක...ඔක්කොම හන්ගන්නේ හන්ගපු එකාටවත් හොයාගන්න බැරිවෙන්න....සමහර දවස් වලට එහෙමත් වෙනව..ඇයි ඇල ඇතුලෙ වැටකෙය්යා ගස් අස්සෙනෙ හන්ගන්නෙ...පස්සෙ බලනකොට ගහගෙන ගිහිල්ල...ඉතිං අරූට බැනල කුනුහරප විමානයයි..!

ඔන්න දැන් හරි වීරවික්‍රම මෙහෙයුම සූදානම්...ගහේ දෙන්නයි එකෙක් කඩනව...අනිකා ගහේ මැද හරියෙ ඉඳන් කඩල දෙන ගෙඩි ගන්නව ඊටපස්සෙ බිම ඉන්න අපිට දානව.උස ගහකින් කඩන නිසා තමයි මෙහෙමකරන්නෙ. හැබැයි උඩ ඉඳන් දාන ගෙඩි සීරුමාරුවට අල්ලන්න ඕන..නැත්නම් අත්දෙක ඉවරයි..කිලෝ 3ක්,4ක් නේ.

වල්ලක තියෙන ගෙඩි ඔක්කොම කඩනව..වැඩි වෙලාවක් ගියේනෑ.....!

"හු*** පුතාල  තොපේ කවුරු ඉන්ඳපු ගස් වලද යකෝ මේ මහ දවල් කුරුම්බ කඩන්නෙ ඔහෙ හි‍ටු..!!!"කෙලියයි...වෙදා...ඇවිල්ල ලඟටම එනකන් කවුරු වත් දැක්කෙ නෑ....!

ගහේ මැද හරියෙ හිටිය එකා .බෘරූස්.............ගාගෙන ලිස්සල ඇවිල්ල 
" දොහ්" ගාල ගහ මුල දෙරිගැහැව්ව. අපිත් පුලුපුලුවන් විදියට දිය යටින් ගිහිල්ල..වැටකෙය්ය ගාලට රින්ගුවා...කිසි කෙනෙකුට මුකුත් හිතාගන්න බෑ..! මොකක්ද උනේ කියල...??

"බැහැපිය පරයා...අඬු කඩන්න තොගේ...!" කුනුහරප වැලයි..!

"අනේ වෙදමාමෙ... අපි..මේ ..පුවක් ටිකක් කඩාගන්නයි ගහට නැංගේ..!"

"හෑ ...&^%$%^&%^ පුවක් කොහෙද යකෝ පොල් ගස්වල...!"

"අනේ  වෙදමාමේ අර තියෙන්නෙ පුවක් ගහ...ඒකෙ නගින්න අමාරු නිසා..පොල් ගහෙන් නැංගේ..!"
අපට හිනාවෙන්නත් අමතක වෙලා...නැත්නම් මේ වෙලාවෙ මේ කියන දේවල් වලට බඩක් හොයන්න බෑ..!!

"අනේ පල බූරුවො යන්න ...‍තෝ එනවද මාව තම්බන්න....බැහැපිය කිව්වේ.....!!!"


" මාමේ ඔන්න නොකිව්වයි කියන්න එපා...මට කරදර කරොත්...පනිනව මං ගහෙන්..ඕං
මෙන්න බොලේ මේකාට ඝණදෙවි නුවන ඇවිල්ල.

"ඒව කොහේද... කෝ මුං එක්ක ආපු අනික් එවුන්...! 

මලා...!! මෙන්න වෙදහාමිනෙත් ඇවිල්ල දැක්කෙම නෑ..එතකොට තමයි අපිට මතක් උනේ ඔත්තු බලන්න..එකෙක්ව..පිටවානෙ හැංගුවා නේද කියල...මේ යකා ගෙදර ගිහිල්ලද අපිට නොකියාම..!
මූට වෙච්ච දෙයක් නෑනෙ.

ඒ අතරේ එකපාරටම ......
"ජබෝස්" ගාල සද්දයක් ආව ...!
"බුදු අම්මෝ මං ඉවරෝ"..කියල කෑ ගැහිල්ලකුත් එක්ක.

ඒ එක්කම සුනාමියක් වගේ වතුර පාරක් ඇවිල්ල අපිව ගහගෙන යන්න හැදුව ...!
මලා........! අරූ ගහෙන් පැනල ඇලට..අපේ උරහිසට විතර වතුර තිබුනත්...ඌව නොපෙනී ගියා..!

ඒ අතරේ වෙද ගෑණි බයවෙලා...ඇඳන් ඉන්න සාරිය දනපොල්කට්ට ගාවට උස්සගෙන දුවන්න ගත්තෙ නැතෑ..ඒ පස්සෙ...වෙදා..මුන් දෙන්නා භය වෙලා ..!

ගහේ හිටිය එකා...වැ‍ටුන සද්දේ ඇහිලද කොහේද....මෙන්න එකසැරේට....ඔත්තු බලන්න දාපු එකා හිට ගත්ත............මලා...!
ඌ අමු නිර්වස්ත්‍රයෙන්....!පිටවාන මැද ...හොල්මනක් වගේ..!
ඒ එක්කම..දුවන් ආපි..වෙද ගෑණි...!

"බුදු අම්මෝ....!!!" මරණීය විලාපයක් එක්ක..අරගෑණු මනුස්සය පය පැටලිල...ඔත්තු බලන්නදාපු..හෙලුවෙන් හිටිය එකාගෙ ඇඟ උඩටම වැ‍ටුන....! ඒ මදිවට අරූ හෙලුවෙන්..!

ඔය එක්කම ආපු වෙදත් ඒ උඩටම වැ‍ටුන..ඒ සැරේ නම් අපිට ඉල ඇදෙන හිනා...! ඒ අතරේ ගහෙන් පැනපු එකත් ඇවිල්ල හිනාවෙනව.
පිටවානෙ හිටිය එකා බඩගාගෙන ඇවිල්ල ඇලට පැන්න ..අපි නිකන් ජලජ ජීවීන් වගේ වතුරෙම ඉඳන් හිනා කනව. වෙදයි...හාමිනෙයි..අමාරුවෙන් නැගිටල ගියා මඩ නාල...! (ඔත්තු බලන්න හිටිය එකා පිටවානෙ ඇතුලෙ ඉන්නකොට..මාලුරෑනක්  ලඟටම ඇවිල්ල..මූ රාජකාරිය තියෙද්දි මාලු අල්ලල.) 

අපිට  මොන ගානක්ද..! ඇදුම් ටිකත් හනිකට ඇදගෙන...ටිකක් එහාට වෙන්න තියෙන ගලක් උඩට ගිහිල්ල..කුරුම්බ ටිකට වග කිව්ව...!ගහෙන් පැන්න එකා..ජීවිත බයට නොවෙයි බයකරන්නම තමයි පැනල තියෙන්නෙ...ඒ උනාට පිට පුරාම පොල්ලකින් තඩි බාල වගේ..රතුවෙලා පැන්න පාරට වතුරෙ වැදිල...! හීන් සැරේ කට්ටියම ගෙදරගියත් දවස් ගානක් බයේ හිටියෙ වෙදා ගෙදරට පැමිනිලි කරාවි කියල..හොඳවෙලාවට...අපිව අඳුරගෙන නෑ..නැත්නම්..පැමිනිල්ල දානවම තම..!

ඡායාරූප කතාවේ චරිත වලට අදාල නැත . අන්තර්ජාලයෙන් උපුටාගැනුනි.

ප/ලි. මේ ඇල දැන් අතුරුදන් වී ඇති අතර විශාල කානුවක් බවට පත්වී ඇත. පිටවාන ගොඩකර ඉඩම් වලට ඈඳාගෙන තාප්ප ගසා..සියලු ජරාව ඉතිරිවී ඇති පිටවානකානුවට බැහැර කරයි. මේවා ඇලට ගමන් කරන නිසා කකුල් හෝදන්නවත් කිසිවකු බසින්නේ නැත.
මේවා දකිනවිට හිතට මහා කනගා‍ටුවක් උපදී.



Tuesday, October 30, 2012

හැකිවෙයිද ...පතන්නට..! සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!



මාත් එක්ක අත්වැල් බැඳයන්නට..
එනවද.. සංසාරෙ පුරාම....
අහන්න හිතෙනවා.. මට..!

ජීවිතය පොදි බැඳගෙන..
සතු‍ටු සිනා උතුරාගෙන..
නැහැ ගලා ගියේ මල් යහනාවක...

විටෙක ඇනුම් බැනුම් අසාගෙන...
සෙනෙහස දෝතට තුරුලු කරගෙන...
මහ මෙරක් උසට බලාපොරොත්තු ගොඩනැගුවා නුඹ මට...!

මගේ පැල්පත එළියකරගෙන...
හැමදාමත් ඉන්නවාද මා අසලින්ම...
අහන්න හිතෙනවා... මට..!

මල් වගේ පැංචියෝ දෙන්නෙක්ම..
නුඹේ ප්‍රේමය නිසා දුන් මට...
හැකිවෙයිද ...පතන්නට..!
සුභ උපන්දිනයක් වේවා නුඹ හට..!


 ප/ලි..  වීපොකුරිගෙ ..  උපන් දිනය ඊයේ උනත්..!
සුපුරුදු පිරිමි ගතිය මතු උනානොවැ...."අමතකවීම"
හිටියෙත් කතරගම....ඒකත් එකහේතුවක්..!


පින්තූරෙ මෙතනින්..,http://www.flickr.com/photos/phoechan/7820232546/

Wednesday, September 26, 2012

සහෝදර ප්‍රේමය..!



පොඩි ඈයො පන්තිවලින් එලියට බැහැල...තොර‍තෝංචියක් නැති කෑ ගැහිල්ල හරියට  ඇලක් අද්දර ,කෙකටිය ගාලක් අද්දර කෑ ගහන කොරවක්කු පොකුරක් වගේ.

සමහරුන් අපි එනකන් බලා හිටිය වගේ.....තඩි බාස්කට් ඔසවාගෙන පන්තියට ඇතුල් වෙනකොට පස්සෙන් වැටිල හැමෝම වාඩි උනේ ටීචර්ගෙ අණකිරීමට. 

අද 1වසරෙ අපේ දූගෙ පන්තියෙ කෑම වේල දෙන දවස. පුන්චි එවුන්ගෙ මූනු කුතුහලයකින් පිරිල..? සමහරුන්ට ඉවසුමක් නෑ අද කෑමට මොනවද ලැබෙන්නෙ කියල. ඒ අතරෙ  කටකාර කොලුවෙක් අපේ දුවට කිට්‍ටු වෙයි....

"චතුනි...මොනවද අද කෑමට දෙන්නෙ.." අපේ දුව හිනාවෙයි.

"හා..අඩ..පයිඩ් රයිස්.." තවත්  අයෙක් කෑම බෙදන්නට සූදානම් වෙනවා බලා කියයි. 

හැමොටම හිනාවක්...සමහරුන්ගේ මේ කිරිදත් වැටෙන වයසයි..ඒ නිසා හිනා වෙන විට හරිම විසුලු ස්වභාවයකි.
පොඩි ඈයෝ තමන්ගේ රුචිකත්වයට අනුව ආහාර භුක්ති විඳියි.

අතුරු පස ලැබෙන වෙලාවයි..අපේ නිවසේ දීර්ඝ සාකච්ඡා වට කිහිපයකින් අනතුරුව තීරණය කෙරුනේ...අයිස් පලම් දිය යුතු බවයි...පුන්චි ඈයෝ ආසයි නෙව.

සියල්ලනටම එක ගානේ ලැබුනි. අමෘතයක් ලැබුන ලෙස රසවිඳිති. 
මා විසින් නැවත පරීකෂාවක් කලෙමි. පන්තියේ තමන්ගේ පු‍ටුව අසලම ගැවසෙන පුතකුගේ අතේ අයිස් පලමක් නැත. කුමක් වූයේද ..?
සියල්ලටම බෙදූබව මතකයි...

"පුතා..ඔයාට හම්බ උනේ නැත්ද...! අයිස්ක්‍රීම්..!" මා විමසූවෙමි.

කතාවක් නැත...මාදෙස බලා ඉවත බලාගත්තා පමනි.

"ඇයි පුතේ ඔයාට ලැබුන්නැත්ද..!" නැවත මා ඇසුවෙමි.කුඩා කොලු පැටියා දත් කීපයක් හැලී ගිය මුව විවර කර අපහසුවෙන්...මුවට සිනාවක් නගාගෙන හිස ඉහලට පහලට වනා ලැබුනු බව ඇඟවීය.

"කෝ කොහේද..?" මට කුතුහලයකි.
ඔහු බෑගය පෙන්වීය.

මා බෑගය විවර කර බැලූයෙමි. දරුවා බියවීය.

''පුතේ ඔයාට කන්න අයිස් ක්‍රීම් දුන්නෙ . අනික ගිනියන්න බෑනේ දිය වෙනවනෙ''.ටීචර්ට මේ කලබ්ගෑනිය ඇසීන .

"ලසිඳු ඇයි පුතා..කාටද ..? මෙහෙට එන්නකො.."
දරුවා කඳුලු පොරෝ ගෙන...අයිස්පලම කටට ලංකරගෙන බයෙන් ටීච ලඟ.  යමක් ඔහුගෙන් අසයි..??

"ආනේ.. පුදුම දරුවෙක්නේ..." ටීචර් කියයි.

"අද ශිෂ්ශ්‍යත්වෙ ප්‍රිතිඵල ආවනෙ..මෙයාගේ අක්කත් පාස් වෙලා..එයාට ගිනියන්න තමා එයාගෙ එක කන්නෙ නැතිව බෑග් එකේ දමාගෙන තියෙන්නෙ"

පුදුම දරුවෙකි...අනිත් දරුවන් මේ ඉඳහිට ලැබෙන මේ අතුරුපස හොඳහැටි සප්පායම් වෙති.එහෙත් මේ දරුවා...........???

අක්කාගේ දක්ෂතාවය දැක සතු‍ටු වී මේ කුඩා දරුවා....තිලිණයක් ලෙස, කලාතුරකින් තමනට ලැබුනු ආහාරය පරිත්‍යාග කිරීමට කිසිම ලෝභකමක් නැතිව සූදානම් වූ හැටි. වැඩිහිටි අප ලඟ නැති අනෙක් දරුවන් බොහෝ දෙනෙකුට නැති මේ දරුවාගේ මේ ක්‍රියාව අපසැමගේ නෙතට කඳුලක් නැගූ බව කිවයුතුයි.


මෙවන් දරුවන් දෙමාපියන්ට වාසනාවකි....!
මෙවන් දරුවන් රටට වාසනාවකි....!

*************
ප.ලි..........ලියල ඉවරවෙනකොට රෑ12ත් පහුවෙලා..ඒ නිසා දිනේ වෙනස නොසලකා හරින්න.